මහ කන්නයේ වී මිලදී ගත් රජයේ අවිධිමත් වැඩපිළිවෙළින් කල්තොට සහ ඇඹිලිපිටිය ගොවීන් අසරණ වෙලා – රත්නපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති ජනක කස්තුරි

67

පසුගිය මහ කන්නයේ (2022/2023) වී මිලදී ගැනීමට රජය ක්‍රියාත්මක කළ අවිධිමත් වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් සතුව අලෙවි කර ගැනීමට නොහැකිව වී කිලෝ ලක්ෂ තිස් දෙකකට වැඩි ප්‍රමාණයක් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති ජනක කස්තුරි මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ මේ පිළිබඳ රත්නපුරය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කරමිණි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති ජනක කස්තුරි මහතා වැඩිදුරටත් කතා කරමින්, රජය වී මිලදී ගැනීමට අවම මිල, කිලෝවකට රු. සියයක් නියම කළා. එහෙත් මෙවර වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීමක් සිදුකළේ නෑ. අඩු ආදායම් ලාභී ජනතාවට සහල් සහනාධාරය ලබා දීම සඳහා මෙවර වී මිලදී ගත්තේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්. මේ අවස්ථාව වන විට කල්තොට හා ඇඹිලිපිටිය ප්‍රදේශවල ගොයම් කැපී තිබුණේ නෑ. එවිට බලධාරීන් පියවර ගත්තේ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්වලින් වී මිලදී ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේ සහල් ප්‍රමාණය ලබා දීමයි. මේ ක්‍රියාවෙන් ඉදිරියේදී ගැටලුවක් ඇති වන බව අප ඒ අවස්ථාවේම පෙන්වා දුන්නා. දැන් ගොවීන් අසරණයි. යල කන්නයේ අස්වනු නෙළීම ලබන මස (ජූලි) මැද වනවිට ආරම්භ වෙනවා. ඒවා නෙළා ගැනීමට ගොවීන් අත මුදල් නැහැ. එම අස්වැන්න ගබඩාකර ගැනීමටත් ගොවීන්ට පහසුකම් නැහැ. මේ තත්ත්වය තේරුම් ගෙන පුද්ගලික වෙළෙන්දන් පැමිණ වී කිලොව රු. 50 – 60 මිල දී ගැනීමට උත්සහ කරනවා.

මේ නිසා අප බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ වී සඳහා සහතික මිල රු. සියයවත් බෝඩ් ලෑල්ලකට, ගැසට් නිවේදනයකට, චක්‍ර ලේඛයකට සීමා නොකර සැබෑ යථාර්ථයක් බවට පත්කර වී අලෙවි මණ්ඩලය හරහා මිල දී ගැනීමේ වැඩපිළිවෙළක් හැකි ඉක්මණින් සකසන ලෙසයි.

කිරිඇල්ල – ඩී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment