දෙසැම්බර් 31 විසිපන්දහසක් ගෙදර යවයි

923

වෛද්‍යවරු 200 ක් ගුරුවරු 2000 ක්
රාජ්‍ය සේවයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ – රාජ්‍ය පරිපාලන ලේකම්

වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට තීරණය වීමත් සමග සමස්ත රාජ්‍ය සේවයේම විසිපන් දහසක් පමණ පිරිසක් මේ මස අවසානයේ දී විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

සමස්ත රාජ්‍ය සේවයේ ලක්‍ෂ 15ක පමණ පිරිසක් සිටින බවත් මෙම විසිපන්දහසක පිරිස විශ්‍රාම යෑමෙන් පසු රාජ්‍ය සේවය කඩා වැටීමට ලක්නොවන බවත් මායාදුන්න මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් වැඩි පිරිසක් මේ මස 31 වැනිදාට අවුරුදු 60 පිරීම නිමිත්තෙන් විශ්‍රාම යන බවත් ඔවුන් සමග නියෝජ්‍ය අතිරේක ලේකම් වැනි පිරිස්වලට මේ වනවිට වැඩ ආවරණය කර පළපුරුද්දක් තිබෙන නිසා ඉහළ නිලධාරීන් විශ්‍රාම ගියත් වැඩ ආවරණය කළ නිලධාරීන් ඉහළ තනතුරුවලට පත්කර රාජ්‍ය සේවය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් ඒ මහතා කීවේය.

විශ්‍රාම යන නිලධාරියා වෙනුවට අනුප්‍රාප්තිකයෙක් නොමැති අවස්ථාවල අවුරුදු 60 ඉක්මවන නිලධාරියා තවදුරටත් වසරකට රඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබාගෙන සිදුකළ හැකි බවද මායාදුන්න මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවය අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය නිසා කනිෂ්ඨ නිලධාරීන්ට තාක්‍ෂණික දැනුම සමග ඉහළ තනතුරුවලට යෑමට බාධාවක් වී තිබූ බවද කී මායාදුන්න මහතා අවුරුදු 60 කිරීම නිසා එම කනිෂ්ඨ නිලධාරීන්ට ඉහළ තනතුරුවලට යෑමට ඉඩ ප්‍රස්ථාව විවර වන බවද වැඩිදුරටත් පැවසීය.

මේ අතර ගුරු සේවයේ 2000 ක පමණ පිරිසක් අවුරුදු 60න් විශ්‍රාම යෑමට නියමිතව සිටියත් ඒ සඳහා අනුප්‍රාප්තිකයන් පිරවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ නිසි වැඩ පිළිවෙළක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

මෙම පුරප්පාඩු පිරවීම සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගෙන සිටින පිරිස බඳවා ගන්නා බවට විටක දී විiාපීඨ උපාධිධාරීන් බඳවා ගන්නා බවට තවත් විටෙක පවසන බවත් ස්ටාලින් මතා සඳහන් කළේය.

ගුරුවරුන් යනු රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට ඉගැන්වීම් සිදුකිරීමට සිටින පිරිසක් බවත් ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකළ ගුරුවරුන් විශ්‍රාම ගැන්වීමෙන් පසු කඩිනමින් පාසල් තෝරාගෙන අවශ්‍ය ගුරුවරුන් අනුයුක්ත කිරීමට කටයුතු කළ යුතු බවද ස්ටාලින් මහතා පැවසීය. එහෙත් පෙනෙන ආකාරයට අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට තීරණය කළත් අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍ය කරන හිතවත් 17 දෙනෙකු සේවයේ තබා ගැනීමට උත්සාහ දරන බවක් පේන්න තිබෙන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 200කට ආසන්න පිරිසක් දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යෑම හේතුවෙන් සෞඛ්‍ය සේවාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

තවත් වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරට අතැර විදෙස් රටවල රෝහල්වල සේවය කරන බවද හෙතෙම කීවේය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

රට තුළ පවතින ජීවන වියදම දරාගන්න බැරිව වෛද්‍යවරුන් විශාල පිරිසක් රට අත්හැරලා ගිහින් නවසීලන්තය, ඔස්‌ට්‍රේලියාව, එංගලන්තය, සිංගප්පූරුව, කැනඩාව වගේ රටවල්වල ඇති රෝහල්වල සේවය කරනවා. තවත් වෛද්‍යවරුන් පිරිසක් නිවාඩු දාලා රට ගිහින්. වෛද්‍යවරුන් විශ්‍රාම යෑමත් සමග රෝහල්වල ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අපි මේ ගැන සෞඛ්‍ය බලධාරීන් සමග කල් ඇතුවම සාකච්ඡා කරලයි තියෙන්නේ. නමුත් තාම විසඳුමක් නැහැ. වෛද්‍යවරුන් මේ රට අත්හැරලා යන්නේ කරන සේවයට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම නිසයි. ඒ වගේම ප්‍රවාහන වියදම, ආහාර වියදම, මුදල් ප්‍රශ්න නිසා මේ අය රට අත්හැරලා යනවා යැයිද ඔහු කීය.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment