දේපළ ලියාගෙන මිත්තණියට නොසැලකූ නිළියට වැඩ වරදියි

2138

දේපළ යළි ලියා දී මිලියන 5 ක වන්දි හා රු 30,000 බැගින් දීමනා ගෙවන්නත් නියෝග

ප්‍රාණ භුක්තිය තබාගෙන මිත්තණිය පවරා දුන් නිවස ඇතුළු දේපළ වහාම එම මිත්තණියට යළි පවරාදෙන ලෙසටත් රුපියල් මිලියන 5 ක වන්දියක් හා එම දේපළ විද්‍යානුකූලව යළි පවරා දෙන තෙක් මසකට රුපියල් 30,000 බැගින් වූ දීමනාවක් මිත්තණියට ගෙවනා ලෙසටත් ප්‍රකට නාට්‍ය රංගන ශිල්පිනි රුචිනි රනාෂා නමැත්තියට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.

බාලවියේදී ආදරයෙන් රැකබලාගෙන ප්‍රාණ භුක්තිය තබාගෙන එම දේපළ පවරා දුන් මිත්තණියගේ එම පරිත්‍යාගශීලීභාවයට කෙලෙහිගුණ සැලකීම කෙසේ වෙතත් දුරකථන ඇමතුමක් ලබාදී හෝ ඇයගේ සුවදුක් විමසීමට හෝ විත්තිකාර රංගන ශිල්පිනිය උනන්දුවක් දක්වා නොමැති බව ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයි සිය තීන්දුව නිකුත් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරිය පෙන්වා දුන්නාය.

විත්තිකාර රංගන ශිල්පිනිය සිය අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙන විටදී අධිකරණයට ලබාදිය යුතු නිසි ගෞරවය ලබා නොදුන් බව නිරීක්‍ෂණය කළ බව ද තීන්දුව නිකුත් කරමින් පැවසූ ප්‍රධාන දිසා විනිසුරුවරිය ඇගේ මිත්තණියට ගුණමකුව ඇය සලකා ඇති බව පැමිණිල්ල විසින් මනාව අධිකරණය හමුවේ ඔප්පු කොට ඇතැයි ද එම තීන්දුව මගින් වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් පවරා තිබූ නඩුවක් කැඳවා තිබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් ඇගේ දරුවන් සමග ජීවත්වූ පැමිණිලිකාරිය පවුලේ කුළුඳුල් මිනිබිරිය වන විත්තිකාර රංගන ශිල්පිනියට 2010 වසරේදී අදාළ දේපළ පවරා දී ඇති බව අධිකරණයට පැවසීය. එතෙක් මිත්තණියට ඉතා ආදරයෙන් සලකා තිබූ විත්තිකාරියට ඔප්පුව ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහලය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බව පවසා මිත්තණිය නිවසින් පිටත්කර ඇති බවත් ඉන්පසු ඇය පිළිබඳව කිසිදු සොයාබැලීමක් සිදුකර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවසීය.

නීතිඥ එස්. ජයගත් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නෙරංජන් ද සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment