කැලණිය සරසවියට ගිලන් රියක් නොගත්තොත් දැවැන්ත විරෝධතාවක් – මහා ශිෂ්‍ය සංගමයේ සභාපති

60

“කැලණිය විශ්වවිද්‍යාලයේ ගිලන් රථයක් නොමැතිකමින් සහෝදර සිසුවෙක් නැතිවුණා. දැන්වත් මේ විශ්වවිද්‍යාලයට ගිලන් රථයක් ගන්න පාලනාධිකාරිය පියවර නොගත්තොත් දැවැන්ත විරෝධතාවකට යනවා” යැයි කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරිසුමේධ හිමි ‘දිවයින’ට ඊයේ (26දා) පැවැසීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවකු වන නිරෝෂන් ලක්මාල් නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී උන්වහන්සේ එසේ කියාසිටියහ.

තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේ ද කීහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවකුට හෝ සිසුවියකට අසනීපයක්, අනතුරක් වුණොත් රෝහලකට ගෙන යන්න ගිලන් රථයක් නැහැ. මේක අවුරුදු ගාණක ඉඳලා තියෙන ගැටලුවක්. මියගිය ලක්මාල් ලෙඩ වුණු වෙලාවේ රෝහලට ගෙනියන්න ගිලන් රථයක් තිබුණේ නැහැ. පස්සෙ ප්‍රමාද වෙලා තමයි ඔහුව රැගෙන ගියෙ.් ඒ ගෙනියන කොට ඔහු මියගිහින්.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු කරන්න උදවු කරන්න කියලා පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා. ඔහුගේ නිවස තියෙන්නේ මොනරාගල. මළගෙදර යන්නත් මේ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

සිසුවා අසනීප වෙච්ච වෙලාවේ ශිෂ්‍ය කටයුතු භාර පරිපාලන නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමැතුම් කිහිපයක් ගත්තත් ඔහු ප්‍රතිචාර දැක්වූවේ නැහැ. ඒ ඇමැතුම්වලට ඔහු ප්‍රතිචාර දැක්වූවා නම් අද මේ සිසුවා ජීවතුන් අතර. මේ පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නත් ඕනෙ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment