සෑම පුන් පොහෝ දිනකම උදාවන පුරාහඳ ත්‍රිකුණාමලයේ පාෂාණ පබ්බත රජමහා විහාරයට ද පායා ඒකාලෝක වුවද උපාසක උපාසිකාවන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් නඟන සාදුකාර හඬ මෙම පින්බිමෙන් ඇසෙන්නේ නැත. මහා සාගරය සිපගෙන ආ පවන්රොද පාෂාණ පබ්බත රජමහා විහාරය පුරා හමා ගියද පෙහෙවස් සමාදන් වන උවැසියන්ගේ සිල් සුවඳ මෙහි හමා යන්නේ නැත. පාෂාණ පබ්බත රජමහා විහාරයේ භික්ෂූන්වහන්සේ නමක් වැඩ වාසය කළද බෞද්ධ සැදැහැවතුන් පිරිවරාගෙන පැවැත්වෙන බෝධි පූජාවක් මෙහි දක්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව පාෂාණ පබ්බත රජමහා විහාරය දමිළ ගම්මානයක් මැද පිහිටා තිබීම ය. එහෙත් පාෂාණ පබ්බත රජමහා විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලබන ඓතිහාසක වටිනාකමකින් යුතු බෞද්ධ විහාරයකි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කල්අඩි ග්‍රාමයේ පිහිටි පාෂාණ පබ්බත රජමහා විහාරය ක්‍රි:ව: 1 වෙනි සියවසේ ඉදිකළ බවට මෙහි ඇති සෙල්ලිපි සාක්ෂි දරයි. මෙම විහාරයේ ඇති සෙල්ලිපි 6න් 1 වෙනි සෙල්ලිපියේ දැක්වෙන්නේ මහාදාඨික මහානාග (මහා දැලියාමාන) රජු විසින් මෙම විහාරය ඉදිකළ බවත් කිසියම් ඇළක දියබද්ද විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේගේ සිව්පසය සඳහා පූජා කළ බවත් ය. අමාත්‍ය රබය විසින් පාෂාණ පබ්බත විහාරයට සිදු කළ ප්‍රදානයක් හා කිසියම් වෙළෙඳ ආයතනයක කහවුණු 500ක් තැන්පත් කර එහි එහි පොලිය විහාරයට ප්‍රදානය කිරීම පිළිබඳව තවත් සෙල්ලිපියක සඳහන් වී තිබේ. තෙවැනි සෙල් ලිපියෙන් දැක්වෙන්නේ මහසෙන් රජතුමා විසින් තබවිටිය වෙළෙඳ නගරයෙහි වෙළෙඳ ආයතනයක මුදල් තැන්පත් කර එහි පොලිය භික්ෂූන්ගේ සිව්පසය සඳහා පූජා කළ පුවතකි. ක්‍රි:ව: 1 වැනි සියවසේ සිට ක්‍රි:ව: 4 වැනි සියවස දක්වා කාල පරාසය තුළ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී තිබෙන මෙම සෙල්ලිපිවලට අනුව පාෂාණ පබ්බත රජමහා විහාරය ඓතිහාසික වටිනාකමකින් යුක්ත බෞද්ධ විහාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ලක්දිවට දළදාව වැඩම කරවූ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය ත්‍රිකුණාමලයේ ලංකා පටුනෙන් ගොඩබැස පාෂාණ පබ්බත විහාරයට පැමිණ මෙහි රැඳී සිටි බවත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා දළදා වහන්සේ පෙරහරින් වැඩම කරවූවේ මෙම විහාරයේ සිට බවත් ඉතිහාසයේ දැක්වේ. ලංකා පටුන හා පාෂාණ පබ්බත විහාරය අතර ඇත්තේ කිලෝමීටර් 6ක් වැනි දුර ප්‍රමාණයකි. මේ අනුව පාෂාණ පබ්බත රජමහා විහාරයට පූජනීය වටිනාකමක් ද එක්වේ.

එහෙත් උතුර – නැගෙනහිර යුද්ධය පැවැති කාලයේදී පාෂාණ පබ්බත විහාරය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ යටතට පත් විය. ලංකා පටුන රජමහා විහාරය මුහුදු කොටි නායක සුසෙයිගේ පාලනයට නතු වන විට පාෂාණ පබ්බත රජමහා විහාරය කොටිහඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය බවට පත් විය. අඩි 120ක් පමණ උසින් යුක්ත කොටිහඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුන අදටත් මෙහි ඇති පර්වතයේ දැක ගත හැකිය. උතුර නැඟෙනහිර යුද්ධයෙන් පසුව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ හමුදා නිලධාරීන් සමග ඉතාමත් දුෂ්කර ගමනක් නිමවා පාෂාණ පබ්බත රජමහා විහාරයට පැමිණියහ. ඉන් අනතුරුව මෙහි ඇති සෙල්ලිපි කියවා මෙම විහාරයේ පුරාවිද්‍යා වටිනාකම ලොවට හෙළි කිරීමට පුරෝගාමි වූහ. නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක සේරුවිල මංගල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නාහිමියන් ද ස්වර්ණබේස් යනුවෙන් එදා හැඳින්වූ මෙම ස්ථානයට වැඩම කර පෙර පැවැති ශ්‍රී විභූතිය යළි ස්ථාපිත කිරීමේ තිර අදිටනින් කටයුතු කළේ කොටි ත්‍රස්තවාදීන් විසින් බිඳ හෙළු චෛත්‍ය ඇතුළු නටබුන් දැකීමෙන් ඇතිවූ උපන් සංවේගයෙනි. පුරාවිද්‍යා චක්‍රවර්ති, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් රත්නපුර දේවානන්ද හිමියන් පාෂාණ පබ්බත විහාරයට වැඩම කළේ 2009 ජුනි 02 වැනිදාය. උන්වහන්සේගේ ආවාසය වූයේ කොටිහඬ ගුවන්විදුලි කාර්යාලය පවත්වාගෙන ගිය කන්ටේනරයයි. එතැන් සිට උන්වහන්සේ අපවත් වන තුරුම මෙහි විහාරාධිකාරි ලෙස කටයුතු කළේ රත්නපුර දේවානන්ද හිමියන් ය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේත් හමුදා නිලධාරීන්ගේත් ආධාර උපකාර ඇතිව සංඝාවාසය, බුදුකුටිය, වන්දනා නඩ සඳහා නවාතැන් ශාලාවක් ඉදිකෙරිණි. බෝධිඝරයක් ද ඉදි කළ අතර එය හඳුන්වනු ලබන්නේ සංහිඳියාවේ බෝධිප්‍රාකාරය ලෙසිනි. ඉපැරණි දාගැබක නටබුන් සහ කොරවක්ගලක් තවමත් දැක ගත හැකිය.

සැදැහැවතුන් බෝධි පූජා නැති පාෂාණ පබ්බත පන්සල…
පබ්බත විහාරාධිකාරි පූජ්‍ය බලන්ගොඩ ධම්මාලෝක හිමි

“මම මේ පන්සලට පැමිණියේ රත්නපුරේ දේවානන්ද හාමුදුරුවො අපවත් වුණාට පස්සේ. මම මෙහාට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. මට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. රත්නපුරේ දේවානන්ද හිමියන්ටත් දෙමළ කතා කරන්න පුළුවන්. ඒනිසා එකම සිංහලයෙක්වත් නැති කල්අඩි ගමේ අපිට ඉන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ එක සිංහල බෞද්ධයෙක් නැති නිසා අඩු ගණනේ වෙසක්, පොසොන් පෝය දවසකටවත් සිල් සමාදන් වෙන කෙනෙක් මේ පන්සලේ නැහැ. බෝධි පූජාවක් තියන්න කෙනෙක් නැහැ. මම පාංශුකූලයකට වඩින්නේ නැහැ. මගේ උදව්වට පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. සිවිල් ආරක්ෂක භටයන් හතරදෙනෙක් එක් වරුවකට දෙදෙනා බැගින් සේවා මුර දෙකකට මෙහි සේවය කරනවා. අපි පස්දෙනාට දානේ ලැබෙන්නේ හමුදා කඳවුරෙන්. ඒත් දැන් රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න එක්ක ඒ අය අපිට දානේ දෙන්නේ අමාරුවෙන්. සේරුවිල, ලංකාපටුන යන වන්දනා නඩ මෙහාටත් එනවා. එහෙම ආපු අය අපිට මිල මුදල්, වියළි ආහාර ද්‍රව්‍ය පූජා කරනවා. සමහරදාට අපි දානේ සකස් කර ගන්නවා. අපිට ලැබෙන මුදලකින් තමයි පොල්තෙල් ටිකක්, පැනඩෝල් පෙත්තක් ගන්නේ.” යනුවෙන් පාෂාණ පබ්බත රජමහා විහාරාධිකාරි බලන්ගොඩ ධම්මාලෝක හිමියෝ විස්තර කළහ.

අති සුඛෝපභෝගි විහාරවල සුඛ විහරණය කරන භික්ෂූන් වහන්සේගෙනුත් මහා දානපතියන්ගෙනුත් ආධාර උපකාර හිමි විය යුත්තේ මෙවැනි පන්සල්වලට නොවේද? එවැනි ආධාර උපකාර කිරීමට අවශ්‍ය අයෙකු සිටී නම් 0778587927 හෝ 0719963239 දුරකථන අංක ඔස්සේ පූජ්‍ය බලන්ගොඩ ධම්මාලෝක හිමි ඇමතිය හැකිය.

යම් හෙයකින් අසනීප වූ විට බෙහෙත් ගැනීමට සිවිල් ආරක්ෂක භටයකුගේ වාහනයක නැඟී කිලෝමීටර් 30ක් පමණ දුර ගෙවා සේරුනුවරට පැමිණිය යුතුය. හදිසියකදී ගමනක් බිමනක් යෑමට ප්‍රවාහන පහසුකම් නැත. ඉතා දුෂ්කර ප්‍රදේශයක කටුක දිවි පෙවෙතක් ගත කරමින් භික්ෂූන්වහන්සේ මෙහි වැඩවාසය කරන්නේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත පාෂාණ පබ්බ රජමහා විහාරය ආරක්ෂා කර ගැනීමටය.

“මෙම භූමියේ පන්සලක් නොවෙයි තිබුණේ, කෝවිලක් තිබුණේ කියලා පෙන්වන්න සමහරු උත්සාහ කරනවා. ක්‍රි:ව: 1835දී මෙහි කෝවිලක් තිබුණු බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒත් මෙහි තිබෙන සෙල්ලිපිවලින් ඔප්පු වෙනවා මෙම විහාරය ක්‍රි:ව: 1 වැනි සියවසේ ඉදිකළ බව.” යනුවෙන් පූජ්‍ය බලන්ගොඩ ධම්මාලෝක හිමියෝ පැවසූහ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ වෛරී පණිවිඩ ලොව පුරා සම්ප්‍රේෂණය කළ කුලුන යට වැඩවාසය කරමින් සාමයේ පණිවිඩය, සංහිඳියාව ලෝකය පුරා පැතිරවීමට හැකි නම් කොපමණ අගනේදැයි මට සිතුණේ තවමත් එවැන්නකට මාවත මෙහි විවර වී නොමැති බැවිනි.

සැදැහැවතුන් බෝධි පූජා නැති පාෂාණ පබ්බත පන්සල…

“රත්නපුරේ දේවානන්ද හාමුදුරුවො පන්සලේ වැඩවාසය කළ කාලයේ ගම සමඟ හොඳ සම්බන්ධයක් තිබුණා. උන්වහන්සේ ගිහිකාලේ වෛද්‍යවරයෙක්. උන්වහන්සේ ගිහි ජීවිතයේ පාවිච්චි කරපු පුද්ගලික වාහනය මෙහි ගෙනත් තිබුණා. ගමේ කෙනෙකුට අසනීප වුණාම දරුවෙක් ලැබෙන්න අමාරු වුණාම ඒ අය පන්සලට දුවගෙන ආවා. හාමුදුරුවො එයාගෙ වාහනයෙන් රෝගීන් අරගෙන ඉස්පිරිතාලේට ගියා. හැමදාම ගමේ අයට වෙදකම් කළා. ඒකාලේ කුඩා දරුවන්ට ළදරු පාසලක් පටන් අරං තියෙනවා. ඇත්තටම ඒ කාලේ ගමේ අය හාමුදුරුවන් එක්ක හොඳ සම්බන්යක් පවත්වා තියෙනවා. ඒත් ඇතැම් දේශපාලන පක්ෂවල අයගේ අදහස් නිසා ගමේ අය පන්සලෙන් ඈත් වුණා. ළදරු පාසලත් වහලා දාලා තියෙනවා. මම මෙහාට ආවාට පස්සේ මට ලැබෙන වියළි ආහාර ද්‍රව්‍ය වගේ දේවල් දුප්පත් අයට බෙදලා දීලා උදව්පදව් කරගෙන හිටියා. ඒත් උන්හිටි ගමන් අළු යටින් ගිනි පුපුරු මතු වෙනවා. ඒනිසා මම උදව් පදව් නවත්තලා දැම්මා.“ යනුවෙන් සඳහන් කළේ පූජ්‍ය බලන්ගොඩ ධම්මාලෝක හිමියන්ය.

වර්තමානයේ කල්අඩි ගමේ දමිළ ජනතාව එක් පසෙක ජීවත් වෙති. පන්සල තවත් පසෙකින් තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් බෞද්ධ විහාරවල ප්‍රධාන පෙළේ දායකයන් වී සිටින්නේ දෙමළ ප්‍රජාවය. ඔවුන්ගේ ප්‍රශ්නයකදී උපදෙස් ගැනීමට දිව එන්නේ පන්සලේ හාමුදුරුවන් ළඟටය. පන්සලේ හාමුදුරුවන්ට දානමාන පූජා කර සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ දමිළ ප්‍රජාව ය. එහෙත් පාෂාණ පබ්බත රජමහ විහාරය සහ කල්අඩි ග්‍රාමය යා කරන සංහිඳියාවේ පාලම තවමත් ඉදි වී නැත.

අද වන විට පාෂාණ පබ්බත රජමහා විහාරය ඉදිරිපිට කෝවිලක් ඉදිකර තිබේ. විහාරයෙන් පිරිත් හඬ පැතිරෙන විට හින්දු කෝවිලෙන් බජන් ගායනා හඬ පැතිරේ. එය සංහිඳියාව කියාපාන අපූරු අවස්ථාවකි. එහෙත් එය එකිනෙකා පරයා නැඟෙන තරගයක් විය යුතු නැත.

හර්ෂා සුගතදාස

advertistmentadvertistment
advertistmentadvertistment