පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීති විරෝධී ක්‍රියාවලට ඉඩදෙන්න එපා

120

අලිසබි්‍ර රහීම්ට එරෙහිව කඩිනමින් පියවර ගන්නැයි විපක්‍ෂයේ
දේශපාලන නායකයන්ගෙන් කතානායකට ලිපියක්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීති විරෝධී ක්‍රියා කිරීමට තවදුරටත් ඉඩ නොදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබි්‍ර රහිම් සිදුකළ නීති විරෝධි ක්‍රියාවට එරෙහිව කඩිනමින් පියවර ගන්නා ලෙසත් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයන් ඊයේ (25 දා) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය.

විපක්‍ෂය විසින් කතානායකවරයාට භාරදුන් ලිපිය මෙසේය.

ආණ්ඩුව නියේජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අලි සබ්රි රහිම් මන්ත්‍රීවරයා විසින් නීති විරා්ධි අයුරින් කිලෝග්‍රෑම් 3කට වැඩි රත්‍රං එනම්, රුපියල් කෝටි හතකට වඩා අධික වටිනාකමකින් යුතු රත්තරන් සහ නවීන ජංගම දුරකථන රැසක් රට තුළට රැගෙන ඒමට කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ අවධානය යොමුකළ යුතු කරුණක් වේ.

විශේෂයෙන්ම, ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය ඔස්සේ නීති විරෝධීව මෙම භාණ්ඩ රට තුළට ගෙන ඒමට එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර තිබේ.

එයින් පාර්ලිමේන්තුව විසින් 2018 මාර්තු මස 7 වැනි දින අනුමත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර තිබේ.

ආණ්ඩුව විසින් ගෙන එනු ලබන අණපනත්, නීති රීති සම්මත කර ගැනීමට සිය සහයෝගය ලබාදෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින්ම එම අණ පනත්, නීති රීති කඩ කිරීමට කටයුතු කිරීම තුළින් ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව පමණක් නොව පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ සියලු මන්ත්‍රීවරුන් කෙරෙහි මහජන විශ්වාස බිඳ වැටෙනු ඇත. මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේ දී රටේ ජනතාව වුවද නීති රීතිවලට අවනත නොවීමක්විය හැකියි.

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හට රුපියල් ලක්‍ෂ 75ක දඩයක් නියම කරමින් රැගෙන එන ලද සියලු භාණ්ඩ රාජසන්තක කර ඇති බව වාර්තාවේ. එසේ වුවද පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් සිදුකරනු ලැබූ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා පූර්වාදර්ශයන් වුවද අනුගමනය කළ යුතුයි.

එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් මෙවැනි නීති විරෝධී ක්‍රියා තවදුරටත් සිදු නොකිරීමට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව අව්‍ය පියවර කඩිනමින් ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment