කලර් ලයිට් ළඟදී යාචකයන්ට සල්ලි දෙන රියැදුරන්ටත් දඩ

63

අල්ලන්න සිවිල් ඇඳුමෙනුත් – පොලිසිය කියයි

සහය දෙන්න-ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ඉල්ලයි

කොළඹ නගරය ඇතුළු රටේ ප්‍රධාන මංසන්ධිවල ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් වාහනවලට තට්ටු කරමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් ද ආලෝක සංඥා ආසන්නයේ රඳවන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන සහ මාර්ග ආරක්‍ෂාව) ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එසේම, වාහන රියැදුරන් විසින් හෝ වාහනයේ ගමන් කරන්නන් විසින් යාචකයන්ට මුදල් ලබාදීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව දඩ මුදලක් නියම කරන බවද පොලිසිය කියයි.

රියැදුරන් යාචකයන්ට මුදල් ලබා නොදෙන්නේ නම් ඔවුන් ආලෝක සංඥා පුවරු අසල රැඳී නොසිටින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

පසුගිය සතියේ ආලෝක සංඥා පුවරු අසල රැඳී සිටිමින් සිඟමනේ යෙදුණු යාචකයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද කීය.

යාචකයන් ආලෝක සංඥා පුවරු අසල හිදිමින් වාහන අසලට ගිහින් හිඟාකෑම ආයෙමත් වැඩිවෙලා. මේ සම්බන්ධව පොලිස් කොට්ඨාස 45 හේම නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා. පසුගිය සතියේදී මෙලෙස සිඟමනේ යෙදුණු යාචකයන් 94 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඔවුන් ඉදිරිපත් කළත් දිගු කලක් බන්ධනාගාර ගත කරන්නෙත් නැහැ. ඔවුන්ට යම් දඩ මුදලක් නියම කරලා ඇප මත මුදාහරිනවා. එහෙම ඇප මත මුදාහැරියට පස්සෙත් ඔවුන් නැවතත් සුපුරුදු වැඩේ කරනවා.

කොළඹ දිසාව තුළ සංඥා ලාම්පු 180ක් විතර තියෙනවා. ලංකාව පුරාම ස්ථාන 350ක පමණ ආලෝක සංඥා ලාම්පු තියෙනවා. රතු එළිය ක්‍රියාත්මක වන විට යාචකයන් සිඟමනේ යෙදෙනවා. ඇතැම් අවස්ථාවල විවිධ අනතුරු සිදුවෙනවා. ඇතැම් යාචකයන් වුවමනාවෙන්ම වාහනවල හැප්පෙනවා. තවත් යාචකයන් කාසිවලින් වාහන සූරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල විවිධ අනතුරු ද සිද්ධවෙනවා. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය ඇතුළු ආයතන එක්ව මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරනවා.

වීඩියෝ මගින්ද ඒ පිළිබඳව දැනුවත් කරනවා. අපි රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා ආලෝක සංඥා පුවරු ළඟදී යාචකයන්ට මුදල් දීමෙන් වළකින ලෙස.

ඇතැම් යාචකයන් මෙවැනි ස්ථානවල රැකියාවක් වශයෙන් සිඟමනේ යෙදෙනවා. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවා. ලංකා ඔටෝ මොබයිල් සංගමය සියලු වාහන රියැදුරන්ගෙන් මේ සඳහා සහයෝගය ලබාදෙන ලෙස මාධ්‍ය හමුවේදී ඉල්ලීමක් ද කළේය.

මෙම මාධ්‍ය හමුවට ලංකා ඔටෝ මොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි, එම ව්‍යාපෘති කළමනාකාර ප්‍රසන්න ද සොයිසා, උප සභාපති ආනන්ද දංගල්ල, කොළඹ මහ නගර සභාවේ රථවාහන ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ යූ. කේ. එම්. කේ. කුලරත්න යන මහත්වරුද සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment