අලුත් අයවැය අස්සේ පාර්ලිමේන්තුවේ ක්‍රිකට් මැච්…

185

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා හැටියට සිය මංගල අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඒ හේතුවෙන් මෙම සති අන්තයේ ඔහු වෙනත් ගමන් බිමන්වලට සූදානම් වූයේ නැත. ජනාධිපති රනිල් මහ බැංකුවේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යවරු සමග පසුගිය සති අන්තයේ තනිකරම වෙහෙස මහන්සි වූයේ අයවැය වෙනුවෙන්ම යැයි කිව්වොත් එහි අතිශයෝක්තියක් නොවේ.

රටේ අයහපත් ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැන්කුවේ නිර්දේශ, ජාතික ආදායමේ හා වියදමේ අති විශාල පරතරය රටට බලපා ඇති ඩොලර් හිඟය හා සමස්ත උද්ධමනය ආදි අභියෝග රැසක් මැද ජනාධිපතිවරයාට මෙවර ඉදිරිපත් කරන්න සිදුව තිබුණේ ඉතිහාසයේ කවර දිනකවත් නොවූ අන්දමේ සංකීර්ණ අයවැය යෝජනාවලියකි.

ඔහු නිලධාරීන් හා සමීප දේශපාලනඥයන් සමඟ රට තුළ සිටින මූල්‍ය විශේෂඥයන්ගේ ද මඟපෙන්වීම් මත 2024 සඳහා යෝජනා කරන ලද අයවැය ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූයේය.

“අපේ රට චිරාත් කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ අයවැයෙන් ඉලක්කම්වලින් පෙන්වන අඩු වීම් හා වැඩි වීම් බලාගන්න. පහුගිය අවුරුදු 77ක් තිස්සේම අපේ සම්ප්‍රදාය ඕකයි. හැබැයි දියුණු රටවල අයවැයක් කියලා කියන්නේ ආර්ථිකමය ප්‍රතිපත්ති සමූහයක් මත සැකසුණු වැඩපිළිවෙළක් මිස අඩුවැඩි වීම්වල සංඛ්‍යා ලේඛනයක් නම් නෙවෙයි. අයවැයක් කියලා කියන්නේ හරි නම් අනාගත දියුණුව තීන්දු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්.” ජනාධිපතිවරයා අයවැය ගැන සාකච්ඡා කරද්දී තම හිතවතුන් පිරිසකට කීවේය.

සඳුදා පෙරවරුවේ ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවූ ජනාධිපතිවරයා ලංකා ඉතිහාසයේ පාට වැනි අය-වැය ලේඛනය ඔවුන් හමුවේ ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය විය.

ඇමැති මණ්ඩල රැස්වීමට පසුගිය දිනවල ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ අමාත්‍යවරයාද පැමිණ සිටියේය. ඒ රොෂාන් රණසිංහයි. නිල වශයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ඇමැතිවරු ඔහුගෙන් ක්‍රිකට් ගැටුමේ උණුසුම පිළිබඳ තොරතුරු විමසමින් සිටියහ. අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු ඇමැති කාංචන ඔහුට විහිළුවක් කළේ ය.

“මෙහේ වතුර එහෙම බොන්න බය නම් මගේ වතුර එක තියෙනවා. ඒකෙන් ටිකක් බොන්න” රොෂාන් ඒ කතාව සිනහවකින් ඉවසුවා මිස කිසිවක් කීවේ නැත. කාංචන එසේ විහිළු කර තිබුණේ මීට පෙර එක තැනකදී රොෂාන් “ජනාධිපති කාර්යාලයෙන් වතුර එකක් වත් බොන්න සැකයි” කියා කර තිබූ ප්‍රකාශයක් නිසාය.

අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් සම්බන්ධ ගැටලුව විමර්ශනය කිරීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කළේය. ඔවුන් මෙතෙක් කර ඇති විමර්ශන විමසා බැලූ ජනාධිපතිවරයා ඔවුන්ට තවත් ඉලක්කයක් දුන්නේ ය.

“ඕගොල්ලො අයි සී සී ක්‍රිකට් තහනම ගැන ක්‍රිකට් සභාපති එක්ක කතා කළාද. අද හවස එයාව ජනාධිපති කාර්යාලයට ගෙන්වලා මේ ගැන සාකච්ඡා කරන්න. ඊට පස්සේ එතන වුණේ මොනවද කියලා මාව දැනුවත් කරන්න.” ජනාධිපති එම අනු කමිටුවේ සභාපති අලි සබ්රිට කීවේය.

ක්‍රිකට් ගැටුම් මැද
රොෂාන් තරුණ පිටියේ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මේ දිනවල ගෙවන්නේ කාර්යබහුල ජීවිතයකි. දවසේ පැය 24 තුළ ඔහුට විවේකයක් ඇත්තේම නැති තරම්. එක පැත්තකින් ගැටුම්ය. අනිත් පැත්තෙන් අර්බුදය. තවත් පැත්තකින් නඩු හබ හා පැමිණිලිය.

සියල්ල තිබියදීත් ලද එක් නිමේශයක විවේකයකින් රොෂාන් පසුගිය බ්‍රහස්පතින්දා සුගතදාස ක්‍රීඩා පිටියට ගියේ යෞවන ක්‍රීඩා උත්සවයේ සමාරම්භක මොහොතට සහභාගි වන්නටය. මෙවර යෞවන ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන අමුත්තා වූයේ ඔහුය. තරුණ සේවා සභාපති පසිඳු ගුණරත්න අධ්‍යක්ෂ මනුල පෙරේරා ඇතුළු නිලධාරීන් ඔහු පිළිගනු ලැබූහ.

“මේක මට දෙපැත්තකින්ම සම්බන්ධයි නේ. එක පැත්තකින් ක්‍රීඩාව. අනිත් පැත්තෙන් තරුණ කටයුතු. එකෙන් මොන පැත්තෙන් බැලුවත් මම මේ වේදිකාවේ ඉන්න ඕන.” රොෂාන් නිලධාරීන් සමඟ කතා කරමින් එසේ කියද්දී මේ තරම් අර්බුද හා ගැටුම් මැද සුළු වේලාවක්වත් ප්‍රමාද නොවී උත්සවයට පැමිණ තාරුණ්‍යයට ගෞරවයක් එක්කිරීම ගැන නිලධාරීන් මෙන්ම යෞවන සමාජ තරුණ තරුණියෝ ද පැමිණ ඔහුට ස්තුතිවන්ත වූහ.

අයවැය සතියේත්
මාතෘකාව ක්‍රිකට්

පසුගිය සතිය අයවැය ඉදිරිපත් කරන සතිය වුවත් රටේ ජීවත්වන පොදු ජනතාවට අයවැය ගැන වගේ වගක් තිබුණේ නැත. බොහෝ දෙනකුගේ මතය වූයේ අයවැයෙන් පොදු ජනතාවට වන සෙතක් නෑ කියාය. වෙනදා අයවැයෙන් පමණක් වැඩි කරන ඉන්ධන මිල, අරක්කු සිගරට් මිල, විදුලි බිල් ජල බිල් හා අනෙකුත් මිල පාලන කටයුතු වැඩි වන තුරු ජනතාවට දැන් වසරක් පුරා බලා සිටින්නට වුවමනාවක් නැත. ඒවා දැන් වැඩිවන්නේ මාස්පතා ගැසට් මගින් බව ජනතාව දනිති. මේ අසීරු කාලයේ අයවැයෙන් ජනතාවට සිදුවන සෙතක් ද නැති බව ජනතාව දනිති. නිසැක වශයෙන්ම මිල වැඩි කිරීම්වලට තුඩු දෙන වක්‍ර බදුවල ඉහළ යෑම් මිස පහළ යෑමක් බලාපොරොත්තු විය නොහැකි නිසා අයවැය දෙස පොදු ජනතාව නම් දැන් අපේක්ෂා දල්වාගෙන බලා සිටින්නේ නැත. එහෙයින් අයවැය පැමිණීම පිළිබඳ සැලකිය යුතු අපේක්ෂාවක් ජනතාව තුළ වූයේ නැති තරම්ය.

අයවැය කෙසේ වෙතත් ජනතාව බොහෝ උනන්දුවෙන් බලා සිටියේ ක්‍රිකට් ගැනය. ක්‍රිකට්වලට සිද්ධ වෙච්ච දේ ගැනය. ජනතාව තුළ පමණක් නොව, පාර්ලිමේන්තුව තුළ ද පසුගිය සතියේ තිබූ තත්ත්වය එසේය. සඳුදාට පැමිණෙන අයවැය යෝජනාව ගැන කතා කරනවාට වඩා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නිරතුරුවම කතා කළේ අයිසීසී ක්‍රිකට් තහනමෙන් පසු රටේ ක්‍රිකට්වලට මොනවා වෙයිද කියාය.

ලංකා ඉතිහාසය 78 වෙන අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණියේ සඳුදා පෙරවරු 11.30ට පමණ ය. සභානායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, ගීතා කුමාරසිංහ, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එහිදී ඔහුව පිළිගනු ලැබූහ.

ජනාධිපති කෙලින්ම පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත යන විට හිතුවත් මැති ඇමැතිවරු රැසක්ම එහි සිටියහ. ඉදිරියෙන්ම ඩයනා ගමගේ සිටිනු දුටු ජනාධිපතිවරයා ඇයට විහිළුවක් කළේ… “අන්න ඔයාට එදමරසිඑ ැජජදබදපහ එකත් දැම්මා” කියමිනි.

ටික වේලාවක් එහි රැඳී සිටි ජනාධිපතිවරයා අයවැය රහස් අඩංගු පෙට්ටියක් රැගෙන තව නොබෝ වේලාවකින් සභා ගැබට පැමිණියේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ ය.

අයවැය යෝජනා ඉදිරිපත් කළ කතාව පැය දෙකකට සීමා විය. ඉතා ඉක්මනින් අයවැය කථාව අවසන් කළ ජනාධිපතිවරයා ඉන් පසුව මැති ඇමැතිවරු පිරිවරා ගෙන ගියේ සම්ප්‍රදායානුකූල තේ පැන් සංග්‍රහය සඳහා ය. අයවැය දහවල් ඉදිරිපත් කළ බැවින් එම තේ පැන් සංග්‍රහය වෙනුවට සූදානම් කර තිබුණේ දිවා භෝජන සංග්‍රහයකි. ජනාධිපති, අගමැති, කථානායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන මේ මේසෙ වාඩි වී දිවා ආහාරය ගනිද්දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පැමිණ ජනාධිපතිවරයාට සුබපතන්නට වූහ. සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, ඉරාන් වික්‍රමරත්න යන අයද ඒ අතර සිටියහ. සුමන්තිරන් ද පැමිණ ජනාධිපතිවරයා සමග කතාබහ කළේය.

ජනපති රංජිත්ට
ලොකු හැන්දකින් බෙදලා…

අයවැය පැවැත්වුණු සඳුදා රාත්‍රියේ ආණ්ඩුවට සම්බන්ධ බොහෝ මැති ඇමැතිවරුන්ට විවිධ අන්දමේ සාදවලට ආරාධනා ලැබිණි. බොහෝ සාද පැවැත්වුණේ කොළඹ ලොකු හෝටල්වල වූ අතර ඇමැති නිල නිවාස කිහිපයක ද සැලකිය යුතු මට්ටමේ මධු පානෝත්සව කිහිපයක් පැවති බව හෙළිවිය. මේ බොහෝ තැන්වල කතාබහට ලක් වූයේ අයවැයෙන් රටට අත්වන ලාභ ප්‍රයෝජන ගැනයි.

ජනතාව බලපත්‍ර සහිතව වගා දිගා කරන රජයට අයත් ඉඩම්, බලපත්‍රවලට ලබාදී ඇති නිවාස මෙන්ම නාගරික මහල් නිවාස ඒවායේ පදිංචිව සිටින ජනතාවට සින්නක්කරව ලබාදීමට ජනාධිපතිවරයා අයවැයේදී කරන ලද යෝජනාව ගැන ලොකු සාකච්ඡාවක් ඇති විය. අදාළ පාර්ශ්වකරුවන් වන ජනතාව මේ සම්බන්ධයෙන් බොහෝ සතුටට පත්ව සිටියත් ඇතැම් දේශපාලඥයෝ මෙහි ඇතුලාන්තයේ ඇති උපක්‍රමික අරමුණු සාකච්ඡා කරන්නට වූහ.

“ඉඩම් අයිතිය දීලා ඔය කියන්නේ දැන් ඉඩම් ටික හරි විකුණගෙන කාපල්ලා කියලා. අයිතිය හම්බ වෙච්ච ගමන් වෙන කරන්න දෙයක් නැතුව මිනිස්සු කරන්න ඉඩම් විකුණන එක. නාගරික මහල් නිවාස එහෙම වෙළෙඳපොළට ගේන්න යොදාපු උපායක් මේක” පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීය.

“ඔව්.. මෙච්චර කලක් ඉඩම් ටික ආරක්ෂා වුණේ විකුණගන්න බැරි නිසා. දැන් ඉතින් සින්නක්කර අයිතියට කුණුකොල්ලෙට මිනිස්සු විකුණන්න ගනී ඉඩම්..”

“කොහොම හරි රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියටත් වාසියක් වුණා. එයාට ජනාධිපති ලොකු හැන්දෙන් බෙදලා පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් යෝජනා කරලා රුපියල් මිලියන 750 කුත් සල්ලි වෙන් කරලා දීලා. ඉස්සරහට දැන් ගලිගමුව නගරයත් අර ඇල්ල වගේ නොනිදන සංචාරක පුරවරයක් වේවි.” මංත්‍රීවරු කියවන්නට ගත්තේ රංජිත් කවුරු ළඟ කොතැන කොහොම හිටියත් පළාතට වැඩ කරන එක අතාරින්නෙ නෑ කියාය.

ජනපති අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාව අවසන් කොට කෙලින්ම ගියේ පාර්ලිමේන්තුව වෙතය. සභා ගැබ තුළට නොගිය ද විපක්ෂ ලොබියට මෙන්ම ආණ්ඩු පක්ෂ ලොබියට ද ගොස් මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා කරන්නට ඔහු වගබලා ගත්තේය.

ජනපති විපක්ෂ ආලින්දයේ අසුනකට බරවී සිටිනු දුටු විපක්ෂ මන්ත්‍රීවරු වූ වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මුසම්මිල්, අනුරාධපුරේ කුමාරසිරි, චන්න ජයසුමන, නිමල් පියතිස්ස, රත්නපුරේ වරුණ, අතාවුල්ලා, උද්දික ප්‍රේමරත්න, කාවින්ද ජයවර්ධන, අශෝක අබේසිංහ, රංජිත් මද්දුම බණ්ඩාර, ජේ.සී. අලවතුවල ආදී මන්ත්‍රීවරු ඔහු වටා රොක් වන්නට වූහ.

ඒ අසලට ආ විග්නේෂ්වරන් දෙස බලමින් ජනපති කීවේ ඔන්න අපි ඉඩම් අයිතිය ගොවීන්ට දෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ අයට මුදල් දෙනවා. ඔබේ ජනතාවගේ අවශ්‍යතා අයවැයෙන් ඉටු කරලා තියෙන්නේ. ඒ නිසා අයවැයට සහාය දෙන්න.” යනුවෙනි.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා එද්දී ජනපති ඔහු පිළිගත්තේ රජතුමා කියාය. “දැන් සින්නක්කර ඉඩම් ජනතාවට දෙනවා, තට්ටු නිවාස අයිතිය දෙනවා, කඳුරටට නිවාස දෙනවා. ඡන්දෙට සූට් මහගෙන හිටපු අයගේ සූට් එක තමයි ගැළවුණේ.” මන්ත්‍රීවරු කියද්දී ජනපතිගේ කට කොනකට සිනහවක් නැඟිනි.

“වෛද්‍යවරුන්ට වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව විසඳලා නෑ කියලා ඒ අය කියනවා.” මන්ත්‍රීවරයෙක් විමසද්දී ජනපති කීවේ ‘ඒවා බජට් එකට කලින් විසඳලා තියෙන්නේ. අයවැය ලේඛනය කියන්නේ ප්‍රතිපත්ති සාකච්ඡා කරන තැනක්” බවය.

මෙහිදී කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය ගැන මන්ත්‍රීවරු කතා කරද්දී ජනපති මහාචාර්ය ආශු මාරසිංහට කීවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල මේ ගැන කතා කර තිබෙන බැවින් ඒ විස්තරය තමන්ට දෙන ලෙසය.

“ක්‍රිකට්වලට අය වැයෙන් බිලියන 1.5 ක් දාලා පසල් ක්‍රිකට් කොටස අරගෙන, අනෙක් පැත්තෙන් මහවැලි ් ඊ ක්‍ කළාප අරගෙන. ක්‍රිකට් ප්‍රශ්නය විසඳන්න අලි සබි්‍ර කොමිටියට දීලා. කැබිනට් එකෙන් අහන්නේ නැතුව අතුරු කමිටු දාන්නත් බෑ. මහවැලි ඉඩම් බෙදීම නතර කරලා. ක්‍රීඩා පනත ගෙනල්ලා තවත් කොටසක් කපලා. ක්‍රීඩා ඇමැතිටත් නොදැනෙන්න එයාගේ තටු කපලා නේද?” විපක්ෂ මන්ත්‍රීවරු විමසද්දී ජනපති හීන් සීරුවේ ඉන් පිටව ගියේ සිනාසෙමිනි.

ආංශික අධීක්ෂණ කාරක සභා ගැන කතා කරනවිට පහුගිය දිනවල ඒවායේ ඇතැම් සභාපතිවරු දක්නට නොලැබුණේ මන්දැයි කියා කතාබහක් ද ඇතිවිය. සැබැවින්ම ඔවුන් දහ දෙනකුගේ කණ්ඩායමක් පසුගිය දිනවල සිටියේ ඇමෙරිකාවේ සංචාරයක නිරත වෙමිනි. ඇමෙරිකාවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනනයේ ආරාධනයක් අනුව ආංශික කාරක සභාවල සභාපතිවරු හා මන්ත්‍රීවරුන් 17ක් පසුගියදා ඇමෙරිකාව බලා ගොස් සිටියේ ඒ රටේ පවතින ආංශික කාරක සභා ක්‍රමය ගැන වැඩමුළුවකට සහභාගි වන්නටය. මහින්දානන්ද, ඩිලාන්, තලතා, උපුල් රාජපක්‍ෂ, ගාමිණී වලේබොඩ, හෙක්ටර් අප්පුහාමි, ජගත් කුමාර, බදියුදීන්, මයන්ත ඇතුළු ලොකු පිරිසක් එහි සිටියහ. නාමල් රාජපක්ෂගේ හා සරත් වීරසේකර ගිහින් නම් දෙකත් එතන තිබුණත් ඔවුන්ට ඇමෙරිකාව බලා පිටත්ව යෑමට වීසා නොලැබීම හේතුවෙන් කෝකිලාට හා සහන්ට එම අවස්ථාව ලැබී තිබිණි.

ඒ අතර පහුගිය දිනවල තවත් කණ්ඩායමක් චීනයට ගොස් සිටියහ.

සාගරගේ උපන්දිනය
චීනයේදී සමරලා…

එක් මාවතක් එක් තීරයක් වැඩසටහනේ දහ වැනි සංවත්සරය පසුගියදා චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී සංවිධානය කර තිබිණි. එම සමුළුවට සහභාගි වන්නට පාලිත රංගේ බණ්ඩාර සාගර කාරියවසම් ඇතුළු විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ පිරිසක් පසුගිය සතියේ චීනයට ගොස් සිටි බැවින් අයවැය ඇතුළු ලංකාවේ තිබූ බොහෝ දේශපාලන කටයුතුවලට ඔවුන්ටද සහභාගි වන්නට නොහැකි වූහ.

ප්‍රධාන උත්සවයේ දී පාලිත රංගේ බණ්ඩාරගේ නම නිවේදකයා සඳහන් කළේ “රේන්ජ් බණ්ඩාර” කියාය. එය ඇසූ ලංකාවේ නියෝජිතයෝ කොක් හඬලා සිනාසෙන්නට වූහ. නියෝජිතයෝ මන්දැයි කියා ඇසූවිට අප නියෝජිතයෝ කාරණාව පරිවර්තනය කර කියා සිටියහ. අරුත දැනගත් ඔවුන්ටද සිනහව නතර කරගත නොහැකි වූහ.

ඒ අතර සාගරගේ උපන්දිනය යෙදී තිබුණු බැවින් ඔහු වෙනුවෙන් ලොකු කේක් ගෙඩියක් ගෙනවිත් තිබුණේ චීන නියෝජිත පිරිසකි. සාගර කේක් කපා චීන නියෝජිතයන්ටත් සමුළුවට සහභාගි වී සිටි අප රටේ විපක්ෂයේ නියෝජිතයන්ටත් සෙසු රටවල පිරිසටත් සංග්‍රහ කරද්දී බංගලාදේශයේ නියෝජිතයා අපූරු ප්‍රශ්නයක් ඇසීය…

“ඕගොල්ලන්ට නම් මේ වගේ කාරණාවලට පක්ෂ විපක්ෂ භේදයක් නෑ. හැබැයි අපේ රටේ නම් ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි අතර ඔය වගේ දේවල් වෙන්නෙ නෑ.”

“එක ළඟ රටවල් තිබුණට ඒක තමයි ඔයගොල්ලගෙයි අපෙයි වෙනස.” පාලිත රංගේ බණ්ඩාර පැහැදිලි කළේය.

අයවැය අස්සෙ
ක්‍රිකට් ජරමරේ…

සඳුදා අයවැය ඉදිරිපත් කළාට පසුව පසුදා සිටම දිගින් දිගටම පැවැත්වුණේ අයවැය විවාදය වුවත් පාර්ලිමේන්තුවේ වාද විවාදවල වැඩිපුර කතා කෙරුණේ ක්‍රිකට් පිළිබඳ ප්‍රශ්නයයි. මේ ගැන විමසන විට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීවේ “අයවැය ගැන තව මොනව කතා කරන්න ද” කියාය. රටේ ජනතාවට සේම පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ද අයවැය ක්‍රිකට්වලට සාපේක්ෂව නොවැදගත් මාතෘකාවක් වූහ.

අය-වැය විවාදයේ දී ඉතා වැදගත් කාරණා කීපයක් මතු කරමින් ගෙවිඳු කුමාරතුංග ද විශේෂ කතාවක් කළේය. ඔහු එහිදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ කතාවකට ද උත්තර දෙමින් කතා කළේය. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය සම්මතව තිබියදීත් එහි ප්‍රතිපාදනවලට පිටින් යමින් ආරක්ෂක ඇමැතිකම දරමින් මුදල් ඇමැතිකම දරමින් කටයුතු කිරීම ප්‍රශ්න කළේය. ඇමැතිවරු පත්කිරීමේදී ජනාධිපති අගමැතිගෙන් කරුණු විමසන්නේ ද යන්න ප්‍රශ්න කළේය. ඔහු අයවැයෙහි බොහෝ කරුණු කාරණා ගැන ගැඹුරින් කතා කරන්නට ගියේ නැත. එහෙත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු මහ ඉහළින් වර්ණනා කරන නාගරික නිවාස අයිතිය හා ඉඩම් අයිතිය බලපත්‍රවලින් සින්නක්කර අයිතියට පරිවර්තනය කිරීම තුළ අනාගතයේ විය හැකි ව්‍යසනය ගැන මතක් කළේය. එම නිවාස හා ඉඩකඩම් මේ ප්‍රතිපත්තිය තුළින් වෙළෙඳපොළට විවෘත කර ඇතැයි හේ කීවේය.

කවුරුන් කෙසේ කීවත් රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ ආර්ථික කළමනාකරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව ගැනත් තැන තැන විවිධ මතවාද ඇතිවිය. මේ පිළිබඳ විමසීමකදී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ එක්තරා පාර්ශ්වයක දැන උගත් නීතිඥ මන්ත්‍රීවරයෙක් අලුත් ප්‍රවේශයක් පෙන්වා දුන්නේය. එම ප්‍රවේශය තිබුණේ එම නඩු තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව් දෙනාට වෙනස්ව යමින් ඊට ප්‍රතිවිරුද්ධ තීන්දුවක් සඳහා කරුණු ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ පිටු 146ක් පමණ වූ ප්‍රකාශනයේ ය.

2019 බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු අඩු කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුව ය. එවන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් නොවන්නේ යැයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තියෙහි පැහැදිළි තීන්දුවක් දී තිබිය දී මෙම මැදිහත්වීම ඔහුගේ විමතියට කාරණාවක් වී ඇති බව මන්ත්‍රීවරයා කීය. විනිසුරුතුමන් මතුකරන අනිත් වැදගත් කාරණාව වන්නේ යම්කිසි අයකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට දින 30ක සීමා කාලයක් දී තිබියදී එය සලකා නොමැති වීමයි. විනිසුරුතුමා විමතිය පළකර තිබුණේ 2019 සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් 2022 පැමිණිල්ලක් ගොනු කරන්නේ කෙසේද කියාය.

මෙසේ එම විනිසුරු ජයවර්ධන වාර්තාවේ සඳහන් ප්‍රධාන කාරණා කිහිපයකි. රට මේ ගැන සාකච්ඡාව සාධනීය හා ඵලදායී වන්නට නම් එම තීන්දුවේ පවතින එවන් කරුණු ගණනාවක් මේ රටේ උගත් සමාජයේ සාකච්ඡාවට ලක් විය යුතු බව පමණක් නීතිය පිළිබඳ දැනුමක් ඇති ඒ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ජනපති මහින්ද
උපන්දින සමරුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 18 වැනිදාටය. නොවැම්බර් 15 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහනුවරට පැමිණියේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමටය. මෙය සංවිධානය කර තිබුණේ මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා විසිනි. ඊට පසු දින දහවල් දානමය පින්කමක්ද සූදානම් කර තිබිණි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ. මහින්දානන්ද අළුත්ගමගේ කෙහෙලිය රඹුක්වැල්ල, අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙන්ම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරු සහභාගිවී සිටියහ. මහින්ද හා නාමල් සමග මේ වන්දනා ගමනට බැසිල් රාජපක්ෂද එක්වී තිබිණි. මෙතැනට පැමිණි අමුත්තන් විශේෂයෙන්ම නාමල් රාජපක්ෂගෙන් විමසා සිටියේ අයවැය පිළිබඳව දරන ස්ථාවරත්වය පිළිබඳවය.

බලන්න මන්ත්‍රීතුමා ඔබතුමා අයවැය පතුරු ගහනවානේ. මොකක්ද කරන්න යන්නෙ මොකක්ද අයවැය ගැන හිතන්නෙ, මෙසේ ඇසුවේ එතැන හිටපු මාධ්‍ය හිතවතෙකි.

විවේචන තියෙන්න ඕනෙ. මතකනෙ ගෝඨාභය රාජපක්ෂ කාබනික පොහොර ගේනකොට කට වහගෙන ඉඳලා වෙච්ච දේ. ඒ නිසා නරක දේට නරකයි කියන්න ඕනෙ කට ඇරලා. අනික අයවැයේ හොඳ ප්‍රවනතා තියෙනවා. පොහොට්ටුව විසින් ජනාධිපතිවරයාට දීපු යෝජනා ඔක්කොම වගේ අයවැය යෝජනාවලට දාලා තියෙනවා, නාමල් පැවසීය.

ඔව්… ඔබතුමා දැන් එතකොට අයවැයට පක්ෂව ඡන්දය දෙනවද. මෙතැනදී විමසුවේ ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන නිලධාරියෙකි. ඒක බලන්න ඕනෙ. අපි බලන්න ඕනෙ මේක කොච්චර ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එක සහ ජනතාවට කොච්චර සහන දෙන්න පුළුවන්ද කියන එක, නාමල් පැවසීය. ඒ වගේම අපි පොහොට්ටුව ගෙනාපු යෝජනා ජනාධිපතිවරයා අයවැයට ඇතුළත් කර තිබෙන නිසා පක්ෂය ගන්න තීරණයත් එක්ක අපි ඒ ගැන සලකා බලන්නම්, නාමල් යළිත් පැවසීය. මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද එම කතාව අනුමත කළේය.

මෙහිදී තවත් විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වුණු දානමය පින්කමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සහභාගි වී තිබීමය.

සඳුදා අයවැය යෝජනාවලින් පසුව පොහොට්ටුවේ ඇමැතිවරු මන්ත්‍රීවරු ඇතුළු කණඩායමක් නෙළුම් මාවත හදිසියේ රැස්විය. බොහෝ අය සිතුවේ මේ අයවැය ගැන තීරණයක් ගන්නට යනවා කියාය. නමුත් ඔවුන් රැස්වී තිබුණේ දෙසැම්බර් මාසයේ 15 වැනි දින පවත්වන්නට යෙදෙන පොහොට්ටු ජාතික සම්මේලනයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටය. මෙයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ එක්විය. මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, එස්. එම්. චන්ද්‍රසේන, සරත් වීරසේකර, එස්.බී. දිසානායක, මහින්දානන්ද අළුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල, සී.බී. රත්නායක, සිරිපාල ගම්ලත් සහ තවත් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ. එක් ග්‍රාමසේවා වසමකින් එක් අයකු බැගින් මෙම පොහොට්ටු ජාතික සම්මේලනයට සහභාගි කරවීමට මෙහිදී තීරණය කෙරිණි. නාමල් රාජපක්ෂ මෙම කටයුතු සංවිධානය කිරීමට දිවයින පුරා රැස්වීම්වලට සහභාගී වීමට නියමිතය

ප්‍රසන්නගේ ඇඟට
මහින්ද දුක්වෙලා…

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සැලකෙන්නේ, මහින්ද රාජපක්ෂට අතිශයින්ම හිතෛෂිවන්තයකු ලෙසය. කොයිතරම් අර්බුද පැමිණියත් ඇමැති ප්‍රසන්න කිසිම මොහොතක මහින්ද රාජපක්ෂ අත් නොහැරියේය.

මෙවර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් ඇමැති ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගැබිනි මව්වරුන් සඳහා ලොකු උත්සවයක් සංවිධානය කළේය. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර, තිස්ස කුට්ටිආරච්චි, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, සිසිර ජයකොඩි, මිලාන් ජයතිලක ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු සහභාගි වූහ. උත්සවය පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමුවැනි මහලේ තවත් උත්සවයක් සංවිධානය වී තිබුණි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් “හැපී බර්ත්ඩේ” ගීතය ගයද්දී හිටපු ජනාධිපතිවරයා උපන්දින කේක් ගෙඩිය කපා පළමු කෑල්ල කැව්වේ ඇමැති ප්‍රසන්නටය.

“ප්‍රසන්නගේ ඇඟ බැහැල මොකද?” හිටපු ජනාධිපතිවරයා ඇමැති ප්‍රසන්නගෙන් ඇසුවේ ප්‍රශ්නාර්ථයකිනි.

“මම හොඳට එක්සයිස් කරනවා.” ඇමැතිවරයා උත්තර දුන්නේය.

“තමන්ගේ ටීම් එක එකට තියාගන්න දක්ෂ වෙන්න ඕන. ඉක්මන් වෙලා තීන්දු තීරණ ගන්න නරකයි.” හිටපු ජනාධිපතිවරයා කීවේ ඇමැති ප්‍රසන්න සමඟ සිටි පළාත් පාලන මන්ත්‍රීවරුන් දෙස බලමිනි.

“අපේ ඕනම දේකට ප්‍රසන්න මහත්තයා මැදිහත් වෙනවා. හැබැයි සර් එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රසන්න මහත්තයා කපාගෙන යන්න දඟලනවා. අපි නම් ඒ අයත් එක්ක නෑ”

හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයකු කීය.

“හ්ම්… මටත් ආරංචියි. දේශපාලනයේදී ඔය වගේ හදිස්සිකාරයෝ ඉන්නවා. ගේමක් ගහන්න කලින් තමන් දැන ගන්න ඕන තමන්ගේ තරම. ඕව ගණං ගන්න එපා ප්‍රසන්න”

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ඇමැති ප්‍රසන්න සිනාසුණා මිස කිසිත් කීවේ නැත.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment