මීගොඩ කොල්ලය එස්.ටී.එෆ්.එකෙන් දින හතරෙන් විසඳයි

605

මුදල් අයකැමිවරියගේ තැනට සුදුසු නුවණ නිසා ලක්‍ෂ 30ක් බේරෙයි

දිනය පෙබරවාරි 12 වැනිදාය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සල්වල සේවක පිරිස සුපුරුදු පරිදිම සිය කටයුතු කරගෙන ගියේය. වෙනදා මෙන් දවසේ වෙළෙඳාම් කටයුතු නිමවා දවසේ ආදායම ගණනය කරන හෝරාවද කෙමින් පැමිණ තිබිණි. එක්තරා එළවළු වෙළෙඳ සලක සිටියේ මුදල් අයකැමිවරිය සහ තවත් සේවකයෙක් පමණි.

මේ වෙළෙඳ සැලෙහි අයකැමිවරිය ලෙස සේවය කළේ මීගොඩ බද්දෙගෙදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි හංසනි ගුණසේකර නමැති තරුණියකි. අලුයම 1.30 පසුවී විනාඩි කීපයක් ගතවත්ම වෙළෙඳ සැල ඉදිරිපිට යතුරු පැදියක් විදුලි වේගයෙන් පැමිණ නතර විය. වෙනදාට වඩා අනතුරක සේයාවක් ඉවෙන් මෙන් දැනුනු හංසනී ක්‍ෂණිකව මුදල් තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු කැරැල්ල සිය භාරයට ගත්තේ කෝකටත් වඩා පෙර සූදානම නුවණට හුරුබව හිතට දැනුණු නිසාවෙනි. තත්පර කීපයක් ගතවෙද්දීම යතුරු පැදියෙන් බැස ආවේ තරුණයන් දෙදෙනෙකි. මේ තරුණයන් දෙදෙනාගෙන් එකකු අත ගිනි අවියක් තිබෙන දුටු ඇය තිගැස්සී ගියේ මහා විපතක පෙර නිමිති පහල වන්නට පටන්ගත් හෙයිනි.

පෙර කී යතුරු පැදියෙන් බැස ආ ඒ ම්ලේච්ඡ කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ගිනි අවියත් අතින් ගෙන වෙළෙඳ සලට කිසිවකුට ඇතුළු වීමට නොහැකි වන පරිදි එහි තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කරගැනීමට සමත්විය. එහිදී ඔහු සමඟ පැමිණි අනෙක් කොල්ලකරු වෙළෙඳසැලට ඇතුළු වී එහි සිටි සේවකයාට වැරෙන් පහර කීපයක් එල්ල ඉන් අනතුරුවය.

“ඔහොම හිටපන් හෙල්ලෙන්න එපා. කෝ…. තොපේ මුදලාලි”

මේ ආදී චන්ඩි වදනින් එම කොල්ලකරුගේ හඬින් මුළු වෙළෙඳසලම ගිඟුම් දෙන්නට විය. නිරුත්තර වූ තරුණයා තුෂ්ණිම්භූතව ගල්ගැසුණාක් මෙන් සිටියදී කොල්ලකරු මුදල් අයකැමි තරුණිය වෙතටද කඩා පැන ඇය පසෙකට තල්ලු කර දැමුවේ කොල්ලකරුවකුගේ ම්ලේච්ඡත්වයද පෙන්නමිනි.

“කෝ තොපේ සල්ලි…. ගනින්ලා එළියට…. ඉක්මන් කරපල්ලා….. නැත්නම් තොපිව ඉතුරු කරන් නෑ….”

කිසිවක් කරකියා ගැනීමට නොහැකි වූ වෙළෙඳ සැලෙහි තරුණයා නිසොල්මන්ව සිටියදී කොල්ලකරු ඔහුට වැරෙන් පහර කීපයක් එල්ල කළේය. ඉන් පසුව සැකකරු දිවගියේ මුදල් අයකැමිවරියගේ සල්ලි ලාච්චව වෙතටය. ලාච්චුවේ තිබුණු මුදල් කොල්ලකරු වහා බෑගයකට දමාගත්තේය. වෙනදාට මෙන් වෙළෙදාම එදා නොතිබූ හෙයින් එදා එහි තිබුණේ ඉතා සුළු මුදලකි. එදා ආදායම රුපියල් 46000 ක මුදලකි.

නමුත් කොල්ලය සිදුවන අවස්ථාව වනවිට රුපියල් ලක්‍ෂ 30කට අධික මුදලක් වෙළෙඳ සල තුළ තිබී ඇත.

දින ගණනක් සැලසුම් කර සිදුකළ කොල්ල කෑමේදී මෙතරම් සුළු මුදලක් පමණක් ලැබීමට නිසා දැඩි කෝපයට පත් කොල්ලකරුවන් මුදල් අයකැමිවරිය දෙසට හැරුණේ ඇය සතුව මුදල් ඇතැයි සිතමිනි.

“කෝ සල්ලි”

“කෝ සල්ලි”

යනුවෙන් මහා හයියෙන් කෑ ගසන්නට විය.

“මං ගාව නැහැ, මං ගාව නැහැ.”

යැයි ඇය මහ හඬින් කෑ ගසා කීවත් එය ගණනකට නොගත් කොල්ලකරුවෝ මුදල් අයකැමිවරියට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. කොල්ලකරුවන් දෙදෙනා ක්‍ෂණිකව පැමිණි යතුරු පැදියේම නැගී දාම්පේ දෙසට පලායන්නට විය.

ඇසුණු වෙඩි ශබ්දයත් සමඟ කලබලයට පත් අසල වෙළෙඳ සල්වල සේවකයන් වහ වහා මුදල් කොල්ල කෑ ස්ථානයට දුවගෙන එන විට මුදල් අයකැමිවරිය ලේ ගලන තුවාලයක් සහිතව සිටියාය.

මීගොඩ කොල්ලය එස්.ටී.එෆ්.එකෙන් දින හතරෙන් විසඳයි

මුලින්ම අසල වෙළෙඳසල්වල සේවකයන් එක්ව ඇයව ක්‍ෂණිකව රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර තවත් පිරිසක් දිවගියේ අසල පිහිටි පොලිස් මුරපළ වෙතටය.

මෙම ආර්ථික මධ්‍යෂ්ථානයේ ආරක්‍ෂාවට පොලිස් මුරපළක් පිහිටා තිබෙන්නේ කොල්ලකෑම සිදුවූ ස්ථානය පෙනෙන මානයේය.

වෙළෙඳ සංගමයේ නියෝජිතයන් පොලිස් මුරපළ වෙත යන විට එහි කිසිවකු නොසිටි බවට වෙළෙඳ සංගමය චෝදනා කරයි.

වෙඩි වැදුණු හංසනි දිල්හානි ගුණසේකර නමැති මුදල් අයකැමිවරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඇයගේ උදර ප්‍රදේශයට බෝර කැට 3 ක් වැදී තිබිණි. ඇයගේ තත්ත්වය එතරම් බරපතළ නොවුණි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑම රටේ සිව්දෙසම පැතිර යන්නේ විදුලි වේගයෙනි. ඒත් සමඟ වෙළෙඳ සංගමයෙන් දැඩි බලපෑමක් පොලිසිය වෙත එල්ල වන්නේ නිදහසේ වෙළෙඳ කටයුතු සිදුකර ගැනීමට මෙවන් සිදුවීම් දැඩි බාධාවක් වන බැවිනි.

රටේ මෙවන් සිදුවීම් රටේ ආර්ථිකයටද දැඩි බලපෑමක් වන බැවින් ඒ කෙරෙහි දැඩි අවධානය යොමුකරන විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා වහාම නියෝග හා උපදෙස් දෙන්නේ හැකි ඉක්මනින් මෙම කොල්ලකරුවන් පිරිස නීතියේ රැහැනට හසුකර ගන්නා ලෙසය.

ඒ අනුව බස්නාහිර පළාත් උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත මාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් 13 වැනි දිනම සිය කටයුතු ආරම්භ කරන්නේය.

ඒ අනුව 13 උදෑසනම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන විශේෂ කාර්ය බළකා පොලිස් කණ්ඩායමට සුවිශේෂ තොරතුරක් ලැබෙනවා. ඒ පූගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට 13 වැනිදා පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණ රුපියල් ලක්‍ෂ 19කට අධික මුදල් හා රන් ආභරණ කොල්ල කෑ සිදුවීමක්ද වාර්තා වී තිබිණි.

පරීක්‍ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම මීගොඩ කොල්ලයට සම්බන්ධ වූ පිරිසට සමාන කණ්ඩායමක් පූගොඩ රන් කොල්ලයටද සම්බන්ධ වී ඇති බව වටහා ගත් බැවින් එම නිවසේ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කරන්නට විය.

සීසීටීවී දර්ශන පරීක්‍ෂා කරන පොලිස් කණ්ඩායම කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක පාළු ස්ථානයකට මෝටර් බයිසිකලයක් ඇතුළු කරන දර්ශන දක්නට ලැබුනත් නැවත පිටව යන දර්ශන දක්නට නොලැබීම නිසා නිලධාරීන් සැක කරන්නේ කොල්ල කණ්ඩායම මෙම ප්‍රදේශයේ ඇති බවටයි. ඒ අනුව වෙන්දේසි ඉඩම සහ එම ප්‍රදේශයේ පිහිටි නිවාස සෝදිසි කරන පොලිස් කණ්ඩායමට පිටුපස දොර ඇරී තිබෙන පාළු නිවසක් ඇස ගැටෙන්න විය.

තවදුරටත් විමසිලිමත් වීමේදී පොලිස් කණ්ඩායමට දැකගැනීමට ලැබෙන්නේ රතුපාට ටී ෂර්ටයක්, හෙල්මටයක් සහ පිහියක් ඇති බවයි.

අසල නිවසකින් මෙම නිවසේ හිමිකරුගේ දුරකථන අංකය ඉල්ලා ගන්නා පොලිස් කණ්ඩායම ඔහුට පවසන්නේ තොරතුරක් දැනගැනීමට අවශ්‍ය බවයි. ඒ අතර මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාද සැකකරුගේ දුරකථනයට කතාකර සූක්‍ෂමව ඔහුව පොලිස් ස්ථානයට ගෙන්වාගෙන ප්‍රශ්න කරද්දී කොල්ලයට සම්බන්ධ බවට තොරතුරු ලැබුණු බැවින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගනු ලබන්නේ සිසිර කුමාර නමැති පුද්ගලයෙකි. මේ අතරතුර විශේෂ පොලිස් කණ්ඩායමට තවත් වැදගත් තොරතුරක් ලැබෙන්නට විය. ඒ මෙයට සම්බන්ධ පිරිසක් හම්බන්තොට ප්‍රදේශයේ ඇති බවටයි. වහා ක්‍රියාත්මක වන පොලිස් කණ්ඩායම හම්බන්තොට ප්‍රදේශයට ගොස් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා අතර එලෙස අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් වන්නේ මෙහි මහමොළකරු වන නිහාල් විජේසිංහ නමැති අවුරුදු 43 වයස පුද්ගලයෙකි.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වන්නේ බැද්දේ කංකානම්ගේ දිමුතු නිරෝෂන් නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ ලද තොරතුරු මත මීට සම්බන්ධ වෙඩික්කරු පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිවිණි. ඒ අනුව ගොඩකවෙල ප්‍රදේශයේදී අනියම් බිරියත් සමඟ සිටියදී අන්ද්‍රා හැන්දිගේ සුජිත් කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔහුගෙන් ලද තොරතුරු මත බයිසිකලේ පැදිකරු ලෙස කටයුතු කළ විජේසිංහ මුදියන්සේලාගේ දිනේෂ් අවිශ්ක නමැති 31 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ මහියංගන පොලිස් වසමේ මාපාකඩදීය.

මේ වනවිට කොල්ලකෑමට පැමිණි වෙඩික්කරු හා යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන අවසන්ය. විශේෂ පොලිස් කණ්ඩායම නැවත වරක් කිරිල්ලවල ප්‍රදේශයේ පාළු නිවස පරීක්‍ෂා කරන නිලධාරීන්ට දෙපැත්ත ආවරණය කරන ලද ප්ලාස්ටික් බටයක් තුළ තිබී කොල්ලකෑම සඳහා යොදාගත් ෂොට් ගන් වර්ගයේ බෝර 12 වර්ගයේ ගිනිඅවිය සොයාගනු ලැබිණි. ඒ උණ්ඩ 3 ක්ද සමගිනි.

මෙම කොල්ලය සඳහා තොරතුරු ලබාදී ඇත්තේ ෂෙහාන් සන්දීප නමැති අවුරුදු 32 වයසැති පුද්ගලයකු හා පොල්දුව හේවගේ ඉන්ද්‍රසිරි නමැති 45 හැවිරිදි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන් දෙදෙනෙකි. ෂෙහාන් සන්දීප රථවාහනවල විදුලි කාර්මිකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර වෑන් රථයකින් භාණ්ඩ ප්‍රවාහනයද සිදුකර ඇත.

ඉන්ද්‍රසිරි නමැත්තාට ෂෙහාන් සන්දීප නමැත්තා දැඩි මූල්‍ය අර්බුදයකින් පසුවන අවස්ථාවක ඔහුගේ වාහනයට ෆිනෑන්ස් පහසුකමක් හරහා මුදල් ලබාදී ඇත. ඒ අන්දමින් ගොඩනැගුනු මිත්‍රත්වය මෙම කොල්ලය දක්වාම පැමිණ තිබේ. ඒ මේ දෙදෙනාට දැඩි ආර්ථික අපහසුතාවකින් පෙළුනු බැවිනි. මුලින් ආර්ථික මධ්‍යස්ථානයේ මුදල් බෑගයක් රැගෙන දිවයෑමට සැලසුම් කළත් එය අවදානම් නිසා දෙදෙනා සාකච්ඡා කොට ෂෙහාන් සන්දීප නමැත්තාගේ හිතවත්කමක් මත හම්බන්තොට නිහාල් විජේසිංහ මේ සඳහා සම්බන්ධ කරගෙන ඇත.

කොල්ලකෑමට මූලික සැලසුම 11 වැනිදා සවස හෝමාගම බස් නැවතුම් පළේදී සිදුකර ඇත. 12 වැනිදා සිදුවූ කොල්ලකෑම 17 වැනිදා වනවිට දින හතරක් වැනි කාලයක් තුළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ගෝනහේන දෙවන කඳවුරේ අණදෙන නිලධාරී අයි. පී. ගුණතිලක, පූගොඩ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මාරපන, පූගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දිවා රෑ නොබලා සීසීටීවී දර්ශන පරීක්‍ෂා කරමින් සිදුකළ දැඩි කැපවීම හේතුවෙනි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment