දකුණු පළාත් බැඩ්මින්ටන් ශූරතාවය රනිත්මාට සහ ඕඩන්ට

53

දකුණු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා ඒකල ශූරතාව දිනා ගැනීමට රනිත්මා ලියනගේ සමත් වූවාය.

එම තරගාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් සමත් වූයේය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ පැවැත්වූ එම තරගාවලිය ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-12ක් සහ 21-11ක් ලෙස ඕඩන් ලෙෆිසන් විසින් පරාජය කරනු ලැබීය.

කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-6ක් සහ 21-9ක් ලෙස වරංගනා ජයවර්ධන පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය.

ආශිංස හේරත් සහ ඕඩන් ලෙෆිසන් ලකුණු 21-19ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින් පිරිමි යුගල ශූරතාවය දිනා ගැනීමට මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ සමත් වූ අතර කාන්තා යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 13-21ක්, 21-12ක් සහ 21-16ක් ලෙස රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන පරාජය කළ අනුරංගි හංසමාලි මාස්කෝරාල සහ විදාරා සුහස්නි විදානගේ විසිනුයි.

ලකුණු 21-16ක්, 14-21ක් සහ 21-17ක් ලෙස රනිත්මා ලියනගේ සහ ඇලන් මේනකේ පරාජය කළ ඕඩන් ලෙෆිසන් සහ රේණු චන්ද්‍රිකා මිශ්‍ර යුගල ශූරතාවය දිනා ගැනීමට සමත් වූහ.

තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 25-23ක්, 19-21ක් සහ 21-13ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කළ ශෙනුක් සමරරත්න විසින් දිනා ගනු ලැබීය.

විවෘත කාන්තා ඒකල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීමට ද සමත් වූ අතර එම අවසන් තරගයේදී සිතුකි ඕනදී අබේගුණවර්ධන ලකුණු 21-6ක් සහ 21-11ක් ලෙස පරාජය වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment