දයාසිරිත් වෙනම ගමනක – අර්බුදයෙන් රට ගොඩගන්න නිවැරදි මාවතකට යොමුවෙනවා – දයාසිරි ජයසේකර

89

පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුව

අද මේ රට සෑම ක්ෂේත්‍රයකින්ම විශාල අර්බුදයකට මුහුණ පා ඇතැයි ද එයින් රට ගොඩ ගෙන රට නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් ජාතික වැඩ පිළිවෙළක් අපගේ ව්‍යාපාරය මගින් සකස් කිරීමට කටයුතු කර ඇතැයි ද එම වැඩපිළිවෙල පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙකූට ඉදිරි ජනාධිපතිවරයේදී අපගේ සහාය ලබා දෙන්නේ යැයි ද පරමාදර්ශී දේශපාලනයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එසේ පැවසුවේ පෙරේදා ( 06 වැනිදා ) පෙරවරුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදීය.

මේ ව්‍යාපාරයට සුළු දේශපාලන පක්ෂ 18 ක් එක් වී සිටින අතර එහි නායකයන් විසින් එහි සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒකමතිකව පත් කර ගැනීමෙන් පසුව මේ මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.

මේ මාධ්‍ය හමුව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු හා ජාතික පෙරමුණේ නායක රංජිත් පිරිස් මහතා විසින් සංවිධානය කර තිබිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය.

මේ වනවිට මේ ව්‍යාපාරයට දේශපාලන පක්ෂ 18 එක් වී සිටිනවා. එම පක්ෂවල ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. විවිධ ජාතීන් සිටිනවා විවිධ ආගම් අදහන උදවිය සිටිනවා. එම පක්ෂ අතර විවිධ අදහස් හා මත දරන උදවිය සිටිනවා. නමුත් මේ අවස්ථාවේ එම සියලු දෙනාම ඒ සියල්ල අමතක කර දමා මේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ නැගීම සඳහා එක් වී සිටිනවා.

මේ රට ගොඩ නැගීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. එය අද යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි ඒ සඳහා ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කරනවා. එය අපි මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරනවා. ඒ වගේම එම ජාතික වැඩපිළිවෙළ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ද ඉදිරිපත් කරනවා. එය පිළිගන්නා අපේක්ෂකයාට අපගේ සහාය ලබා දෙනවා.

යම් ආකාරයකින් එම වැඩපිළිවෙළට එම අපේක්ෂකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපගේ ව්‍යාපාරයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද අපි පසුබට වන්නේ නැහැ. නමුත් අපි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට එකමුතුව රට නිවැරදි මාවතකට ගෙන ඒමට ශක්තියක් තිබෙන පිරිසිදු නායකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමයි අපගේ මූලික අරමුණ වී තිබෙන්නේ. ඒකයි අපි මෙතරම්ම කැපවීමකින් කටයුතු කරන්නේ. අපි තනතුරු හා වරපුසාද බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය වී තිබෙන්නේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමයි. ඒත් අපි සහාය දෙන්නේ කාටද කියලා තවම තීරණයක් ගෙන නැහැ.

සෑම දේශපාලන පක්ෂයක්ම හදන්නේ මේ රටේ බලය ලබා ගැනීම සඳහායි. එම පක්ෂවලට ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. ඒවා කොතෙක් දුරට ජනතාව පිළිගෙන තිබෙනවද කියලා උරගා බලන්නට හොඳම අවස්ථාව මැතිවරණයි. ඒ නිසා දිනන අපේක්ෂකයා කවුද කියලා තවම කාටවත්ම කියන්නට බැහැ. ඒ සඳහා ජනතාවගේ විශ්වාසය දිනා ගන්නට ඕනැ.

මා දැන් ස්වාධීන පුද්ගලයෙක්. මා ඉදිරියේදී කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වයක් ලබා ගන්නේ නැහැ. ආසනයක සංවිධායක ධුරයක් ලබා ගන්නේ නැහැ. නමුත් මේ රට නිවැරදිව ඉදිරියට ගෙන යා හැකි සන්ධානයකට එක් වී කටයුතු කරන්නට සූදානම්.

පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හා ජාතික පෙරමුණේ නායක රංජිත් පිරිස් මහතා කතා කරමින් අපගේ මේ ව්‍යාපාරයට ඉදිරියේදී තවත් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන රැසක් එක්වීමට නියමිතව සිටිනවා. මේ ව්‍යාපාරය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මකව පවතින සංවිධානයක් වෙනවා. ඒ නිසා මෙය මැතිවරණ ඉලක්ක කර ගෙන පිහිටු වූ සංවිධානයක් නෙමෙයි.

හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රභා ගනේෂන්, එක්සත් කොංග්‍රසයේ සභාපති මුබාරක් අබ්දුල් මජීඩ් හා සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් ද කතා කළහ.

එහිදී එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරුයි මේ.

එහි කැඳවුම්කරු ජාතික පෙරමුණේ නායක රංජිත් පිරිස් මහතා ද මෙහි සිටී.
දෙල්ගොඩ – ඩබ්ලිව් ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment