ආහාර හොරාට බෙදපු කතා බොරු

හාමුදුරුවෝ මට කිසි දවසක පැමිණිල්ලක් කර නැහැ- පුනරුත්ථාපන කොමසාරිස් කියයි

මාධ්‍ය සංදර්ශන තියන්නේ ඇතුලෙ ඉන්න කුඩු වෙළෙන්දු ටික එළියට ගන්න

කන්දකාඩුවෙ ඉන්නෙ අපරාධකාරයො නෙවෙයි රෝගීන්

පුනරුත්ථාපනය කරනවා කියන්නේ ප්‍රතිකාර කිරීමක් නැතිව හමුදා පාලනයකින් දඬුවම් දෙනවා නෙවෙයි

මානුෂික ප්‍රතිකාර කියන්නේ ඉවසීමෙන් කළයුත්තක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දෙන කන්දකාඩුව දැන් ටක්කෙටම ප්‍රසිද්ධය. ඒ ඉන් සිදුවන සේවාව ගැන කියනවාට වඩා එහි ප්‍රතිකාර ලබන රැඳවියන් ඉඳහිට කරන නාහෙට නාහන වැඩ නිසාය. මේ පසුබිමෙහි ඉඳගෙන බොර දියෙහි මාළු බාන පිරිස් ද දැන් පිළිවෙළකට වැඩේ කරන බවක්ද පෙනෙන්නට තිබේ. ඒ වග හරියටම පෙනුණේ ඉකුත් සතියේ එකොළොස් වැනිදා කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අවස්ථා දෙකකදී එකසිය තිස් අට දෙනකු පැනගිය වෙලාවේදීය. පලාගිය සැකකරුවන් කොළඹ, මීගමුව, යාපනය, මහනුවර යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු විස්සත් හතළිහත් අතර වයසේ පසුවන්නන් ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත වසරක කාලයක් උපදේශන සේවා සඳහා පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ. මේ කාලගෝට්ටිය සිදු කරන්නේ එලෙස ප්‍රතිකාර ලබන පිරිසය. මේ පිරිස පිළිබඳව වගකීම ගෙන ඇත්තේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ය. මන්ද ඔවුහු මේ ජීවිත පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයට වගකිව යුතුය. පරිපාලන ව්‍යුහය එලෙස පවතින්නේ රටේ දියුණුව පිණිස නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් යළි ඉන් මුදා ගැනීම අත්‍යවශ්‍ය නිසාය.

මෙවර සිදුවීම වළක්වාලීමට වැලිකන්ද පොලිසිය මුල්වී මුලින් රැඳවියන් එකොළොස් දෙනකු ද, දෙවන අවස්ථාවේ තවත් තිස් දෙනකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබිණි. ඉන් අනතුරුව එදින සවස විසි තුන්දෙනකු පුලස්තිපුර පොලිසියට භාරවී තිබිණි. පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක ඇතුළු විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ අවස්ථාවේ රැඳවියන් යළි සොයා ගැනීමට කටයුතු කළහ.

වැලිකන්ද, අරලගංවිල මනම්පිටිය, පුලස්තිපුර පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පැනගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හරියටම උතුරේ නන්දිකඩාල් යුද මෙහෙයුම සිහිගැන්වීය. පොළොන්නරුවට ඇදහැලෙන වර්ෂාව සමග ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටව තිබීම මත මෙහෙයුම් සිදු කෙරුණේ ජලය සමග පොර බඳිමින් වාගේය.

නත්තල් කන්න ගෙදර යන්න ගිහින් කන්දකාඩු රැඳවියෝ ආයෙත් හිරගෙට
දොම්පේ ශාන්ති විහාරි හිමි

එම මෙහෙයුම් සඳහා වැලිකන්ද, පුලස්තිපුර, මීගස්වැව, හිඟුරක්ගොඩ, මනම්පිටිය ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහයෝගයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ආරක්ෂාවට නිලධාරීන් පනස්දෙදෙනකු යොදවා සිටින අතර මේ අයුරින්ම ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී රැඳවියන් සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් අනුව, පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට අලාභහානි කරමින් රැඳවියන් දෙසීයකට ආසන්න පිරිසක් පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ සෑම අවස්ථාවකදීම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් සහ සේනපුර පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් වරින් වර පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඔවුන් නැවත පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේය.

බන්ධනාගාර හා පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් පාලනය වන වැලිකන්ද කන්දකාඩු කඳවුරෙන් මෙවර පලා ගිය රැඳවියන් එකසිය තිස් අට දෙනාගෙන් එකසිය තිස් පස් දෙනකුම මේ වන විට සොයා ගෙන තිබේ. ඉතිරි තුන් දෙනා සොයා මෙහෙයුම් මේ මොහොතටත් සිදු කෙරෙයි. සොයාගත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ, මීගස්වැව, පොළොන්නරුව, පුලස්තිපුර යන පොලිස් ස්ථානවල රඳවා කට උත්තර ලබාගැනීමෙන් පසුව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර යළිත් බන්ධනාගාරගත කර ඇත. දැන් මේ පිරිසට කන්දකාඩුවට යන්නට පහසු නැත. සිදු වූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටීමය. නත්තල් කන්නටත් ජනවාරි පළමු වැනි දින නිවසේ සිට අවුරුදු සැමරීමටත් සිතා කැරලි ගසා කන්දකාඩුවෙන් එළියට පැන්න පිරිසට දැන් සැපසේ නිදා ගන්නටවත් ක්‍රමයක් නැත. නැවත බන්ධනාගාරයේ සිරබත් කෑමට සිදු වූයේ එකිනෙකාගේ සැලසුම් නිසාය.

මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබුණු ආහාර ගැටලුවක් හේතුවෙන් මෙවර රැඳවියන් පැනගිය බවට රට පුරා ප්‍රචාරයක් ගියේය. ඒ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හාරසිය අසූ පස්දෙනකු සිටි බව කන්දකාඩුව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන කර්නල් සාගර මහතා කියා සිටියේය. ඔහු තවදුරටත් කියා සිටියේ ආහාර ගැටලුවක් කිසි විටෙක ඇති නොවූ බවය. නමුත් දිගින් දිගටම මධ්‍ය සාකච්ඡා තබමින් ආහාර ගැටලුව මතු වූයේ ඇයිද යන්න විමසා සිටි විට ඔහු කියා සිටියේ මෙවැන්නකි.

“ඔය සිදුවීම වෙන්න දින කිහිපයකට කලින් කෑම කන අවස්ථාවක දෙදෙනෙක් අතර ආරවුලක් ඇති වුණා. ඒ රණ්ඩුව එතනින් ඉවර වුණා. නමුත් මේ කඳවුරෙන් පිටත ඉන්න බොහොමයක් දෙනා බලාගෙන ඉන්නේ මේ ඇතුලේ කුමක් හෝ ආරවුලක් පටන් ගන්න කල්. ඒ අවස්ථාව දඩමීමා කරගෙන කුමක් හෝ ලොකු සිදුවීමක් ඇති කරන්න උත්සාහ ගන්න බවක් අපට පෙනෙනවා. ඇත්තම කියනවා නම් මේ ඇතුලේ ප්‍රතිකාර ගන්න පිරිස් අතර මත්ව්‍යාපාරවලට අත්‍යවශ්‍යම කරන පිරිසකුත් සිටින බවට අපට තොරතුරු තිබෙනවා. බොහෝ විට ඒ අය එළියට ගන්නත් මේ වගේ සිදුවීම් ඉවහල් වෙනවා. … මොකද ඔය ආහාර කතාව කී ස්වාමින් වහන්සේ මේ කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන එන කෙනෙක් වත් මෙහෙ කටයුතුවලට දායකත්වයක් හෝ අඩුපාඩු සොයා බලන කෙනෙක්වත් නෙවෙයි. කාගේ හෝ සැලසුමකට ආ කෙනෙක්. අපට යම් සිදුවීමක් ගැන පැමිණිලි කළා නම් අප ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා. එහෙම දෙයක් සිදුවූයේ නැහැ”

නත්තල් කන්න ගෙදර යන්න ගිහින් කන්දකාඩු රැඳවියෝ ආයෙත් හිරගෙට
පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) දර්ශන හෙට්ටිආරච්චි මහතාය.

කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනය වන රැඳවියන්ටත් ගැටලු රැසක් පවතින බවත් ඒ අතරින් ආහාර ප්‍රශ්නය ප්‍රධාන බවත් පොලොන්නරු තරුණ භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක අභයපුර පුලස්තිගම ශ්‍රී ශාන්ත නිකේතනාරාමයේ විහාරාධිපති දොම්පේ ශාන්ති විහාරි හිමියෝ ප්‍රකාශ කළේ මේ අතරය.

මාධ්‍ය අමතා උන්වහන්සේ ප්‍රකාශ කළේ ආහාර ප්‍රශ්නය සම්බන්ධව තමන්වහන්සේම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට අවස්ථා කීපයක දී දැන්වූ බවත්, කඳවුරේ රැඳවියන් සඳහා ලැබෙන වියළි ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගම්මානවලට හොර රහසේ විකිණෙන බවට වූ චෝදනා පැවති බවය.

මාධ්‍ය හමුවේ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

ළමයි ඇතුළෙ ගහගන්නවා. රණ්ඩු වෙනවා. මේ ගැටුම ඇති වෙලා තිබෙන්නේ ඊයේ හවස. මේ වෙලාවෙ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල්තුමාට මතක් කරන්න ඕන ගිය වසර තුළත් මේ ගැටුම ඇති වුණා. ඒ දරුවන්ගේ ප්‍රශ්න තියනවා. එකක් තමයි කෑම නෑ කියන ප්‍රශ්නය.

මේ කෑම නෑ කියන ප්‍රශ්නයේ දී හිටපු ආඥාපතිවරුන්ට පවා මම දැනුම් දීලා තියනවා. මතක් කරලා තියනවා. දරුවන්ට හම්බවෙන කෑම ගම්මානවලට විකුණනවා කියලා කතාව දිගටම තියනවා. ඒක සොයා බලන්න කියලා වෙනම බුද්ධි කණ්ඩායමක් පත් කළා. සිංහපුර වැලිකන්ද ගම්මානවලට දරුවන්ට දෙන වියළි ආහාර විකුණනවා කියන එකට ආරංචි තිබුණා. ගොඩාක් විකුණනවා කියන්නේ හාල්මැස්සෝ.

වියළි ආහාර විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් පැන්නීම ගැන චෝදනා එද්දී විවිධ මණ්ඩල පත් කළා. දැම්මට කිසිම දෙයක් හොයා ගන්න බැරිවුණා. අපි පුනරුත්ථාපන ජනරාල්තුමාගෙන් ඉල්ලන්නෙ දරුවන්ට හරියට කන්න දෙනව ද කියලා හොයලා බලන්න කියලා.

අනික ලොකුම ප්‍රශ්නය තියෙන්නේ දහසක් එන සොමාවතී පුදබිම. මෙහෙම දේවල් දිගින් දිගට වෙන්න හොඳ නෑ. ගිය පාරත් ගෙවල්වලට පැනලා විශාල අලාභහානි ප්‍රමාණයක් සිද්ධ කළා. එහෙම වුණේ නෑ මේ පාර පුලස්තිගම පොලිස් ස්ථානාධිපතිතුමා එස්. එස්. පී. මහත්තයා ඇතුළු පොලිසිය හමුදා කණ්ඩායම් එක්ක ඉදිරියට ගිහින් මේ ගැටලුව සමතයකට පත් කරගත්තා.

මොනව වුණත් පුනරුත්ථාපන කඳවුරක් කියන්නේ දරුවො හදන තැනක්. නැවත නැවත මේ සිද්ධි වෙන්න ගියොත් ඒක රටටත් රටේ ප්‍රතිරූපයටත් හානියක්, උන්වහන්සේ කීහ.

නත්තල් කන්න ගෙදර යන්න ගිහින් කන්දකාඩු රැඳවියෝ ආයෙත් හිරගෙට

මේ ස්වාමින් වහන්සේගේ ප්‍රකාශයට පිළිතුරු දුන්නේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) දර්ශන හෙට්ටිආරච්චි මහතාය.

කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පාලනය කරන්නේ යුද හමුදාවෙන් වුවත්, මෙහි පුනරුත්ථාපනය වෙනුවෙන් දරුවන් අප සලකන්නේ රෝගීන් ලෙසයි.

ඔවුන්ගේ දෛනික කටයුතුවලදී ඇතිවන මානසික පීඩන තත්ත්වයෙන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් පාලනය කිරීමට දැඩි පියවර ගැනීමට අපට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස මොවුන් පැන යන විට වෙඩි තබා හෝ වෙනත් දරුණු පියවරක් ගෙන ඔවුන්ව පාලනය කිරීමට අපට හැකියාවක් නැහැ.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවී තිබෙන රෝගී තත්ත්වයන් සමනය කිරීමට නම් ඔවුන්ට මානුෂීය යහපත් සතුටුදායී පරිසරයක් පත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි. කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට මා උපදෙස් ලබාදී තිබෙන්නේ මොවුන් දරුවන් ලෙස රැකබලා ගන්නා ලෙසයි.

මේ දින දෙකෙහි ඇතිවූ හදිසි තත්ත්වයට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා මා විසින් විශේෂ විමර්ශනයක් සිදු කරන අතර යම් හෙයකින් එය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මත සිදුවූවක් නම් ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට මම සූදානම්.

පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පන්සියයකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් රැකබලා ගැනීම සුළුපටු කාරියක් නොවේ. ඒ සඳහා රජය විශාල වියදමක් ද දරන බව අප අමතක කළ යුතු නැහැ. රඳවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම භූමිය තුළ යම් අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීම මාගේ යුතුකමක් සහ වගකීමක්.

තිදෙනකු හැර පැනගිය සෙසු සියලු පුද්ගලයන් මේ වන විට නැවත සොයා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

ආහාර ප්‍රශ්නයක් මත රැඳවියන් පැන ගිය බවට මාධ්‍ය හමු පවත්වමින් වැරදි මතයක් සමාජගත කළ දොම්පේ ශාන්ති විහාරී හිමියන්ගේ ප්‍රකාශවලට එරහිව වැලිකන්ද පොලිස් ස්ථානයේ පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරල්) දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, පිටස්තර වුවමනාවන්ට විවිධ සැලසුම් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වූ බවද සිහි කරමිනි.

මේ වනතුරු තමන් වෙත කිසිදු අවස්ථාවක කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර පාන සොරකම් හෝ ගම්මුන්ට බෙදා දීම සම්බන්ධයෙන් පැමිණිලි කර නැති බව ද, එවැන්නක් සිදුවී ඇත්නම් තමා කිසිදු අවස්ථාවක නිහඬව සිටින්නේ නැති බවද කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේය.

හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදෙමින් සමාජයට හිරිහැරයක් ඇති පිරිසක් පුනරුත්ථාපනය කිරීම සුළුපටු කාරියක් නොවන බව කී කොමසාරිස් ජෙනරාල්වරයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලට සක්‍රීය ලෙස දායකත්වයක් දැක්වූ පිරිස් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින බවද කීය. එම පිරිස එළියට ගැනීමට උත්සාහ දරන පිරිසක් පිටත සිට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින බව ද හෙතෙම කීය.

පොළොන්නරුව තරුණ භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක අභයපුර පුලස්තිගම ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ විහාරාධිපති හිමියන් වැරැදි මතයක් සමාජගත කරමින් මේ සිදු කරන්නේ ද කිසියම් ව්‍යාපාරිකයකු ගේ වුවමනාවන් ඉෂ්ට කිරීමක් විය හැකි යැයිද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

කන්දකාඩුවේ රැඳී සිටින රැඳවියන්ගේ ප්‍රකාශ ද මත පුළුල් විමර්ශන පැවැත්වෙන පසුබිමක මේ වන විට අනාවරණය වන්නේ නත්තල් කෑමට කෙසේ හෝ නිවසට පැන යන්නට පිරිසක් උත්සාහ කරමින් සිටි බවය. ඒ අතර අලුත් අවුරුද්දට නම් ගෙදර යනවාමයි කී අයද සිට ඇත. මේ වන විට කන්දකාඩුව මධ්‍යස්ථානය තුළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි. පැනගිය පිරිස යළිත් බන්ධනාගාර තුළ රැඳී සිටියි.

රටක දියුණුව පිණිස මිනිසුන්ට දායක වීමටත් තමන් ගේ ජීවිතය යහපත් කර ගැනීමටත් ඉඩ සලසා දෙන විටෙක, ඊට පයින් ගසා නැවත මඩ වගුරටම බසින උන් කවදාවත් යථා තත්ත්වයට ගැනීමට නොහැකිය. මන්ද කුණු කන්නට හුරු කෙනා කිසිදා රස මසවුල් කන්නේ නැත. උන් කන්නේම කුණුමය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment