ආගමික සහජීවනයට හානි කරලා ඥානසාර හිමි වසර 4ක් හිරේට

284

ලක්‍ෂයක දඩයකුත් නියම වෙයි

හිතාමතාම වෛරී ප්‍රකාශ කර ඇති බව පේනවා – විනිසුරු

තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කරයි

කොළඹදී 2016 වසරේ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (28දා) බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කළේය.

එකී දඩය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවම් ලබාදීමටද විනිසුරුවරයා නියම කළේය.

විත්තිකාර භික්‍ෂුව එම මාධ්‍ය සාකච්ඡාවේදී භාවිත කර ඇති වචන අනුව ඒවා අත්වැරදීමකින් සිදුකළ ප්‍රකාශ නොව හිතාමතාම වෙනත් ආගමකට ද්වේෂ සහගතව සිදුකළ වෛරී ප්‍රකාශ බව පෙනී යන්නේ යැයි සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසූ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.

2016.11.06 හා 2016.12.16 වැනිදා අතර කාලයේදී කිරුළපනදී යම් පන්තියකට අයත් තැනැත්තන්ගේ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ ඒකාන්ත හා ද්වේෂ සහගත චේතනාවෙන් එනම් ඉස්ලාම් භක්තික ප්‍රජාවගේ පිළිගැනීම් හා විශ්වාසවලට නින්දා කිරීමේ චේතනාවෙන් කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. මෙම චෝදනා සාමාන්‍ය චෝදනා ලෙස සැලකිය නොහැකි බවත් අප රට තුළම දීර්ඝ කාලයක් පැවැති යුද්ධයෙන් අති විශාල පිරිසක් මියගොස් ඇති බවත් එවන් පසුබිමක සිංහල මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව අතර යළි ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීම විත්තිකරු ඇතුළු ආගමික නායකයන් වෙත පැවරී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් සඳහන් කළේය.

අප රටේ ජනතාව පෞද්ගලික කටයුතුවලදී පවා බෞද්ධ භික්ෂුන් වහන්සේගෙන් උපදෙස් ගන්නා බවත් රටේ ජනතාව යහමගට ගැනීමේ වගකීම විත්තිකරු ඇතුළු ආගමික පූජකවරුන් වෙත පැවරී ඇති බවත් සිය තීන්දුව මගින් පැවසූ විනිසුරුවරයා විත්තිකරුගේ එවැනි ක්‍රියා මගින් සිදුවනුයේ අප රට නැවත ගිනි ඇවිලීමක් ඇති කිරීම වන්නේ යැයිද කීවේය.

විත්තිකරු විවෘත අධිකරණය හමුවේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් සිය ප්‍රකාශය මගින් මුස්ලිම් ප්‍රජාවට යම් සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර ඇතත් දඬුවම් ලැබිය හැකි එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවට හෝ චෝදනා ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර නොමැති බවද පැමිණිල්ල විසින් ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා දෙකම සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බවද විනිසුරුවරයා සිය තීන්දුව මගින් කීවේය.

විත්තිකරුට එරෙහිව ගොනුවී ඇති චෝදනාව අප රට අත්සන් කර ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේද දඬුවම් ලැබිය හැකි වැරදි වන්නේ යැයිද පැවසූ විනිසුරුවරයා නඩු විභාගයේදී ඉදිරිපත්වූ සාක්‍ෂි විත්තිකරු කළ ප්‍රකාශ ඇතුළු සියලු කරුණු තම අධිකරණය දැඩිව නිරීක්‍ෂණය කළ බවද කීවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය කරුණු දක්වමින් මින් පෙර ඇතිවූ ආගමික හා ජාතික ගැටුම්වලින් අප රටේ ජනතාව දැඩි ලෙස පීඩා විඳ ඇති බවත් විතිත්තිකරු වැනි ආගමික නායකයන් සිදු කරන එවැනි නුසුදුසු වාග් මාලාවන් එවැනි ගැටුම්වලට ඉදිරියේදී හේතුපාදක වියහැකි බවත් සඳහන් කළාය.

ඕනෑම ආගමකට තමන්ට අවශ්‍ය ලෙස ඕනෑම ආකාරයේ අපහාසයක් කළ හැකි යැයි සිතා ආගමික පූජකවරුන් කටයුතු කිරීම වැරදි සහගත බවත්, ජාතීන් අතර ගැටුම් ඇති කළ හැකි එවැනි ආගමික හා ජාතීන් අතර ගැටුම් ඇති කළ හැකි ප්‍රකාශ සිදුකර ඇති විත්තිකාර හිමියන්ට අන් අයට පාඩමක් ඉගෙන ගත හැකි පරිදි සක්‍රීය සිරදඬුවම් නියම කරනා ලෙසද ඇය ඉල්ලා සිටියාය.

කුමන ආගමක් හෝ පහත් කොට සලකා ක්‍රියාකිරීම බරපතළ වරදක් බවත් විශේෂයෙන් අපරට තුළ සංහිඳියාව ඇති කිරීමේ වගකීම පැවරී ඇති ආගමික පූජකවරයකු එලෙස සිදු කිරීම ඉතා බරපතළ වරදක් බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ රජයේ අධිනීතිඥවරිය එලෙස කටයුතු කරන අයට නීතිය අනුව පනවා ඇති උපරිම දඬුවම් ලබාදීම අධිකරණයේ වගකීම වන්නේ යැයිද කීවාය. විත්තිකරු මුළු රටම දන්නා භික්‍ෂුවක් වන බැවින් ඔහු කරනු ලබන යම් ප්‍රකාශයක් බොහෝදෙනකු පසු විපරමකින් තොරව පිළිගන්නා බවත් අධිකරණයට පැවසූ රජයේ අධිනීතිඥවරිය එවැනි අයකු අන් අයටත් ආදර්ශයක් වන ලෙස හැසිරිය යුතු වන්නේ යැයි ද පැවසුවාය. අන් අයට වඩා සමාජය පිළිගත් භික්‍ෂුවක් වන විත්තිකරු අනෙකුත් ආගම්වලට හා ආගමික ශාස්තෘවරුන්ට ගරු කළ යුතුව ඇතැයිද රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය අධිකරණයට වැඩිදුරටත් පැවසුවාය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර අභියාචනාධිකරණය විසින් සිරදඬුවම් නියම කළ සිය සේවාදායකයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාව දීමෙන් පසුව මේ දක්වා ඔහු කිසිම වරදක් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර අත්හිටවූ සිරදඬුවම් නියම කරන ලෙස විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. උන්වහන්සේ මින් පෙර සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්ත්වයන් සමනය කළ අයකු වන බැවින් සක්‍රීය සිරදඬුවම් නියම කළහොත් මුස්ලිම් ජනතාවට මෙන්ම සිංහල ජනතාව ආතතියට ලක්විය හැකි බවද එම නීතිඥවරයා අධිකරණයට කීවේය. පිහියෙන් අනිනවාට වඩා යමෙකු වචනවලින් කියන දෙය ඉතා බරපතළ බවත් යමෙකුට පිහියෙන් ඇන සමාව ඉල්ලූ පමණින් එම වරදේ බරපතළ කම අඩු නොවන බවත් විත්තියේ නීතිඥවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර මහාධිකරණය නියම කළ එකී දණ්ඩන නියෝග ප්‍රතිශෝධනය කර විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර ඥානසාර හිමියන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කිරීමට ඊයේ (28දා) පස්වරුවේ පියවර ගෙන තිබිණි.

එකී ප්‍රතිශෝධන අයැදුම්පත අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විත්තියේ නීතිඥවරු ඊයේ (28දා) පස්වරුවේම මහාධිකරණයට යොමු කළහ.

පිංතූරය – ධර්මසේන වැලිපිටිය

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment