කාටත් හොරෙන්…

1016

ඉන්දියානු රුපියලෙන් ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කළ හැකි ය. මෙය නිල නොවන මට්ටමින් සිදු වුවද, හෙට්ටිවීදියේ ඕනෑම කඩයක් අද වන විට ඉන්දියානු රුපියල් භාර ගනී. එසේම ලංකාවේ රුපියල්වලින් තමිල්නාඩුව තුළ ඕනෑම ගනුදෙනුවක් කළ හැකි ය. ඉන්දියානු රේගුව හා ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කළ යුතු බවට ද යෝජනාවක් පවතී. මීට අවුරුදු බිලියන ගණනකට පෙර මහාද්වීපික ප්ලාවිතය නමැති භූගෝලීය ක්‍රියාදාමය සිදුවෙමින් පැවති අවස්ථාවේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව පැවතියේ එක භූමියක් හැටියට ය. එහෙත් මහාද්වීපික ප්ලාවිතයේ ක්‍රියාන්විතය හේතුවෙන් ලෝකයේ සියලු රටවල් එකිනෙකින් ඈත්ව ගියේ ය. එතෙක් ඒ රටවල් සියල්ල තිබුණේ එක කුට්ටියක් ලෙස ය. ඉන්දියාව සහ ලංකාව භූගෝලීය වශයෙන් අද වෙන්ව පැවතිය ද රටවල් දෙකේ ආර්ථිකය කාටත් හොරෙන් එකතු වීමට යන බව පෙනේ. අප මෙතැන් සිට කියන්නේ ඒ කතාව ය.

පසුගියදා ඉන්දියානු ආණ්ඩුව එරට නිපදවන ලූනු අපනයන කිරීමේදී 40% ක බද්දක් පැනවීය. ඉන්දියාව, පාකිස්තානය යන රටවල් දෙක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ලොකුලූනු සැපයුම්කරුවා ලෙස කටයුතු කරයි. ඉන්දියාව 40% බද්ද පනවන අවස්ථාවේදී මේ රටේ ලූනු ගබඩා තුළ පරණ මිලට ගෙන්වූ ලොකු ලූනු ටොන් 25,000 ක් පමණ තිබෙන්නට ඇති බව අපගේ විශ්වාසය වේ.

පසුගිය දිනවල 40% බද්දත් සමගම ශ්‍රී ලංකාවේ ආනයනික ලූනු මිල ඉහළ ගිය අතර පරණ මිලට ගෙන්වා ගබඩාවල තිබූ ලොකු ලූනු මිල ද 40% කින් ඉහළ ගියේ ය. මේ රටේ තොග වෙළෙඳුන් එම පැරණි ලූනු තොග මිල ඉහළ දැම්මේ ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙක තනි ආර්ථිකයක ස්වරූපයෙන් ක්‍රියාකරන ආකාරයට ය. මේ තත්ත්වය නිසා ලංකාවේ වවන ලූනු ද මිල ඉහළ ගොස් තිබේ. ඉන්දියාව ඉතා පුංචි පියවරකින් මේ රටේ එළවළු වෙළෙඳපොළේ ලූනු ආර්ථිකය කණපිට ගස්සවා ඇත. මෙය කිසිසේත්ම සුළුකොට තැකිය යුතු කාරණයක් නොවේ. ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය අප දන්නා කාලයේ පටන් ම අලගොඩකි. එයට හේතුව අපේ කෘෂිකර්මය කළමනාකරණය කිරීම සඳහා සුදුසු ආයතනික ක්‍රියාවලියක් රජය සතුව නොතිබීම ය. ලූනු මිල වැඩිවීම නිසා දැනට අපේ වෙළෙඳපොළේ සැලකිය යුතු ලූනු හිඟයක් පවතී. තියෙන ලූනුවල මිල ද ඉතා ඉහළ ය. මෑතක් වනතුරු රුපියල් 150 ට අඩුවෙන් පැවති ලොකු ලූනු කිලෝව ඊයේ උදේ රුපියල් 250 ට නැඟ තිබිණ. ලොකු ලූනුවල උප වර්ගයක් වන කුණු ලූනු ද, රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබිණ. වෙළෙන්දා සහ පාරිභෝගිකයා කුණු ලූනු ලෙස හඳුන්වන්නේ සම්පූර්ණයෙන් ම කුණුව ගිය, කුණු ගඳ ගහන ලූනු නොවේ. කුණු ලූනුවල පොත්ත යම් ප්‍රමාණයකට දුර්වර්ණ වී ඇති අතර, එය ඉවත් කළ විට හොඳ ලූනු ගෙඩිය මතු වේ. ලංකාවේ තරු පහේ නොවන හෝටල් වැඩි හරියක් සීනි සම්බෝල සෑදීමටත්, ලූනු සම්බෝල සෑදීමටත්, ආහාර වර්ගවලට එකතුකිරීමටත් පාවිච්චි කරන්නේ මේ කියන කුණු ලූනු ය. රුපියල් 100 – 110 ට තිබී කුණු ලූනු ද රුපියල් 200 ට ගිය විට අපට සිදුවන්නේ ලූනු අනුභව නොකර ඒ වෙනුවට ලීක්ස් කෑමට ය. 1970 – 77 අතර සමගි පෙරමුණු ආණ්ඩුව පැවති කාලයේදී ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීම සීමා කරන ලදි. ලංකාවේ නිෂ්පාදනය කරන ලද ලොකු ලූනු සහ රතුලූනු රටේ පරිභෝජනයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ අතර එම හිඟය මකා ගැනීම සඳහා ලීක්ස් පාවිච්චි කරන ලෙස ආණ්ඩුව ජනතාවට නියම කළේය. මෙය යම් ප්‍රමාණයකට සාර්ථක වූ ක්‍රියාවලියකි. ලූනු සහ ලීක්ස් එකම උද්භිද විද්‍යාත්මක පවුලට අයත් වේ. ලීක්ස් ගහේ මුලත්, කොළ ඇති කොටසත් අතර තිබෙන සුදු පැහැති කොටස ලූනුවලට ආදේශකයක් ලෙස පාවිච්චි කළ හැකි ය. එහෙත් 1970 සෙල්ලම මෙදා පාර හරියන්නේ නැත. අද ලීක්ස් කිලෝව ද රුපියල් 400 කි. එබැවින් ඉන්දියානු රජයේ අනුකම්පාව මත 40% බද්ද ඉවත් කරන තුරු ලූනුවලින් ඈත් වී ජීවත්වීමට අපට සිදුවනවා ඇත.

දැනට මේ රට තුළ පවත්නා නියඟය කොළඹ සිටින ජනයාට දැනෙන්නේ සුළුවට ය. එහෙත් තවත් මාස දෙක තුනක ඇවෑමෙන් කොළඹටත් කන්න නැති වන විට සියලු දෙනාගේ පස්ස පැත්තෙන් දුම් දමන්නට පටන් ගන්නවා ඇත. රට තුළ හාල් හිඟයක් ඇති නොවන නමුත් හාල් මිල ඉහළ යා හැකි බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියා තිබේ. හිඟයක් නැති භාණ්ඩවල මිල දැරිය නොහැකි පරිදි ඉහළ යෑම ද හිඟයක් ලෙස සැලකිය හැකිය. වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය විට ඒවා ගැනීමට ජනතාව අත සල්ලි නැති නිසා කුස්සියේ භාණ්ඩ හිඟ වේ. වෙළෙඳපොළේ භාණ්ඩ කොපමණ තිබුණත් ඒවා කුස්සියේ නැත්නම් අප සලකන්නේ ඒවා හිඟ භාණ්ඩ ලෙස ය. ඉදිරි කාලයේදී මුළු මහත් ලෝකය පුරාම ආහාර හිඟයක් ඇති වීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් මේ ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එහෙත් ලොකු පඩියක් ඇති ඉහළ තනතුරක් දරන කෙනෙකු නිසා ගුතරෙස්ට ආහාර හිඟයක් ඇතිවන්නේ නැත. ලෝක ආහාර හිඟයට විශාල වශයෙන් ම බලපාන සාධකයක් බවට පත්ව ඇත්තේ රුසියන් – යුක්රේන් යුද්ධයයි. මේ නිසා කළුමුහුද හරහා පිටරටවල්වලට යන යුක්රේන් තිරිඟු සහ ඉරිඟු සම්පූර්ණයෙන්ම නවතිනවා ඇත. මේ අතර ඉදිරි සති කිහිපය සඳහා ප්‍රමාණවත් තරම් වී රට තුළ නැති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති කියයි. එසේ නොවන බවත් ප්‍රමාණවත් සහල් තොග හෝ වී තොග රට තුළ ඇති බව කෘෂිකර්ම ඇමැති අමරවීර කියයි. දැනටමත් වෙළෙඳපොළේ සමහර සහල් වර්ග නැත. අපට හිතෙන පරිදි ලංකාවේ සිටින මහා පරිමාණ වී මෝල්කාරයන් මේ වී තොග සඟවනු ලැබ ඇත. රටේ සහල් හිඟයක් ඇති වූ ගමන්ම මේ වී තොග සහල් බවට පත් වී එකට එකක් මිල ඉහළ ගොස් මාකට් එකට ඒමට ඉඩ තිබේ. වී ජාවාරම්කරුවන්ගේ අත්තනෝමතික හැසිරීම අභාවප්‍රාප්ත මාකඳුරේ මධුෂ්ලාගේ පාතාලය හා සමානය. මෙය මැඬීමට කාටවත් නොහැක. මහින්ද අමරවීර ආත්ම හතක් උපන්නත් අටවැනි ආත්මයේදී ද වී මෝල්කාරයන්ගේ බලය ඉදිරිපිට තුනට හතරට නැවෙන්නට ඔහුට සිදුවනවා ඇත. මේ ප්‍රශ්න ජය ගැනීම සඳහා හැකි ඉක්මනින් බහුකාර්ය, කාර්යසාධක බළකායක් පත් කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment