වැට් නිසා හිට් වුණු සතියක් !

272

පසුගිය සතිය වත්මන් ආණ්ඩුවට අභියෝගාත්මක සතියක් විය. ඊට හේතුව රටේ අනාගතය සම්බන්ධයෙන් බලපානා එකකට එකක් සම්බන්ධ අභියෝග තුනක් ජයගන්නට ආණ්ඩුවට මේ සතිය තුළ සිදුව තිබීමයි.

පළමුවැන්න වූයේ වැට්බදු සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් සම්මත කර ගැනීමයි. දෙවන අභියෝගය ජයගත හැකිවන්නේ පළවෙනි අභියෝගයේ ප්‍රතිඵල මතයි. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දෙවැනි වාරිකය අපට ලබා දෙන්නට සලකා බලන්නේ වැට් බදු සංශෝධනය අනුමත වුවහොත් පමණක් බව දැනුම් දී තිබිණි. එම සලකා බැලීම යෙදී තිබුණේ 11 වැනි සඳුදා රාත්‍රියේ බැවින් ඊට පෙර වැට් බදු යෝජනාව සම්මත කරගත යුතු විය.

තුන්වැන්න 2024 සඳහා වන අයවැය තුන්වන වර කියවීම සම්මත කර ගැනීමයි. එම ඡන්ද විමසීම දෙසැම්බර් 13 වන බදාදාට යෙදී තිබිණි.

මෙන්න මේ ඉතා වැදගත් කාරණා ත්‍රිත්වය හේතුවෙන් ජනාධිපතිවරයාත් රජයේ මුදල් රාජ්‍ය ඇමැතිවරුත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමත් දැඩි පරිශ්‍රමයක යෙදෙමින් ඒ සඳහා සූදානම් වන ආකාරය පසුගිය කාලය මුළුල්ලේම අපට දැකගත හැකි විය. එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේත් ඔවුන් හා ඒකාබද්ධ වුණු හා ස්වාධීන වුණු අනෙකුත් කණ්ඩායම්වලත් අභියෝගවලට නිරන්තරයෙන්ම මුහුණ දෙන්නට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට සිදුවිය.

අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ

ඒ අතර ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද මේ වැට් වැඩි කිරීම සම්බන්ධයෙන් සුභවාදී මතයක සිටියේ නැත. 15% තිබුණු වැට් බද්ද 18% කිරීමත් මෙතෙක් දිනක් වැට් බදු අය නොකළ භාණ්ඩ වර්ග 97ක් ටැට් බදු ලැයිස්තුවට ඇතුළත් කිරීමත් නිසා රටේ ජනතාව තුළ ද වැට් බද්ද සම්බන්ධයෙන් යම් විරෝධයක් ගොඩනැඟී තිබිණි. ආණ්ඩු පක්ෂයේ පිට පළාත්වලට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට ජනතාවගෙන් මේ පිළිබඳව නොයෙකුත් විරෝධතා එල්ල වී තිබූ නිසා සැලකිය යුතු මන්ත්‍රීවරු පිරිසක් සිටියේ දෙගිඩියාවකය. නාමල් රාජපක්ෂ වැනි මන්ත්‍රීවරු කීප දෙනෙක් එළිපිටම කියා තිබුණේ තමන් පුද්ගලිකව මේ වැට් බදු වැඩි කිරීමට විරුද්ධ බවයි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ අභියෝගය ජයගන්නට වෙනත් මාර්ග නොවීය. මේ නිසා ඔහු පහුගිය දිනවල බර්ටෝල්ඩ් බ්‍රෙෂට්ගේ හුණුවටයේ කතාවේ හෙන්රි ජයසේන නිෂ්පාදනයේ එන ඇතැම් කවි සින්දු සොයා බලමින් රටේ ආර්ථිකය හා මුසුකරමින් සිටියේය.

“අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ…” යනාදී වශයෙන් කල්පනා කරමින් ඔහු වැල් පාලමේ ගීතය ආවර්ජනය කරමින් සිටින්නට ඇත. ඒ අතර ඔහු මෙසේද කීය.

“අයිඑම්එෆ් එක අපට කියනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න වැට් එක ගහන්න කියලා. අපට වෙනත් විකල්ප නෑ. මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙලා මේ දුෂ්කර අවස්ථාව ජය ගන්න ඕන. වැට් බදු සංශෝධනය ගැන ආණ්ඩුව ඇතුළේ අයත් විරෝධය පානවා. කවුරු හරි මේ සංශෝධනය කරන්නේ ඇයි කියන එක ගැන මේ වෙලාවේ අපේ අයවවත් දැනුවත් කරන්න වෙනවා…”

ජනාධිපති යෝජනා කළේ වැට් බදු පිළිබඳ විවාදය පැමිණීමට පෙර ආර්ථික ක්‍රමෝපායන ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම දැනුවත් කළ යුතු බවයි. ඒ සඳහා සති අන්තයේ වෙනමම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට සූදානම් කළ අතර එහිදී දේශනය පවත්වන්නේ කවුදැයි යන කාරණය ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් ඇති විය. ඇතැම්හු කීවේ මහා බැංකුවේ ඉහළ නිලධාරියෙක් පැමිණ මේ ගැන අවබෝධයක් ලබා දිය යුතු බවයි…

“මම නම් හිතන්නේ මේකට හොඳම කෙනා රංජිත් සියඹලාපිටිය…” යෝජනාව පැමිණියේ ආණ්ඩුවේ ඉහළම පුටුවකිනි…

“ඒක නම් ඇත්ත… සියඹලාපිටිය ඇමැතිතුමාට වැට් එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. 2004 අවුරුද්දෙදී ලංකාවේ සිදුවුණා මහා වැට් බදු වංචාවක්. සංවිධානාත්මකව කීපදෙනෙක් එකතුවෙලා බිලියන ගාණක වැට් බදු ආණ්ඩුවට වංචා කරමින් ඉන්න වෙලාවේ සියඹලාපිටිය ඇමැතිතුමා තමයි මෙවන් වැට් බදු වංචාවක් සිදුවෙනවා වහාම හොයා බලන්න කියලා ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්මයාට ලියුමක් ගැහුවේ. ඒක නිසා ආණ්ඩුවට බිලියන ගාණක මුදලක් ලැබුණ වගේම වංචාකරුවන් හෙළිදරව් කර ගන්නත් පුළුවන් වුණා. සියඹලාපිටිය ඇමැතිතුමාට නම් ඒ කාලෙ ඉඳන්ම වැට් ගැන හොඳ පරිචයක් තියෙනවා…” ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පෙන්වා දුන්නේය.

වැට් බදු යෝජනාවට
විපක්ෂයෙන් පොල්ලක්…

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විවාදයක් ඉල්ලා සිටි බැවින් ඉරිදා දිනයේද පාර්ලිමේන්තුව පවත්වන්නට සිදුවිය. කෙසේ වෙතත් ඉරිදා දිනයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ඉතාමත්ම දුර්වල විය. එහෙත් තීරණය කළ පරිදි විවාදය පැවැත්විණ. විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කතා කළේය.

අලුතින් භාණ්ඩ 97 කට බින්දුවේ ඉඳලා සියයට 18 වෙනකන් වැට් එක ගහනවා. දරුවන්ගේ පෝෂණ ආහාරවලට වැට් බදු ගහනවා. රට ගොඩ ගන්න දරුවන් ජීවත් කරවන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම සියලු රසායනික පොහොරවලට වැට් එක ගහනවා. පොහොර නවත්වලා වෙච්ච මඟුල මතක නැද්ද. සියලු වෛද්‍ය උපකරණවලට වැට් එක ගහනවා. සුවසැරිය ගිලන් රථ ගෙන්වීමේදී වැට් බද්ද ගහනවා. කිසිම රටක ගිලන් රථවලට වැට් බද්දක් අය කරන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න තමයි බදු පිට බදු ගහන්නේ.’ – හර්ෂ ද සිල්වා කීවේය.

“ළදරු කිරිපිටිවලට විදුලිබිලට තිබුණ වැට් බද්ද අයින් කරලා නේද. පොඩ්ඩක් හිතක් පපුවක් ඇවිල්ලා වගේ. කොලේ වහලා තමයි වැට් බදු ගහන්න උත්සහ කරන්නේ. භූමිදානයට සහ අදාහනයටත් වැට් බද්දක් ගහනව ද? මළමිනියටත් වැට් එක ගහන්නද හදන්නේ. බදු සහන නිසා තමයි රාජ්‍ය ආදායම කුඩු පට්ටම් වුණේ. දැන් කියනවා වැට් බද්ද වැඩි කරන්න ඕන කියලා. හොරා කාපු මුදල් නැවත ගේන වැඩසටහන් නැද්ද?. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසුවේය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගැබේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයේ ලෙකු අඩුවක් තිබිණි.

“ආණ්ඩුව බේර ගන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෑ. ඉස්සල්ලා ඝනපූර්ණය පරීක්ෂා කරලා බලන්න. ඝන පූර්ණයක් නැතුව හොරාට වැට් බද්ද සම්මත කරගන්න ආණ්ඩුව උත්සාහ කරනවා” – නලින් බණ්ඩාර කීවේය.

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති බව දැනගත් සැණින්ම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා සභා නායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දෙදෙනාම තකහනියේම ගියේ කථානායකවරයාගේ නිල කාමරයටය. මේ ගමනට රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහද සම්බන්ධ විය. කථානායකවරයා සමඟ සාකච්ඡා කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් දැනුවත් කරන්නට ඔවුන් තීරණය කළහ.

“හරි.. අපි මේක හෙටත් ගේමු. හෙටම පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවමු” අගමැති දිනේෂ් කීය.

අනතුරුව ඔවුන් මේ ගැන ජනාධිපතිවරයා දුරකථනය මඟින් දැනුවත් කිරීමට කටයුතු කළහ.

“පක්ෂ නායක රැස්වීම් වැඩක් නෑ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවල හරි මේක සම්මත කරමු” ජනාධිපති රනිල්ගේ තීරණය දැඩි විය.

නමුත් අගමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව හා කතබහෙන් පසුව ජනාධිපතිවරයා තීරණය වෙනස් කරගත්හ. ඒ අනුව අලුත් යෝජනාවක් ලෙස වැට් බදු පනත් කෙටුම්පත සඳුදා දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය විය.

“හැබැයි විපක්ෂය ඡන්දයක් ඉල්ලන්න පුළුවන්. අපේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවන්න.” ජනපතිවරයා කීය.

ඒ අනුව ඇමැති ප්‍රසන්න ඉරිදා රාත්‍රියේ ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට පුද්ගලිකවම දුරකථනයෙන් කතාකොට ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කර ගත්හ.

කණ්ඩායම් රැස්වීමේ වැට් නිසා ගැටුමක්….

පසුගිය සති අන්තයේ කරන්නට සිටි වැට් පිළිබඳ දැනුවත් කිරීම සිදුවූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සඳුදා උදේ 8.30ට පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදීය. මේ දුෂ්කර අවස්ථාවේ අකමැත්තෙන් වුවත් වැට් බදු සංශෝධනය කළ යුත්තේ මන්දැයි කියා රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය හොඳ පැහැදිලි කිරීමක් කළේය…

කොතරම් හොඳින් පැහැදිලි කළත් ආණ්ඩු පක්ෂයේ යම් පසු පෙළ මන්ත්‍රී පිරිසකට පමණක් නොව, ප්‍රවීණයන් පිරිසකටද වැට් අය කිරීම පිළිබඳ යහපත් චිත්‍රයක් මවාගන්නට නොහැකි වූහ.

“මේ විදියට මහජනතාව පෙළලා අයකරන බද්දෙන් ඇති වැඩේ මොකක්ද… ඔය කවුරු මොනවා කිව්වත් මමනම් අනුමත කරන්නේ නෑ මේ වැඩේ…” සරත් වීරසේකර නැගිට බාල්දි පිට බාල්දි අදින්නට විය.

“අපි හංගල ගහන්නේ නැතුව වැඩ කරමු. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැහැ.” ඒ ඇමැති මනූෂය.

“මනූෂ ඇමැතිතුමා කියන කතාව හරි, ජනතාවට බදු ගහනවට අපි කැමති නැහැ. නමුත් අපි මෙතනදි ආණ්ඩුව එක්ක හිට ගන්න ඕන. අපිට වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මේක කරන්න වෙනවා.” මහින්දානන්ද අලුත්ගමගේද කීය.

“දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු අය කරන්නේ අඩුවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපෙන් බදු අරගෙන තියෙන්නෙ අඩුවෙන්. මේ විදියට බදු අයකළොත් අපි මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද?” සංජීව එදිරිමාන්න ද මැදට පැන්නේය.

“කවුරු මොනව කිව්වත් මම මේකට විරුද්ධයි. මේකට අත උස්සල අපි ගමට යන්නේ කොහොමද?. අපේ ගෙවල් පුච්චනවා. තීන්දු ගන්න නිලධාරීන්ට කිසි හෙණයක් නැහැ. ඒ නිසා මම කියන්නේ විපක්ෂය නඟන ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ නිලධාරීන් යවන්න.” චින්තක මායාදුන්නගේ ස්වරය දැඩි විය.

“ඔබතුමාට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා. ඔබතුමා මීට කලිනුත් ඡන්දය නොදී ඉඳල තියෙනව නේ. නමුත් අපි ආණ්ඩුව එක්ක කටයුතු කරනවා.” මහින්දානන්ද කීය.

“මෙතන එක එක්කෙනා න්‍යාය පත්‍රවලට කටයුතු කරනවා. අපි ඒවට වැඩ කරන්න සූදානම් නැහැ.” චින්තක මායාදුන්නගේ කතාව තවත් දැඩිවිය.

“මොකද්ද න්‍යාය පත්‍රය..” යැයි අසමින් මහින්දානන්ද සූදානම් වූයේ මායාදුන්න සමඟ හැප්පෙන්නටය.

දෙපැත්තේ මැති ඇමැතිවරුන් මැදිහත්වී දෙදෙනා දෙපැත්තට ඇදගත්හ.

“මම ඒක කිව්වේ අයියට නෙවෙයි. නිලධාරීන්ට. මෙතන තියෙන්නේ නිලධාරීන්ගේ න්‍යාය පත්‍රය. අයිය වලිගය පාගාගෙන මට බණින්න එපා.” මන්ත්‍රී චින්තක කීය.

විපක්ෂයේ විරෝධය මැද
වැට් බද්ද සම්මත වෙයි

සඳුදා උදෑසනම හරිත සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වන්නට හෝමාගම පිටිපනට ගිය ජනාධිපතිවරයා යළි ඉක්මනින් කාර්යාලයට පැමිණියේය. ඒ වන විට පාර්ලිමේන්තුවේ වැට් බදු සංශෝධන පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබිණි. සඳුදා දිනයේ කෙසේ හෝ වැට් බදු සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු විය. නොඑසේ නම් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ලංකාවේ ණය වාරිකය සම්බන්ධයෙන් අයහපත් තීන්දුවක් ගනු ලබන බව ජනාධිපතිවරයා දැන සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුවේ වැට් පිළිබඳ ගැටලුව උග්‍ර තැනකට පැමිණ තිබිණි. ඉරිදා සම්මත කරගත නොහැකි වූ වැට් බදු සංශෝධන යෝජනාව සඳුදා උදේ පාර්ලිමේන්තුවට නැවතත් ඉදිරිපත් කළේ සුසිල් ප්‍රේමජයන්තයි. විපක්ෂය ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිටියේය.

ඒ අතරවාරයේදී ඇමැති ප්‍රසන්න හනිකට නැවතත් ගණං හැදුවේ සභාවට පැමිණ සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරියටම දැන ගන්නටය. ඒ වනවිටත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 90ට ආසන්න පිරිසක් සභා ගැබට පැමිණ සිටිනු දුටු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සැනසුම් සුසුම් හෙළීය.

“හවස හතරට ඡන්දය තියෙනවා. හවස තුන වෙනකොට ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් සභාවට කැඳවන්න.” ඇමැති ප්‍රසන්න ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනතුරුව ඇමැති ප්‍රසන්න තවත් පිම්මක් පැනීමට සූදානම් විය.

ඒ වැට් බදු පනත විවාදයකින් තොරව සම්මත කර ගැනීමය. ඒ සඳහා සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත එකඟ කරගැනීම ජනාධිපති උපදේශකයකු වන මහාචාර්ය ආංශු මාරසිංහට භාර විය.

එහෙත් ආණ්ඩුවේම ඇතැම් නායකයන් සිටියේ මෙය විවාදයකින් සම්මත කරගත යුතුය යන සම්ප්‍රදායක මතයේම ය.

එන පොට හොඳ නැති බව තේරුම්ගත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ තකහනියේම ඇමැති ප්‍රසන්න හමුවී කෙටි සාකච්ඡාවක නිරත විය.

“සර්.. මේක හරියන්නේ නෑ… ජනාධිපතිතුමාටවත් කියල බලන්න” රාජ්‍ය ඇමැති ශෙහාන් කීය.

“නෑ… අපි අගමැතිතුමා හම්බවෙලා කතා කරමු” කී ඇමැතිවරයා, අගමැතිවරයා හමුවී සාකච්ඡා කළේය.

ජනපතිගේ මැදිහත්වීම

මේ අතරවාරයේදී කැබිනට් හමුවට සහභාගි වීමට ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. අනතුරුව අගමැතිවරයාත්, ඇමැති ප්‍රසන්නත්, රාජ්‍ය ඇමැති ශෙහානුත් ජනාධිපතිවරයා හමුවී සිද්ධිය පැහැදිලි කළේය.

“මේක අදින්න එපා. ස්ථාවර නියෝග අත්හිටුවල හරි කරන්න.” ජනපති කීය.

අනතුරුව ජනාධිපතිවරයා, ඇමැති සුසිල් කැඳවා ඔහුට කරුණු පැහැදිලි කළේය. මේ ඡන්ද විමසීම නිසා කැබිනට් හමුව පැයකින් පමණ කල් දමන්නට ද තීරණය විය.

වැට් විවාදය අතරතුර මිහින්තලය පුදබිමේ සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා කතා කළේය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ, මිහින්තලා පුදබිමේ නායක ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරින් 250 දෙනකු සමඟ සුහදව එම පුදබිම ආරක්ෂා කර ගන්න කටයුතු කළත් පසුගිය දා එම භූමියේ සිට හඳුනා නොගත් පුද්ගලයන් කිහිප දෙනකු සිවිල් ආරක්ෂක නිලධාරීන් අල්ලා පොලිසියට භාර දීමෙන් පසු රජය විසින් එම පුදබිමේ සිටි සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එය වැරදි අසාධාරණ ක්‍රියාවක් බවයි.

කෙසේ හෝ පස්වරු 4.00 වනවිට ඡන්ද විමසීමක් පවත්වා වැට් බදු පනත සම්මත කර ගැනීමට රජය සමත්වූයේ විපක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේය. විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

වැට් බද්ද නිසා මෙරට මිනිසුන් අසහනයට සහ පීඩනයට පත්ව ඇති බැවින් ඒ සඳහා විධිමත් විවාදයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසූ අතර ආදාහනයට, මළ මිනියට, හුස්ම ගන්න පවා ගහන මේ වැට් බදු සම්බන්ධ විවාදයක් අවශ්‍ය බැවින් තවදුරටත් නොමග යැවීම් සිදු කිරිමට ඉඩ නොදිය හැකි බව විපක්ෂ නායකවරයා කීවේය.

“පාර්ලිමේන්තුවේ බහුතරය භාවිතා කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් වැට් අනුමැතිය ලබාගත්තා එසේ කීවේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවැනි ණය වාරිකය අනුමත කර ඇතැයි යන සතුටුදායක පණිවිඩයත් රැගෙනය. ඔහු ඒ සම්බන්ධයෙන් රංජිත් සියඹලාපිටිය, ශෙහාන් සේමසිංහ යන රාජ්‍ය ඇමැතිවරුන්ට ද ස්තුති කළේය. ජාත්‍යන්තර අරමුදල සමග ගනුදෙනු කිරීමේදී සහාය වූ සියලු නිලධාරීන්ටද ස්තුති කළේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් පැමිණි චෝදනා සුළු පටු නොවීය. අඟහරුවාදා සවස පදනම් ආයතනයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අයිඑම්එෆ් ණය මුදලේ දෙවැනි ණය වාරිකය ලැබීම සම්බන්ධයෙන් මේ අයුරින් අදහස් පළ කළේය.

“ගෝඨාභය මේ රට භාරගන්න අවස්ථාවේ ඩොලර් බිලියන 8ක සංචිත මහ බැංකුවේ තිබුණා. ඒගොල්ල ඇවිල්ලත් කෙටි කලකින් ඒ මුදල ඩොලර් මිලියන 1500ට බැස්සුවා. ඒගොල්ලෝ රට බංකොලොත් කළා. රට බංකොලොත් කළේ කවුද කියලා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙනම තීන්දුවක් දීල තියනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට බංකොලොත් කරපු අය පැත්තක ඉද්දි ජනතාවට වැට් ගහන්න ආණ්ඩුවට උපදෙස් දෙනවා.

පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවේදී ද විපක්ෂය ඒ පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කර සිටියහ.

“ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැල් පාලමෙන් ගෙනිහිල්ලා ගොඩ ගත්තා. ගොඩ අරගෙන කේක් එහෙමත් කැව්වා. රට බංකොලොත් කරපු කල්ලියක් සමඟ අපි මධුසමය ගත කරන්න සූදානම් නෑ… ජනාධිපතිවරයා හුණුවටයේ කතා කිය කිය විදුලිබිල වැඩි කර කර වැට් බද්ද උපරිමයට වැඩි කරලා මහජනතාව මරණ මංචකයට ගෙන යනවා. රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල ගෙනියනවා දිව්‍යලෝකයට. ගහන්න පුළුවන් හැම එකටම වැට් එක ගහලා තිබෙන්නේ. පොහොට්ටු කල්ලියෙන් රැකෙන රාජ්‍ය නායකයාගේ එකම මග බදු වැඩිකිරීම්. මෙසේ කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

පොහොට්ටුවේ සම්මේලනයට නොමිලේ ලද ප්‍රචාරය

අයවැය සම්බන්ධයෙන් කවර විවේචන පැමිණියත් ඉකුත් බදාදා අයවැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය. නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු අයවැයට ඡන්දය නොදුන්නද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 122ක් ඡන්දය ලබා දී අයවැය ජයග්‍රහණය කරවා තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙම සතිය තුළ අවධානය යොමු කර තිබුණේ අයවැයට හෝ ආණ්ඩුවේ වැඩකටයුතුවලට නම් නොවේ. දැන් සති කිහිපයක සිට ඔහු සිය සම්පූර්ණ අවධානය යොමු කරමින් දවසේ වැඩි පැය ගණනක් වැඩ කරමින් සිටියේ පහළොස්වන සිකුරාදා හවස් යාමයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන්නට නියමිතව තිබෙන පොහොට්ටුවේ දෙවන සම්මේලනය සාර්ථකව පවත්වන්නටය. එහිදී ඔහුගේ විශේෂ අවධානය දිනාගත් කරුණු කීපයකි.

අරගල සමයේ සිදු වූ අවාසනාවන්ත සිද්ධීන්වලට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතුවලට පිටපළාත්වලින් ජනතාව සහභාගි වීම පිළිබඳ ලොකු අභියෝගයක් තිබිණි. පාක්ෂික ජනතාව සිටියේ චකිතයක හා පීඩනයකය. එදා අරලියගහ මන්දිරයට පැමිණ ආපසු යද්දී මගතොටදී පහරදීම්වලට හා අඩන්තේට්ටම්වලට ලක් වූ පොහොට්ටු පාක්ෂිකයෝ ඉන්පසුව දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන් ගත්හ.

එහෙත් බැසිල් රාජපක්ෂට අවශ්‍ය වූයේ මේ නිහඬව සිටින ජන බලවේගය නඟා සිටුවන්නටය. සාමාන්‍යයෙන් සම්මේලනයකට පක්ෂ සාමාජිකත්වය හැර වැඩි සෙනඟක් අවශ්‍ය නොවූවත් බැසිල්ගේ අරමුණ වූයේ හැකි තරම් සෙනඟක් ගෙනැවිත් මෙවර ගෘහස්ථ ක්‍රීඩාංගණය පුරවන්නටය. ඒ සඳහා ඔහු ඉතා සංවිධානාත්මකව වැඩපිළිවෙළක් යොදනු ලැබීය.

ඒ අතර පාක්ෂිකයන්ට මෙසේ පැමිණෙන්නට දැඩි බාධා එල්ල වී ඇතැයි ඔහුට දැනගන්නට ලැබිණි. පසුගිය කාලයේ අරගලවලට සම්බන්ධ වූ යම් යම් බලවේග විසින් පොහොට්ටු පාක්ෂිකයෝ බිය වැද්දීමට යම් යම් ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති බව ඔහුට දැනගන්නට ලැබිණ. එක් ව්‍යාපෘතියක් වූයේ පසුගිය වසරේ අරලියගහ මැදුරට හා ගෝල්ෆේස් පිටියට පැමිණි පොහොට්ටු පාක්ෂිකයන්ට පහර දෙමින් හා බේරේ වැවට දමමින් කරන ලද අඩන්තේට්ටම් දැක්වෙන වීඩියෝ පට හා ඡායාරූප හැකි තරම් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කර හැරීමයි. ඒ මගින් සම්මේලනයට පැමිණීමට නියමිත පාක්ෂිකයින් බියවැද්දීමට වෙනමම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව බැසිල්ට දැනගන්නට ලැබිණි. එහිදී ඔහු කළේ ආසන මට්ටමින් එවන් අභියෝග මතු වුවහොත් ඊට මුහුණ දෙන්නට හැකි වනසේ කණ්ඩායම් සංවිධානය කිරීම ය.

ඊට අමතරව ශාස්ත්‍රීය වශයෙන් පැමිණි විවේචනවලට උත්තර දෙන්නට ද ඔහු වෙන වෙනම කණ්ඩායම් සූදානම් කළේය.

ගෝඨා සමග සෙල්ලං
රනිල් එක්ක බැහැයිලු

ඒ අතර පසුගිය දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ සුහද හමුවක් සංවිධානය කෙරිණ. මේ හමුවට ආරාධනා කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සබඳතා ඇති මේ රටේ ප්‍රමුඛ කලාකරුවන් පිරිසකටය. කලාකරුවන් 150කට අධික පිරිසක් එදින එම හමුවට පැමිණ සිටියහ.

නාමල් සමග සාගර කාරියවසම්, රෝහිත, සහන්, තේනුක, සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මෙම හමුවට සහභාගි වී සිටියහ. යම් පුද්ගලික කාරණාවකට විදේශගතව සිටි නාමල් ගුවන් තොටුපළේ සිට කෙළින්ම මෙම හමුවට පැමිණ සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ලද දැනුම් දීමකට අනුවයි.

ආණ්ඩුවේ අයවැය දිනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු ස්වාධීන මත කළ කරමින් සිටියහ. බහුතරයක් පක්ෂව ඡන්දය දුන් අතර තම විරෝධය පළ කරමින් ඡන්දය දීමෙන් වැළකී සිටි පිරිසක් ද වූහ. ඒ පිළිබඳ යම් යම් විරෝධාකල්ප තිබුණත් පක්ෂ සම්මේලනය’ සම්බන්ධයෙන් නම් පොහොට්ටුවේ සියලුම දෙනා සිටියේ එකම මතයකය. එහි සංවිධාන කටයුතුවලට සහභාගී වූ පොහොට්ටුවේ කණ්ඩායම පසුගිය දිනක ඒ පිළිබඳ සමාලෝචනයක් කරන්නට නෙළුම් මාවතට රැස්ව සිටියහ.

“සමාජ මාධ්‍යවලින් පොහොට්ටුවේ සම්මේලනයට එන අයට පහර දීලා බේරේ වැවට දානවයි කියන පණිවිඩය ප්‍රචාරය කරන්න පටන් අරන්…”

“ඔව් ඉතිං ගහපු දෙන්… ඒකෙනුත් වෙන්නේ අපට පබ්ලිසිටි ලැබෙන එක…” නාමල් කීවේය.

“හැබැයි මට නම් හිතෙන්නේ අපි සම්මේලනය පවත්වනවාට බය වෙච්ච කට්ටිය තමයි ශෝෂල් මීඩියා කැම්පේන්වලින් අපට ගහන්න පටන් අරන් තියෙන්නේ…” ජෝන්ස්ටන් කීවේය.

“ඔව් සමහරුන්ට රිදිලා… මේ පාරත් බේරේ වැවේ ගිල්ලනවයි කියලා පණිවිඩ දානවා… සජබෙයි ජේවීපී එකයි තමයි මේවා කරන්නේ…” ජොන්ස්ටන් කීවේය.

“අපේ පාක්ෂිකයෝ මේවා ගණන් ගන්නේ නෑ… ගෝඨාභය එක්ක දාපු සෙල්ලන් රනිල් එක්ක දාන්න ආවොත් වැඩ වරදියි කියල දැන් මුළු රටම දන්නවා…” රෝහිත අබේගුණවර්ධන කීවේය.

අපි මොකද කරන්නේ
හෙලිකොප්ටරය විමසයි

එළඹෙන 2024 වර්ෂයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව පසුගියදා ජනපති රනිල් ප්‍රසිද්ධියේම කියා සිටියේය. පළාත් පාලන මැතිවරණය සඳහා නිදහස් ජනතා සන්ධානය (හෙලිකොප්ටරය) සමග අත්වැල් බැඳගත් 36 කට ආසන්න වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද දැන් බරපතල ප්‍රශ්නයක් මතුවී තිබේ. ඒ ඉදිරියේදී පැවත්වෙන ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී තමන් සහය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳවය.

පසුගියදා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී රැස්වූ නිදහස් ජනතා සන්ධානයේ විධායක සභිකයන්ගේ ද ප්‍රධාන මාතෘකාව වූයේ මෙම කාරණාවය.

“අපි මේ සන්ධානය පිහිටුවා ගත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා. ඒත් දැන් අපි හැමෝම දන්නවා රනිල් මුලින්ම පළාත් පාලන මැතිවරණය තියන්නේ නෑ කියලා. එහෙම නම් අපි දැන් තීරණය කරන්න ඕන එදා අපි ඇති කරගත් එකඟතාවය ඉදිරියටත් පවත්වා රෑගෙන යනවද…? ඒ මොන කොන්දේසි යටතේද කියලා.”

නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ගෙන ආ එම ප්‍රශ්නයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාගෙන්ම ප්‍රකාශ වූයේ එය අනිවාර්යයෙන් විසඳා ගත යුතු බවත්, වෙන වෙනම සන්ධානගත සෑම දේශපාලන පක්ෂයක්ම, දේශපාලන කණ්ඩායමක් සමගම සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්ය.

“ඒ වගේ සාකච්ඡාවකින් අපිට පුළුවන් ඒ දේශපාලන පක්ෂවල අදහස සහ කොන්දේසි ගැන දැනගන්න.”

මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා එසේ කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ, නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතාට එම සාකච්ඡා ආරම්භ කිරීමට සියලු දෙනාම කැමති නම්, එකඟතාවය පළ කරන හැටියටය. ඒ සඳහා කිසිවකුගේ විරෝධතාවයක් පැන නොනැගුණු බැවින් නව සන්ධානය ගොඩ නැගීම පිණිස සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ බලය තිලංග සුමතිපාල මහතා වෙත පවරා දෙනු ලැබීය.

“තිලංග මේ වැඩේ ඔයා භාර ගත්තා කියලා අපේ මෛත්‍රීපාල නායකතුමාටත් කියන්න වෙයි. නැත්නම් මට වෙච්ච දේම තමයි ඔයාටත් වෙන්නේ…” ඔය අතර දයාසිරි තිලංගට පුංචි විහිළුවක් ද කළේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment