ලංවීම අහෝසියි – වෘත්තීය සමිති සටනට

1228

සමාගම් 12ක් හදන ගැසට්ටුව එයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන සමාගම් දොළහක් බවට පත්කිරිමට අදාළව 05 වැනිදා නිකුත් කළ ගැසට්පත්‍රයට අනුව එම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත වන දිනයේ සිට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ඇතුළු සියලු කටයුතු සමාගම්වලට හිමි වේ. ඉකුත් වසර කිහිපයක සිට ලංවිම ලද පාඩුව සැලකිල්ලට ගෙන විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ අනුව පෞද්ගලික සමාගම්වලින් අභිලාෂ කැඳවීමෙන් පසු ඉකුත් 05 වැනිදා මීට අදාළ ගැසට් පත්‍රය නිකුත්කරනු ලැබුවේ එන නව පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් පසුවයි.

ඒ අනුව විදුලිබල කර්මාන්තයට කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලසීම, ජාතික විදුලිබල උපදේශන සභාව පිහිටුවීම, විදුලිබල මණ්ඩලය සඳහා නියාමක වශයෙන් මහජන උපයෝගීතා කොමිසමට විධිවිධාන සැලසීම අරමුණ අතර ඇත.

ඒ අනුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ නව සමාගම් දොළහ ස්ථාපිත කිරීමට නව කෙටුම්පත මගින් විධිවිධාන සැලසීමට නියමිතය.

කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී එය කථානායකගේ අත්සන තැබූ මොහොතේ සිට ජල විදුලි උත්පාදනය, තාප විදුලි උත්පාදනය, පුනර්ජනනීය බලශක්ති (සූරිය සුළං) උත්පාදනය සම්බන්ධ සියලු කටයුතු සමාගම්වලට පැවරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩා පුද්ගලික මුදලාලිලා අතට පත්කිරීමට ගෙන යන මෙම වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති මට්ටමින් හා නීතිමය වශයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මේ අතර වෘත්තීය සමිති සාකච්ඡා ආරම්භ කර ඇත.

නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සිදුවුවහොත් 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාපිත කළ පනත අහෝසි වී මණ්ඩලය ද අහෝසි වී යන බව ද වෘත්තිය සමිති නායකයෝ කියා සිටිති. එසේ වුවහොත් මණ්ඩලයේ සිටින විසිහතර දහසක පමණ සේවකයින්ගේ භාගයකටම රැකියා අහිමි වී යන බව ද ඔවුහු කියා සිටිති.

මෙම වසර තුළ තුන් වතාවක්ම විදුලි ගාස්තු සංශෝධනය කරමින් 2022 අගෝස්තු 10 වැනිදා සිට මේ දක්වා කාලයේ සියයට 157 ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වැඩි කර ඇතැයි ද වෘත්තිය සමිති පවසති. රජය සතුව තිබූ විදුලිබල ක්‍ෂේත්‍රය පුද්ගලික මුදලාලිලා අතට පත්කර ජනතාව කබලෙන් ලිපට දැමීමට පාලකයින් ගන්නා උත්සාහය පරාජයට පත්කරන බව ද ඔවුහු කියා සිටිති. ඒ අනුව ජනතාව ද ඒකරාශී තරගෙන වැඩ වර්ජනයකින් හෝ මණ්ඩලය අහෝසි කිරීමේ උත්සාහය පරාජයට පත්කරන බව ද වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment