අම්බුළුවාව යනු ශ්‍රී ලංකාවේ පළමු බහු ආගමික මධ්‍යස්ථානයයි. ඔබට පන්සලක්, කෝවිලක්, මුස්ලිම් පල්ලියක් සහ පල්ලියක් දැකිය හැකිය. අම්බුළුවාව විහාරය මීටර් 48ක් උසින් යුත් බෞද්ධ ‘ස්ථූපයක්’ ඇති බව දන්නා කරුණකි. මෙම බහු ආගමික මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ශ්‍රී ලාංකිකයන් අතර පරිපූර්ණ සමගිය පෙන්නුම් කරයි. අම්බුළුවාව ගත් කල අවට කඳු, වනාන්තර, ගංගා සහ නගරවල අංශක 360 දර්ශන ලබා දෙන සාපේක්ෂව පහසු නැගීමක් සහිත ස්ථානයක් වේ. එය සදාහරිත වනාන්තර, පිපුණු මල් පැල මෙන්ම විවිධ ඖෂධීය ශාක ඇතුළු ශාක පවුල් 80ක විවිධ ශාක වර්ග 200කින් පමණ සමන්විත ප්‍රදේශයක්. අම්බුළුවාව නැගෙනහිරින් පිදුරුතලාගල, බටහිරින් බයිබල් පර්වතය (බතලේගල), දකුණින් ශ්‍රී පාදය (ආදම්ගේ කඳු මුදුන) සහ උතුරින් නකල්ස් කඳුවැටිය ඇතුළු බොහෝ කඳුවලින් වටවී ඇත.

මෙම කඳු හැරුණු විට තවත් බොහෝ කඳු ද මෙහි සිට පැහැදිලිව පෙනෙන අතර ප්‍රදේශයේ සුන්දරත්වය තවත් වැඩි කරයි. ඒ හන්තාන කඳුවැටිය, හුන්නස්ගිරි කන්ද සහ අලගල්ල හා කඩුගන්නාව ආශ්‍රිත කඳුවැටියි. මේ හේතුව නිසා ප්‍රදේශය පුරා සිසිල් කඳුකර සුළඟක් පවතී. අම්බුළුවාව කන්ද සහ යාබද වනාන්තරය වන රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර එය අම්බුළුවාව වන රක්ෂිතය ලෙස නම් කර ඇත. අම්බුළුවාව විහාරස්ථානයේ ඉතිහාසය 13 වැනි සියවස දක්වා දිව යන්නේ IV වැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේදීය. ඔහුගේ පාලන සමයේදී ගම්පොළ රාජධානියේ කේන්ද්‍රස්ථානය වූයේ අම්බුළුවාව කඳු මුදුන බව පැවසේ.

අම්බුළුවාව තව තවත් දියුණු කිරීමේ අරමුණින් දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල නමින් පනතක් සම්මත වූයේ 2009 වසරේදීය. මෙහි දිසානායක මුදියන්සේලාගේ ජයරත්න යනු දි. මු. ජයරත්න මහතාය. මෙම ආගමික මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා ඔහු වන අතර ඔහුගේ ඇවෑමෙන් පනතට අනුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අනුප්‍රාප්තිකයා ලෙස පත් වේ. ඒ අනුව එහි වත්මන් භාරකරු මෙන්ම මෙම අරමුදල් මණ්ඩලයේ සභාපති වන්නේ අනුරාධ ජයරත්න මහතාය.

පනතකින් ස්ථාපිත කර ඇති මෙම අම්බුළුවාව කතන්දරය ගැන තවදුරටත් සොයා යද්දී එහි මූල්‍ය කළමනාකාරීත්වය පිළිබඳ සැලකුවහොත් තත්ත්වය එතරම් සංතෝෂයක් ගෙන නොදේ. ඒ සඳහා වැඩිදුර අධ්‍යයනය කිරීමට විඝණන දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාව දෙස සැලකිල්ලෙන් බලන කල්හි පසුගිය දස වසර පුරාම මූල්‍ය වංචා සිදුව ඇති බව සාක්ෂි දරයි. ඇත්තටම ගතහොත් පසුගිය දශකය පමණක් නොව ඊට පෙරත් මෙහි වංචා දූෂණ සිදුව ඇති බවට විගණන වාර්තා හෙළිදරව් කර සිටී. එහිදී 2009 සහ 2010 වසරවලදී අවස්ථා තුනකදී මහා භාරකාර දෙපාර්තමේන්තුව අම්බුළුවාවට ලබා දී තිබූ තිස් එක්ලක්ෂ තිස් පන්දහසක මුදලක් ගිණුම් ගත කර නොමැත.

ඒ අනුව බලන කල්හි අම්බුළුවාවේ ගිණුම්ගත කිරීම් දෙස බලන කල්හි මතුවන ගැටලු බොහෝය. එහිදී 2010දී රුපියල් 993,000ක දුරකථන බිම් කුලී ගාස්තු ගිණුම් ගත නොකිරීම, රුපියල් දාහත් ලක්ෂ අනූපන්දහස් අටසිය දහතුනක මුදලක් අයභාර වියදම් යටතේ ගිණුම් ගත නොකිරීම ආදිය ද සඳහන් කර ඇත.

සමස්තයක් ලෙස අම්බුළුවාව ගිණුම් නිසි ලෙස පවත්වා ගෙන නොයෑම්, සේවක අර්ථසාධක අරමුදල වෙතට දායක මුදල් පවා නිසි ලෙස ගිණුම් ගත කර නොමැති බව හෙළිව තිබේ. එපමණක් නොව අවස්ථා ගණනාවකදී මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබූ මුදලින් එහි එවකට සභාපතිවරයා සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වියදම් කොට ඇති අතර ඒ සඳහා යෑම් ඊම් මෙන්ම නවාතැන් පහසුකම් පමණක් නොව සිංගප්පූරු ඩොලර් දහතුන් දහසකට අධික මුදලක් වියදම් කිරීම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොමැත.

අම්බුළුවාව සතු දේපළ මෙන්ම ඒවා ඉදිකිරීම් පිළිබඳව නිසා ලෙස ගිණුම් ගත කර නොමැති අතර මිලදී ගැනීම් සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනිම තත්ත්වයකි. ප්‍රදාන වශයෙන්ම මෙම ගිණුම් ගත කිරීම් නොකරමින් එලෙස වැරදි පාරක යන අතරේ අම්බුළුවාව බැලීමට පැමිණෙන්නන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ගසා කා ඇත්තේ ද ඒ ආකාරයෙනි. කොතරම් පිරිසක් ආවේද? ඔවුන් වෙත කොතරම් ප්‍රවේශ පත් නිකුත් කළේද සහ ආදායම් කොතරම් ලැබුණේ ද යන්න දැඩි ගැටලුවකි.

ඒවා එකිනෙක විග්‍රහ කිරීම මෙන්ම කියවීම ද දැඩි පිළිකුල ගෙන දෙන්නක් වේ. එහි සාරාංශයක් ලෙස පසුගිය 2020 සහ 2021 වසර දෙස බැලුවහොත් අවස්ථා 45කදී සිදුව ඇති මූල්‍ය වංචාව දාහත් කෝටි හැට අට ලක්ෂ අසූ හත් දහස් තිස් අටක් බව හෙළිව තිබේ. මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් සිදු කළේය. කෙසේ වෙතත් විගණනයට කරුණු කාරණා බොහෝමයක් ඇති බංකොලොත් රටක් බවට පත් වූ අපේ රට මේවායින් මිදෙන දිනෙක නිදහසේ හුස්ම ගනු ඇත. එතරම් අම්බුළුවාවටත් වඩා උස වංචා දූෂණ නම් අපේ රටේ අඩුනොවනු ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment