වාහන ආනයනයට ඉඩ දෙන බවට පැතිරෙන කතා බොරු

215

මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම්

වාහන ආනයනයට යළි ඉඩ ලබාදෙන බවට කිසියම් පිරිසක් පතුරවා හරින කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ‘දිවයින’ට පැවසීය.

මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශයක් ලෙස හුවා දක්වමින් සංවිධානාත්මක පිරිසක් මෙය ප්‍රචාරය කර ඇතැයි පවසන කුලතුංග මහතා කොරෝනා වසංගතයත් ඉන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් නිසා වාහන ආනයනය වසර හතක් තිස්සේ නතර කර ඇත්තේ රජයේ ප්‍රතිපත්තියකට අනුව යැයි ද, එම තහනම ඉවත් කළ යුත්තේද රජය විසින්ම යැයි ද කියා සිටී.

තම සංගමය පසුගිය කාලය ප්‍රරාම රජයේ බලධාරීන් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර විවිධ යෝජනා ඉදිපත් කළත් වාහන ආනයනයට අදාළව රජයේ බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවද කුලතුංග මහතා සඳහන් කළේය.

මේ වනවිට වෙළෙඳ පොළේ ලියාපදිංචි වාහන ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවට විවිධ පාර්ශ්ව තම සංගමයට දැනුම් දී ඇතැයි පැවසූ ඒ මහතා පිටරටින් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වීම නිසා රට තුළ වාහන හිඟයක් මතු වී ඇතැයි ද කීය.

රටේ ඇතිවී තිබෙන වාහන හිඟය නිසා ඇතැම් වාහන හිමිකරුවන් ඔවුන්ට අභිමත පරිදි අධික මිලට ඒවා විකිණීමෙන් වාහන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද කුලතුංග මහතා කීය. මෙරට ලියාපදිංචි වාහන අලෙවිය හා වාහන ආනයනකරුවන්ගේ සංගමය යනු පාර්ශ්ව දෙකකැයි ද වසර හතරක් තිස්සේ වාහන ආනයනය නතර කර තිබීම නිසා ආනයකරුවන් මෙන්ම එම ව්‍යාපාරයට සම්බන්ධ වී ජීවත් වූ විශාල පිරිසක් කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටින බව ද ප්‍රසාද් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment