විපක්‍ෂ නායක වරප්‍රසාද අවභාවිතා කරලා

396

විපක්‍ෂ නායකවරයාට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද ඔහු අවභාවිත කර ඇති බවට තමාට හැඟී යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ තත්ත්වය වළක්වන්න ඉදිරියේදී කටයුතු කරන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ස්ථාවර නියෝග සංශෝධනය නුදුරේම ආරම්භ කරන බවද කථානායකවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රශ්න විමසූ අවස්ථාවේදී ඇතිවූ ආණ්ඩු පක්‍ෂයේ විරෝධය පළ කිරීමත් අතරතුරදී කථානායකවරයා මේ බව සඳහන් කළේය.

27/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නැගී සිටි විපක්‍ෂ නායකවරයා මුලින්ම ප්‍රශ්නයට පෙර ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති දූෂණ ක්‍රියාවක් පිළිබඳ සභාවේ අවධානය යොමු කළ අතර පසුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳ ප්‍රශ්නය යොමු කළේය.

ඊට පිළිතුරු ලබාදීමට නැගී සිටි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා විපක්‍ෂ නායකවරයා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළ බවත් 27/2 යටතේ ඉදිරිපත් කළ හැක්කේ එක ප්‍රශ්නයක් බැවින් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළේ කුමන ස්ථාවර නියෝගය අනුව දැයි විමසා සිටියේය.

අනතුරුව අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායකවරයා 27/2 යටතේ ප්‍රශ්න ඇසීමේ ස්ථාවර නියෝග අවභාවිත කර ඇති බවද මේ පිළිබඳව කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මම නරක ප්‍රශ්න දෙකක් ආණ්ඩුවෙන් ඇසුවේ. එකක් ක්‍රිකට් දූෂණය අනික මැතිවරණය කල් දැමීම උත්තර දෙන්න බැරි ප්‍රශ්න මම අහලා තියෙන්නේ.

කථානායකවරයා

විපක්‍ෂ නායකතුමාට ලබාදී ඇති විශේෂ වරප්‍රසාදය එතුමා අවභාවිත කර ඇති බවට මට හැඟී යනවා. ඒ තත්ත්වය වළක්වන්න ඉදිරියේදී කටයුතු කරනවා.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment