කුඩු පුනරුත්ථාපනයේ ගඳගහන ඇතුළු පැත්ත

729

මෙරට බන්ධනාගාරවල පවත්නා අධික තදබදය හේතුවෙන් සැකකරුවන් තවදුරටත් සිරගෙවල් තුළ ගාල් නොකර නිවාස අඩස්සියේ තැබීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා ළඟ දීම නීති සැකසීමට පටන් ගන්නවා ඇත. ලංකාවේ තිබෙන මෙලෝ අපාය බන්ධනාගාරයයි. බන්ධනාගාරය තුළ දී සියලුම සිරකරුවන්ගේ සහ සැකපිට සිරකර ඇති අයගේ මානව අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම උල්ලංඝනය වේ. ඉතා පැරණි දේපළක් වන බන්ධනාගාර ගොඩනැඟිල්ල බොරැල්ල හන්දිය වැනි තැනක තිබීම කිසිසේත්ම සුදුසු නැත. එම දේපළ වෙනත් සංවර්ධන වැඩකටයුත්තකට යොමුකර වෙනත් ජන ශුන්‍ය ප්‍රදේශයක අලුත් බන්ධනාගාරයක් තැනිය යුතුය. බොරැල්ලේ මැගසින් බන්ධනාගාරය සහ මධ්‍යම රිමාන්ඩ් සිරගෙදර එතැනින් ඉවත් කර අවිස්සාවේල්ලේ අලුත් බන්ධනාගාරයක් තැනීමට යන බව මෙයට කලකට පෙර අපට දැනගන්නට ලැබිණ. ඒත් එය අද වනතුරු ඉටුවී නැති අතර කවදාවත් ඉටුවන බවක් ද නොපෙනේ. මෙය චීන ව්‍යාපෘතියකි. ඒ නිසා මේ සඳහා බොහෝ කල්ගතවීම හෝ බාගෙට ඉදිකොට මුදල් ලැබෙන තුරු නවත්වා තැබීමට ඉඩ තිබේ. ඒ ආකාරයෙන් සිරගෙවල් හදන්නට බැරිය. යම්කිසි විදියකින් සිර ගෙදර තනා මුදල් හිඟය නිසා එහි යකඩ කූරු ටික සිටුවීමට බැරි වුණොත් ඒ සිරගෙදර කෙලින්ම එළිමහන් සිරකඳවුරක් බවට පත්වේ. එවිට ඕනෑම අපරාධකාරයකුට හිර ගෙදර තාප්පයෙන් පැන එළියට ගොස් මිනියක් මරා ආපසු පැමිණීමට පුළුවන. ඕනෑම පොකැට්කාරයකුට සිරගෙදර තාප්පයෙන් පැන එළියට ගොස් කලිසම් සාක්කුවකට විඳ ආපසු පැමිණිය හැක. මේ නිසා සිරගෙයක් දැඩි ආරක්‍ෂා සංවිධාන සහිත ගොඩනැඟිල්ලක් විය යුතුය. වැලිකඩ සිරගෙදර මෙපමණ ආරක්‍ෂාව තිබිය දී සිරකරුවෝ එයින් පැන යති. වැලිකඩ සිරගෙදර මොන තරම් උස තාප්ප තිබුණත් අහසින් එන කුඩු පැකට් සිරගෙදර බිමට පතිත වේ. බන්ධනාගාර ඉඩ නැතිකමින් සිරකරුවන් නිවාස අඩස්සියේ රැඳවීම සියයට පනහට පනහයේ ක්‍රියාවකි. මෙතැන් සිට අපරාධකරුට ගෙදර සිට ම ගේම ගැසීමට පුළුවන. සිරකරුවා ද මනුෂ්‍යයෙකි. එසේම බොහෝ සිරකරුවෝ නොම්බර එකේ අංකූරෝ වෙති. වැලිකඩ සිරගෙදර රුපියල් බිලියනයක කළු ආර්ථිකයක් ඇත. ඒ ආර්ථියක තුළ දී බීඩියක් රුපියල් 150ට විකිණේ.

සිගරැට්ටුවක් රුපියල් 5000කි. ගල් අරක්කු බෝතලයක් රුපියල් 25,000ට අලෙවි කරනු ලැබේ. බුලත්විටක් රුපියල් 500කි. මේ මිල ගණන් මීට වඩා ටිකක් අඩුවෙන් තිබුණ ද පසුගියදා මිල සංශෝධනයක් සිදුවිය. ඒ නිසා එම බඩු මිල හුඟක් ඉහළ නැංගේය. සිරගෙදර ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ රටේ ආර්ථිකයට සාපේක්‍ෂවය. හැබැයි සිරගෙදර කළු ආර්ථිකයෙන් ටැක්ස් අයකර ගැනීමට බැරිය. ටැක්ස් ෆයිල් විවෘත කිරීම සඳහා ආදායම් බදු කට්ටිය සිරගෙදර ඇතුළට ගියොත් ඔවුන්ට සිදුවන්නේ බෙල්ල නැතිව එන්නටය. සිරගෙදරක ළඟින සියයට අනූපහකට වඩා සාපරාධී මිනිස්සු වෙති. රිමාන්ඩ් සිරගෙදර ඉන්න කට්ටිය මීටත් දරුණු ය. සියලුම කුඩ්ඩන්, සූස්තිකාරයන්, අරක්කු බිස්නස්කාරයන් රිමාන්ඩ් සිරගෙදර තුළ සිටිති. මේ අය නිවාස අඩස්සියේ රඳවා තබනවා නම් ඔවුහු මහත්සේ කැමති වනවා ඇත. ගෙදරට ගෙන්වා ගෙනම අරක්කු ගැසීමටත්, සූස්ති ගැසීමටත් එළියේ සිටින අපරාධ කල්ලි සමග එක්වී ගේම් දීමටත් ඔවුන්ට හැකි වනවා ඇත. මේ නිසා රිමාන්ඩ් සිරකරුවෙක් නිවාස අඩස්සියේ තබනවිට ජේලර්ලා දෙන්නෙක්, පොලිසියේ තුන්දෙනෙක්, එස්ටීඑෆ් එකේ දෙන්නෙක් යනාදී වශයෙන් පැය විසිහතරම සිරකරුවාගේ කාමරය අසල ඩියුටි දැමීමට ආණ්ඩුවට සිදුවනවා ඇත. සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීම නිසා මේ රටේ රැකියා ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳේ. එනම් අලුතින් ජේලර්ලාත් රාලහාමිලාත් බඳවාගත යුතුය. දැනට මේ රටේ සිටින නිලධාරීන් ප්‍රමාණය අලුත් සංකල්පයට කිසිදු ආකාරයකින් සෑහෙන්නේ නැත. සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමට අපේ විරෝධයක් නොමැති බව ආණ්ඩුව තේරුම්ගත යුතුය. අප කියන්නේ මෙවැනි කාරණයක දී මතුවිය හැකි ප්‍රායෝගික ප්‍රශ්න ගැනය.

මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරෙන් පැන ගිය තරුණ පිරිසක් ගැන අපට අසන්නට ලැබිණ. ඉන් භාගයකට වඩා දැන් පොලිසියට හසුවී තිබේ. අපට තිබෙන ආරංචිවල හැටියට කන්දකාඩුවේ ඉන්නේ ජීවිතයේ පරමාදර්ශය කුඩු බවට පත්කර ගත් තරුණ පිරිස්ය. කන්දකාඩුවේ සිටින නිලධාරීන් තමන්ට නිරන්තරයෙන් ම පහර දෙන බවත් නිසි පරිදි ආහාර නොදෙන බවත් කඳවුරට ලැබෙන සියලුම දේ ගසා කන බවත් පැන ගිය රැඳවියෝ කියති. එහෙත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාර බි්‍රගේඩියර් සමග අප කළ සාකච්ඡාවක දී හෙළිවූ පරිදි කන්දකාඩුවේ කිසිම නිලධාරියෙක් කිසිම රැඳවියකුට පහර දෙන්නේ නැත. එයට හේතුව කුඩ්ඩාට කොපමණ ගැසුවත් වැඩක් නැති වීමයි. ඌ ගුටි කාගෙන කුඩු ගසයි. මේ අතර මීගමුවේ කොච්චිකඩේ කිට්ටුව තිබෙන අන්‍ය ආගමික කුඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තුළ සිටින අය බරපතළ දුක් අනුභව කරන බව දැනගන්නට තිබේ. මෙය කිසියම් ආගමික කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන පෞද්ගලික අංශයේ ජොයින්ට් එකකි. මේ ජොයින්ට් එකේ සිටින ඇතැම් නිලධාරීන් රැඳවියන්ගේ ගෙවල්වලට කතාකර සල්ලි, හාල්, පරිප්පු, සබන්, රස කැවිලි යනාදිය ඉල්ලන බව දැනගන්නට තිබේ. කන්දකාඩුවේ බි්‍රගේඩියර් බොරු කියන්නේ නැත. එහෙත් එහි සිටින රැඳවියන් කියන කතාව ද සියයට සියයක් ම බොරුවක් වන්නේ නැත. එනිසා කන්දකාඩුව ගැනත් මීගමුවේ කුඩු පුනරුත්ථාපන ජොයින්ට් එක ගැන සෙවීමේ වගකීම ආණ්ඩුවට පැවරේ. මේ කතාවේ ඉතිරි කොටස කියවීම සඳහා තව සෙට් එකක් කන්දකාඩුවෙන් පැන යන තෙක් අපි බලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment