ශ්‍රී ලංකාව අද වෙනස්කම් කීපයක් සමග තරග බිමට!

844

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයට අද (21 වැනිදා) එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමග ක්‍රීඩා කිරීමට නියමිතව සිටී.

මේ වනවිටත් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කර තිබීම නිසා මෙන්ම ලෝක කුසලාන තරගාවලියට මාස කීපයක් මෑතින් සිටින නිසා එම වෙනස් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය තරග දෙකට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරින් දෙතුන් දෙනෙකු අද විවේක ගන්වා ඒ වෙනුවට අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අද තරගයට ක්‍රීඩා කරනු ඇත.

කමිදු මෙන්ඩිස්, ඩිල්ශාන් මධුසංඛ, කුසල් ජනිත් පෙරේරා සහ අකිල ධනංජය එම සංචිතයේ සිටිය ද මේ වනතෙක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබූ ක්‍රීඩකයෝ වෙති.

අද රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

පෙරේදා පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ අනුව අද තරගය ද ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමි වේ.

පෙරේදා තරගය පිළිබඳව ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් එහිදී මෙසේ පැවසීය.

“මං හිතන්නේ අපි කාසියේ වාසිය ජයගත්තා නම් පළමුව පන්දු යැවීමටයි අපිත් තීරණය කර සිටියේ. මොකද පළමු තරගයේදී අපි පන්දු යවද්දී යම් පින්නක් වැටුණා. නමුත් මෙම තරගයේ දී පින්නක් තිබුණේ නැහැ. නමුත් තණතීරුව බැලූ විට අපිට සිතුනා දෙවැනියට පිතිකරණයේ යෙදීම හොඳයි කියා. මොකද පළමුව ලකුණු රැස්කළොත් කොතරම් ලකුණු සංඛ්‍යාවක ඉලක්කයක් ලබා දෙනවාද යන්න ගැන අදහසක් තිබුණේ නැහැ. ඊට හේතු වුණේ අපිත් කාලයකට පසුවයි දඹුල්ලේ ක්‍රීඩා කළේ. මේ හේතු නිසාම අපිත් සූදානමින් සිටියේ පළමුව පන්දු යැවීමටයි.

එසේම කණ්ඩායමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පන්දුව අතට ගැනීමට තමා සූදානම් බවද මැතිව්ස් පැවසීය. පෙරේදා තරගයේදී ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක කඩුලු දෙකම බිඳ දැමීය.

ශ්‍රී ලංකාව අද වෙනස්කම් කීපයක් සමග තරග බිමට!

“වනිදු නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව සිම්බාබ්වේ සමගින් පැවැති තරගාවලියේ සිටම පන්දුවාර 2ක් හෝ 3ක් යොමු කරන ලෙස දැනුම් දුන්නා. එය කණ්ඩායමේ සංයුතියට විශාල වශයෙන් බලපානවා. ඕනෑම වෙලාවක මට හැකිනම් පන්දු යැවීමට මම සූදානමින් සිටිනවා. එසේම නායකයාගේ ඉල්ලීමත් සමගින් තේරීම් කමිටු සාමාජිකයන් සමගත් හොඳ කථා බහක් අපි අතරේ තිබුණා. ඔවුනුත් මට ආත්ම විශ්වාසය ඇතිවන අයුරින් කථා කර විස්සයි – 20 තරග රටාව තුළ මගේ සේවය අවශ්‍ය බව පැවැසුවා. ඒ අනුව මොන ආකෘතියේ ක්‍රීඩා කළත් මගේ සියයට 100ක් ලබා දෙන්න මම සූදානම්. එසේම මම ඉතාමත් ආසාවෙන් ක්‍රීඩා කරන්නේ. මම ක්‍රිකට් ක්‍රීඩාව වින්දනය කරනවා. ඉතින් පුළුවන් උපරිමයෙන් කණ්ඩායමට මගේ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

එසේම මතීෂ පතිරණ සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මැතිව්ස් මෙසේ කීය. “මතීෂ පතිරණට ‘නෙට්’ එකේ මුහුණදීම තමයි අපිට තිබෙන විශාලතම අභියෝගය. මතීෂ පන්දු යවන ආකාරය අනුව පිතිකරුවන් බොහෝ දෙනෙකුට පන්දුව දැකගත නොහැකියි. ඒ වේගයත් අභියෝගයක්. නොකඩවා පැයට කිලෝමීටර් 150 ඉක්මවා පන්දු යැවීම සිදු කළ නොහැකි කාර්යයක්. එසේම ඔහු ලොව පුරා ‘ෆ්‍රැන්චයිස්’ ක්‍රිකට් ක්‍රීඩා කර ලබා ඇති අත්දැකීම් සමඟින් තවමත් 21 හැවිරිදි වියේ පසුවුවත් තරගයකදී අවසන් පන්දුවාරයේ ලකුණු 12ක් ආරක්ෂා කිරීම පැවරුවහොත් අවස්ථා 10කින් 9ක් හෝ 8ක් ජයග්‍රහණය කර දෙනවා. ඔහු එතරම් අසීරු පන්දු යවන්නෙක්. එම නිසා ඔහුව අපි හොඳින් බලාගන්න අවශ්‍යයි. ඔහු ඉතාමත් විනයගරුක ක්‍රීඩකයකු ලෙස පෙනී යන අතර මම ඉතාමත් ආසාවෙන් බලා සිටිනවා ඔහු ඉදිරියේදී ඔහු ක්‍රීඩා කරන ආකාරය ගැන දැකගන්න.”

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment