පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ – මගේ තනියට ලොකු පුතා ඇති සොයා යන්නම් හෙට උදේ

1110

පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා තනිව මා හා ගිය මගේ
කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නැහැ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති කර නුඹේ

වත්තේ වැව ළඟ නිසල නිවහන මම හැදුවා පොඩි පුතේ
මගේ තනියට ලොකු පුතා ඇති සොයා යන්නම් හෙට උදේ
සොබා දහමට අවනතයි මං ඉතිං එන්නම් ගොම්මනේ
යන ගමන් අර බෙහෙත් තුන්ඩුව ගිහින් දීපන් අම්මගේ

විදුලි සර වැදීමකින් මියගිය හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සිය මතුගම, යටදොළ වත්ත ඉඩමේ ඔහු විසින්ම තැන ූනිසල සෙවණ සිට තෙපලුවදන් බොහෝ දෙනකුගේ නෙතට කඳුළක් එක් කරන හදවතට දැඩි කම්පනයක් ගෙන දෙන්නක් බවට පත්වී තිබේ.

නව පරපුරේ ගායන ශිල්පියකු වන රවි රොයිස්ටර් ගායනා කරන ගීතයට අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා වචන කීපයක්ද වෙනස් කර ඔහු මුමුණන්නේ තම අස්ථිර ජීවිතයට කෙදිනක හෝ මුහුණ දියයුතු බව අපට පසක් කරමිනි.

තෙවරප්පෙරුම මහතාගේ මරණය සැලවී ඒ මහතාගේ මතුගම, යටදොළ වත්ත නිවසට ඔහුට අවසන් ගෞරව දක්වන්නට ඊයේ (17දා) රාත්‍රී වනවිටත් ඔහුට ආදරය කළ අතිවිශාල ජනතාවක් ඇදී එන්නට වූහ.

මීට අමතරව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියහ.

ඔහුට ආදරය කළ ජනතාව “පාලිත අයියේ, ඇයි ඔයා මේ හදිසියේම දාලාගියේ. ඔයා නැතිව ගමම පාළුයි…” යැයි කියමින් හඬා වැළපෙන්නට වූහ.

ඔහු අවසන් ගමන යෑමට ඔහු විසින් තැනූ නිසල නිවහන සිට එදා කළ කතාව මෙසේය.

“මම යාථාර්ථය තේරුම් ගත්ත මිනිහෙක්. ඒ යථාර්ථය තේරුම් ගත්ත නිසා තමයි මම මැරෙන දවසෙ කාටවත් කරදරයක් නැතිව පැය 24ක් ඇතුළත මගේ මැරුණු දේහය බූරු ඇඳක තියාගෙන ඇවිත් මේ මම හදපු නිසල නිවහනට අරගෙන ඇවිත් දාලා වහන්න කියල කියන්නේ. අපේ මරණය කොයි වෙලේ වෙයිද දන්නේ නැහැ. අපි අරන් යන්නේ කරපු හොඳ නරක විතරයි. මම මගේ පුතා නැති වුණු දවසේ ඉඳලම මම පිනට දහමට බර වුණා. මගේ තනියට පුතා ඇති.

“දේශපාලනයෙන් මං සතපහක දෙයක් හම්බකරගෙන නැහැ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් මට දීපු ඩිස්කවරි වාහනයවත් මම අරගෙන නැහැ. මම කිව්වා ඒ වාහනය කලාකරුවන්ගේ යහපත වෙනුවෙන් යොදවන්න කියලා. රට වට කර ගෙන මිනිස්සු මා වටා ඉන්නවා. මං කිසිකෙනෙකුට බරක් නැතිව ජීවත් වෙච්ච කෙනෙක්.

පරිසරයට ආදරය කරන මිනිහෙක් හැටියට මගේ අවසාන ගමන මම ලෑස්ති කරලයි තියෙන්නේ. ඒ මම හදපු මගේ නිසල නිවහනේ. මම සිංදුවකුත් හදා ගත්තා කියන්න.

ඒ මහතා මිය යන විට 64 වැනි වියේ පසුවිය. සිදුවූ සිද්ධිය ගැන විස්තර කළ ඒ මහතාගේ ඥාතියෙක් මෙසේ පැවැසීය.

“පාලිත අයියා 16 වැනිදා සවස මතුගම, යටදොළ වත්තේ එයාගේ පුද්ගලික ඉඩමේ පොහොර වගයක් දාමින් වැඩ කරමින් ඉඳලා තියෙනවා. ලොරියකින් ඒ තැනට පොහොර බාමින් සේවකයෝ පිරිසක් කටයුතු කරමින් ඉඳලා තියෙනවා. මේ වෙලාවේ පාලිත අයියා විදුලිය සඳහා තැන්තැන්වලට ලයිට් දාමින් ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ බිම වැටී තිබූ වයරයකින් පාලිත අයියාට විදුලි සර වැදී තිබෙනවා. ඒ වෙලාවෙම පිරිස අයියව කළුතර රෝහලට අරගෙන ගිහින් තිබෙනවා. රෝහලේ සිටි වෛද්‍යවරුන් පාලිත අයියගේ ජීවිතය බේරා ගන්න විශාල උත්සාහයක් ගත්තා. ඒත් ඔහු අපිව දාලා ගියා.

“අපේ දෙමාපියෝ නැති වුණා වගේ. ගමේ රටේ මිනිසුන්ට පුදුම විදිහට උදව් උපකාර කළේ. ඔහු හම්බ කළේ මිල මුදල් නෙමෙයි. මිනිස්සු. රටේ මිනිස්සුත් එතුමාට පුදුම විදිහට ආදරය කළා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19 වැනිදා) සිකුරාදා සවස 2.00ට ඔහු විසින්ම තැනූ මතුගම යටදොළවත්ත නිසල සෙවණේ දී සිදු කිරීමට නියමිත බව එම ඥාතීහු පැවසූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment