පාර්ලිමේන්තුවේ ගණපූරණය නෑ – වැට් විවාදය අදට කල් තබයි

70

ගණපූරණය නොමැතිවීමෙන් ඊයේ ප.ව. 12.05 ට පමණ පාර්ලිමේන්තුව අද (11) පෙ. ව. 9.30 දක්වා කල් තබනු ලැබීය.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ පෙ. ව. 9.30 ට පමණ ආරම්භ වූ අතර ප. ව. 4.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ගණපූර්ණය පිළිබඳව මූලාසනයේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව බෙදුම් සීනුව විනාඩි 5 ක් නාද කිරීමෙන් අනතුරුව ද ගණපූර්ණය නොවූ හෙයින් ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව අද (11 දා) පෙ. ව. 9.30 දක්වා කල් තබන බව මූලාසනය හෙබවූ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ මහතා නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ගණපූර්ණය මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ද ඇතුළුව මන්ත්‍රීවරයන් විසිදෙනෙකුගෙන් සමන්විත විය යුතුය. එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 11 ප්‍රකාරව ඕනෑම අවස්ථාවක ගණපූර්ණය නොපවතින බව කථානායකවරයා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළහොත් බෙදුම් සීනුව නාද කිරීමට කථානායකවරයා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා අණ කළ යුතුය. බෙදුම් සීනුව මිනිත්තු 5 ක් නාද කිරීමෙන් අනතුරුව ද ගණපූර්ණය නොමැති නම් කථානායකවරයා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් හෝ ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල්තැබිය යුත්තේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment