තීරු බදු නොගෙවා කෝටියක ලැප්ටොප් සහ ජංගම දුරකථන පන්නන්න හැදූ ව්‍යාපාරිකයෝ අත්අඩංගුවට

126

පරිගණක 17 ක් සහ ජංගම දුරකථන 47 කුත් ඒ අතර

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන්, නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඒවා ගුවන්තොටින් පිට කරගෙන යමින් සිටියදී ගුවන්තොටුපොළ පොලිසිය මගින් පෙරේදා (12 දා) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ කොට්ඨාස බුද්ධි අංශය විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත තොරතුරු ලබාදී තිබූ අතර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ මඟහැර මෙම භාණ්ඩ තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම ව්‍යාපාරිකයෝ ගමන් මලු තුළ මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා නොගෙන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති “ට්‍රොලි” කරත්ත තුළ අසුරා ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයකු පැවසීය. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකු හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙකා දෙහිවල ප්‍රදේශයේ අයෙකි. මොවුන් දෙදෙනා පෙරේදා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙසේ නීති විරෝධී ලෙස රැගෙන විත් තිබූ විද්‍යුත් සන්නිවේදන උපකරණ අතර ලැප්ටොප් පරිගණක 17 ක්, අයි වර්ගයේ ජංගම දුරකථන 47 ක්, ලීටර් 01 විස්කි බෝතල් 22 ක්, ජේ.බී.එල්. සංගීත විකාශන පද්ධති 03 ක්, අයි. වර්ගයේ ජංගම දුරකථන ආරෝපණ (චාජර්) 200 ක්, රැහැන් රහිත මයික්‍රොෆෝන් 03 ක්, ආරක්ෂිත වර්ණ කැමරා පද්ධති 08 ක්, අයි. වර්ගයේ ජංගම දුරකථන උපාංග 55 ක් සහ අයි. වර්ගයේ ජංගම දුරකථන බැටරි 39ක් තිබූ බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයකු පැවසීය. වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. මැල්කම් පේත් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍ර.පො.ප. ජීවරත්න, පො.සැ. වරුන් වන (30220) පහත්කුඹුර, (72059) උපුල්, පො.කො. වරුන් වන (86243) ලලිත් සහ (85188) දිලංක යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති. මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment