මග නොහළ කවි කඳුළු

128

1980 දශකයේ පමණ සිට කවියට අත්පොත් තැබූ කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ මුද්‍රණයෙන් පළ වූ සිව්වැනි කාව්‍ය සංග්‍රහය මග නොහළ කවි කඳුළු නම් වේ. දශක හතරකට ආසන්න කාලයක් පුරා කවියෙක් ලෙස ප්‍රකට ඔහු විවිධ ජනමාධ්‍ය හරහා ස්වකීය කවි පාඨකයා සමග බෙදා හදා ගනියි. විශේෂයෙන් මුහුණු පොත සහ සති අන්ත ජාතික පුවත්පත් ඔහුගේ කවිවලින් සැරසුණු අවස්ථා ගණන බොහෝය. 1986දී විංශතිය නම් කාව්‍ය සංග්‍රහය රචනා කළ ඔහු දීර්ඝ කාලයකට පසුව 2020 වසරේදී සිය දෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්නේ ආකල් මේඝ මැද නමිනි. 2022 වසරේදී බිම වැටුණු සඳ පහන නමින් ඔහුගේ තෙවන කාව්‍ය සංග්‍රහය දොරට වඩින්නේ කාව්‍ය කෙරෙහි ඔහු තුළ ඇති ලාලසාව තවදුරටත් ප්‍රකට කරමිනි.

කවිය සහ කවියාට ඇත්තේ අත්‍යයන්ත බැඳීමකි. සත්‍යප්‍රිය සහ කවියද එලෙසමය. කවියෙන් තොර සත්‍යප්‍රිය කෙනෙකු නොමැති බව මාගේ හැඟීමයි. ඔහු එතරම්ම කවියට රුචි කරන්නෙකි. සමාජ මාධ්‍ය හා පුවත්පත් මාධ්‍ය ඔස්සේ ඔහුගේ කවි නිරන්තරයෙන් මුණ ගැහෙන්නේද එබැවිනි.

මග නොහළ කවි කඳුළු කාව්‍ය සංග්‍රහයේ කාව්‍ය නිර්මාණ පනස් දෙකක් පමණ අන්තර්ගතය. එන්හෙඩුආනා, සහෝදර, නොරට පුත, මී බිව් තනිකඩ මිතුරාට, දුරු රට යන කිරිල්ලියට, නූතන දික්පිටියාට, කෝලිය, දන්සල ට ගිය දියණිය, තනි අත්තටු, වික්ටෝරියා, දොස් තොර ගී, අක්කා ගෙ මරණය, මග බැලීම, දරු රැක්ම, මල් වැරුම, රඟදෙන කොවුලාට, දොරින් දොර කවි, අනේ ! යන්න, අප්සරා, සියක් කැකුළු, මරු සරසවි, හැකරුන් ඇවිත්, සමාවී සිනාසෙන්, නිඛාබයෙන් මිදෙනා යුවතිය, සාද, අවාරයේ නෙළුෑ කැකුළ, හෙට දවසට, අද ලියූ කව, මන්තර, ඔබ, තේ මල, පොත් සල්පිල ට ආ කිරලා, නෙළුම් කුලුන යට පැල් කවි, නිර්මලා, වාමන යාදිනි, බෝගහවත්තේ වැටුණු කඳුළ, ඔබ, වැඩ හමාරව, ඇතුගල පාමුල – පුතු මිය ගිය තැන, හාඩ්වෙයාර් සොඳුරිය ගේ ගීතය, ගුරු නිවාසේ අලුත් පරමල්, අත්හළ හිමියන් ට, තාත්තා ට බත් කටක්, වැඩ නැති කල, වැව නෙළුෑ නෙළුම, සුදු නයි, මාංචු, දුරු රටක කිරියක, විශ්‍රාමික වැලැපිලි, මග සිටි කුරුලු, දුව තැවරූ කඳුළ, රත්නශ්‍රී , ඉස්කෝලේ තාත්තා සහ මා මළ දා ට ආදි ලෙස එම කාව්‍ය නිර්මාණ හුවා දැක්විය හැකිය. හුදු කාව්‍ය නිර්මාණකරණයෙන් ඔබ්බට ගිය මෙම කාව්‍යනාමකරණද විශේෂ බව පෙනේ. එමෙන්ම මෙම ඇතැම් තේමා මින් පෙර නොවූ කාව්‍ය අනුභූතීන් යැයි නොකියමි. එහෙත් දුලබ සහ සුලබ සියලු තේමා නැවුම් ආකාරයෙන් විවරණයට සත්‍යප්‍රිය උත්සහ ගෙන තිබේ. සමාජයේ යථාව යථාර්ථවාදීව ප්‍රකාශ කිරීමට කවිය අවියක් කොට ගෙන ඇත. අන්තර්පඨිතමය කවි කිහිපයක් ද දැකිය හැකිය. මෙකී සාර්ථක කවි නිර්මාණයේ රහස ඔහු තුළ පවතින නොනිත් උත්සහය මෙන්ම අත්දැකීම් පරාසය බව කියනු කැමැත්තෙමි. දීර්ඝකාලීන ජීවන අත්දැකීම් ඔහුගේ කවිවල පෝෂක ප්‍රදේශයයි.

කාව්‍ය සංග්‍රහයේ එන පළමු කාව්‍ය නිර්මාණය එන්හෙඩුආනා නම් වේ. මෙහි නිමිත්ත ක්‍රිස්තු පූර්ව 2285දී සුමේරියාව නැතහොත් වත්මන් ඉරාකය පාලනය කළ ආකේඩ්හි සාරගොන් නමැති අධිරාජ්‍යයාගේ දියණිය වූ එන්හෙඩුආනා ප්‍රතිනිර්මාණය කිරීමයි. සඳෙහි පූජකවරිය ලෙස සැලකෙන ඇය ලොව පළමු කවිය ලේඛන ගත කළ තැනැත්තිය ලෙස සැලකේ. ශබ්ද කරන වචන මුල්වරට ලේඛන ගත කළ ඇයගෙන් මිනිසාගේ ලේඛන ඉතිහාසය ආරම්භ වූ බවට විශ්වාසයක් පවතී. (විදෙස් කවි උයන – කපිල කුමාර කාලිංග) මෙම කවියේ බස ඉතාමත් සරලය. සුගමය. බුහුටිය. කාව්‍යලංකාර නොමැත. පණිවුඩ හෝ උපදේශ ලබා දෙන්නේද නැත. මෙහි විශේෂත්වය ඇත්තේ ප්‍රස්තූතය නැතහොත් අනුභූතියෙහිය. මෙතෙක් කාව්‍ය ඉතිහාසය තුළ කවීන්ගේ තේමාවට හසු නොවූ කාව්‍ය තේමාවක් කවියාගේ කවි ඇසට ගෝචර වී ඇත. එය සුවිශේෂී වේ. එන්හෙඩුආනාට කවි නොලියා සිටීම අනෙකුත් කවීන්ගේ වරදක් ලෙස මා දකින්නේ නැත. එහෙත් සත්‍යප්‍රිය විශේෂ කොට දකිමි. එකී තේමාව ඔහුගේ බහුශ්‍රැතභාවයට දෙස් දෙයි. ඔහු කවියකු මෙන්ම ඉතා හොඳ පාඨකයකු බවද ප්‍රකට කරයි. ඔහුගේ බොහෝ කාව්‍ය නිර්මාණ මෙන්ම මෙම නිර්මාණය ද අන්තර්පඨිතත්ත්වය විශද කරන අවස්ථාවක් වශයෙන් දැක්විය හැකිය.

වාමන යාදිනි නම් කාව්‍ය මෙහි එන තවත් එක් විශිෂ්ට කාව්‍ය නිර්මාණයකි. වාමන කියූ ක්ෂණයෙන් අපට සිහියට නැඟෙන්නේ වෙහෙර විහාරවල පියගැටවල සිටින කොට; තඩි; බඩ විශාල වාමන රූපයි. එහෙත් මෙම කවියෙන් කියවෙන්නේ එකී වාමන රූප ගැන නොවන බව හැඟේ. එදා මෙදා තුර පන්ති සමාජයේ සමාජ යථාර්ථය වෙනස් මානයක් ඔස්සේ අලුත් ආකාරයෙන් දිග හැරීමට කවියා උත්සාහ දරා ඇති බව පෙනේ. ඉහළින් වැජඹෙන ධනපතීන්ගේ බර දරා සිටින්නේ නිර්ධන පාන්තික ශ්‍රමිකයායි. එකී ශ්‍රමිකයාගේ කාර්යද පියගැටපෙළෙහි වාමනයාගේ කාර්යයට සමානය. එනයින් කාව්‍ය නාමකරණය මනාව ගැලපේ. සුහද ගින්දරේ බඩ පොත්තට ම ඇලී ඇත මෙහි එන මෙම පද ඛණ්ඩය ධ්වනිථාර්ථවත් වේ. වාමන රූපවලට ඇත්තේ කැත තඩි බඩකි. එහෙත් මෙහි කියවෙන වාමනයන්ට ඇත්තේ පිටට ඇලුණු බඩකි. එය පීඩිත පන්තිය සංකේතවත් කරයි. එය මනාව පඨනය; ඉංගිත රැසක් ලබා දෙයි. එනම් පීඩිත පන්තියේ ඛේදවාචකය ව්‍යංගාර්ථයෙන් ප්‍රකට කරයි. එමෙන්ම මෙය වාමනයන්ගේ කතාවකින් ඔබ්බට ගිය සමාජයේ පන්ති විෂමතාවය නැතහොත් සමාජ ස්ථරායනය ගැන කතාවක් බව පසක් කරයි.

රත්නශ්‍රී මෙම කාව්‍ය නිර්මාණය මෙහි එන පනස්වන කාව්‍ය නිර්මාණය වෙයි. එය ඉතා විශේෂය. මන්ද එහි කාව්‍ය නිමිත්ත නූතනයේ ඉතා විශිෂ්ට කවියෙකු වන රත්න ශ්‍රී විජේසිංහ වීම හේතුවෙනි. මෙය එක්තරා ආකාරයක නූතන ප්‍රශස්ති කාව්‍යයකි; විරුද කාව්‍යයකි; එසේම චරිතාපදානයක; තුති ගීයකි;

තෙල්ලඹුරේ ඉපැදුණු ඇත් රජාණෝ
ඇල්ම බැල්ම මැද උස් වූ රජාණෝ
ගොල්ල ඔහොම දුබලයි ලොව රජාණෝ
දැල්වු පහන් සිළ ඔබ ම ය සඳාණෝ…
(මග නොහළ කවි කඳුළු, 76පිට)

කාව්‍ය සංග්‍රහයේ අවසාන කාව්‍ය නිර්මාණය මා මළ දා ට ලෙස නම් කොට ඇත. සාමාන්‍ය සමාජයේ මරණ ගෙදරක සැබෑ ස්වරූපය සහ මළ තැනැත්තාගේ ඥාතීන්ගේ චර්යාව ප්‍රකට කරන මෙම කාව්‍ය නිර්මාණය කවියාගේ යටිහිත විවරණය කරන්නක් බව හැඟේ. ඔහු මළ දා ට ඔහු අපේක්ෂිත මළගෙදර පරිකල්පනය කර තිබේ. සමස්තයක් වශයෙන් මෙම කාව්‍ය සංග්‍රහයේදී කාව්‍යාලංකාර භාවිත කර ඇත්තේ මද වශයෙනි. එහෙත් ඉන් කවියාගේ කවීත්වයට හෝ පාඨකයාගේ රසවින්දනයට කිසිදු හානියක් සිදුව ඇත. අනුප්‍රාසවත් පද සංඝටනා බොහෝ තැන්හි හමු වේ. රිද්මයක් සහිත මෙම පද්‍ය නිර්මාණ අතර සදැස් මෙන්ම නිසදැස් පද්‍යද අන්තර්ගතය.

ප්‍රමාණයෙන් අර්ධ ශතකයකටත් අධික කාව්‍ය ප්‍රමාණයක් අන්තර්ගත මෙම කාව්‍ය සංග්‍රහයේ එන එකුදු කවියක් වුව ද අත් හළ නොහැකි බව මාගේ හැඟීමයි. එකී සෑම කවියකටම ආවේණික රසයක් සහ වින්දනයක් ඇත. සෑම කවියකටම කියන්නට විශාල පසුබිම් කතාවක් ඇත. එය වඩාත් හොඳින් පඨනය කිරීමට පාඨකයාට හැකියාව ලැබෙන්නේ මෙම කවි ඉතා සමීප කියවීමකට ලක් කළහොත් පමණි. සරල සුගම බස් වහරක් ඔස්සේ සාමාන්‍ය කවි ඇසට හසු නොවන කාව්‍යානුභූති ඉතා නිර්මාණශීලීව රසවත්ව කීමට කවියා ගෙන ඇති උත්සාහය ප්‍රශස්තය.

ඉවන්තා සඳුනි ජයසේන
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment