රේගු සටන නැවතුණත් කන්ටේනර් තවම හිමින් – හරියන්න තව දවස් 4ක්වත් යාවි

60

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වුවද බහාලුම් කටයුතු සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑමට දින හතරක පමණ කාලයක් ගතවනු ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා ‘දිවයිනට’ ඊයේ (20 දා) පැවැසීය.

රේගුවෙන් මුදාහැරීම සඳහා වූ බහාලුම් 5000 ක් පවතින බවත්, රේගුවට අයත් ගුදම්වල පවතින බහාලුම්වලට අදාළව ප්‍රමාද ගාස්තු අය නොකරන බවත් ඔහු කීවේය.

වරායේ සහ පෞද්ගලික සමාගම්වලට අයත් ස්ථානවල ඇති බහාලුම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම්වලට මැදිහත්වීමට තමුන්ට නොහැකි බවත් සංජීව මහතා පැවැසීය.

වාහන ආනයනය නතර කර තිබියදීත් 2023 වර්ෂයේදී බිලියන 870 ක බදු ආදායමක් රේගුව මගින් එකතු කර ගැනීමට ඉලක්ක ලබාදී තිබියදී බිලියන 978 ක් එකතු කර තිබූ බවත් ඒ මහතා කීවේය.

රේගු ත්‍යාග මුදලට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් ගත් තීරණයකට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බවත්, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය මේ මස 31 වැනිදා තෙක් අත්හිටුවීමට තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment