ආර්ථිකය හදන්න නව නීතියක් – ජනපති කියයි

90

ආනයන අපනයන පරතරය පියවන්න යළි ණය ගත්තොත් තව අවුරුදු 10කින් රට වළේ

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එබැවින් රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද හෙතෙම සඳහන් කළේය.

ඊට අදාළව නව නීතියක් ද මෙම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එසේම රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බවත් පැවසූ ජනාධිපතිවරයා මෙම සියලු කටයුතුවලින් අපේක්‍ෂා කරන්නේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම බව ද පැවසීය.

ශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ සහතික කිරීමට අදාළ සාකච්ඡා මෙම ජූනි, ජුලි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සමගම බංකොලොත් රටක් යන නාමකරණය යටතේ මෙතෙක් අහිමිව තිබූ විදෙස් ආධාර නැවත රටට ලැබීම ආරම්භ වන බව ද සඳහන් කළේය.

එපමණක් නොව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙනු කිරීම ආරම්භ වීමත් සමග රටේ මුදල් ප්‍රමාණය ඉහළ යෑම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සමග ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද කියා සිටියේය.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එබැවින් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභය ද කිහිපදෙනකුට පමණක් නොව සියලු ජනතාවට හිමිකර දීම අරමුණ බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ඓතිහාසික බෝධින් වහන්සේ වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (20දා) පෙරවරුවේ එක් වෙමිනි.

මංගෙදර ටැම්පිට පුරාණ විහාරාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති, ප්‍රවීන ආචාර්ය, ශාස්ත්‍රපති, කෑගල්ල මහ දිසාව ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය වැලිවිට ශ්‍රී ජනානන්දාභිධාන සහ වෑවලදෙණිය පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍යපාද හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ යන නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු කථානායක කරු ජයසූරිය, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය ඇමැතිවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, රාජිකා වික්‍රමසිංහ, අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීහු ද, රාජ්‍ය නිලධාරීහු ද විහාරස්ථ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ ද, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment