සියලු සමීක්ෂණ වාර්තාවල මාලිමාව උඩින්: – මහජන මතය සමග සෙල්ලම් කිරීමට කිසිවකුට ඉඩදෙන්නේ නැහැ

425

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සියල්ල ව්‍යවස්ථානුකූලවම පරාජය කරනවා
අනුර කුමාර දිසානායක මොනරාගලදී කියයි

ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සියලු දෙනා රනිල්ගේ දුෂ්ට වුවමනාව පරාජය කිරීමට පෙළගැසිය යුතුයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මොනරාගල පැවති ජාතික ජන බලවේගය ජන රැලිය අමතමින් ඒ මහතා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඒමහතා මෙසේද කීය. ජනමත විචාරණයට පෙර ජනාධිපතිවරණයක් තිබුණා. ඒ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපි තරග වැදුණා. අපි ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. අනතුරුව මහා මැතිවරණය ආවා නම්, ඒ මහා මැතිවරණයටත් ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනවා. එහෙම තරග වැදුණා නම් ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් 1983 මහා මැතිවරණයේ ප්‍රතිඵල මත පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එහෙම වුණා නම් 88 – 89ක් නිර්මාණය වන්නේ නැහැ. අදත් අපි අතර ජීවත්විය යුතු බොහෝ අය ජීවත් වෙනවා. අපේ සොයුරන්, ඥාතීන් බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. ඒකේ ප්‍රතිවිපාක මොකක්ද? මේ රටට ආදරය කරන, ජනතාවට අසීමිත ලෙස ප්‍රේම කළ දස දහස් ගණනක් බිලි අරගෙන තමයි ජේ.ආර්. ජයවර්ධනගේ කුරිරු පිපාසය නිම වුණේ.

දැන් නැවතත් ජේ.ආර්.ගේ බෑනා රනිල් වික්‍රමසිංහ ඒ මාර්ගය අනුගමනය කරමින් ඉන්නවා. ලංකා දේශපාලනයේ කුරිරු කළු දින ගොඩක් තිබෙනවා. 83 සංවර්ධන සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයේ කළු දිනයක්. යාපනයට ගිහින් යාපනයේ පුස්තකාලය ගිනි තියලා, යාපන සංවර්ධන සභා දිනන්න ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ගාමිණී ලොකුගේ, ගාමිණී ජයසූරියලා එදා කටයුතු කළා. ඒක මැතිවරණ ඉතිහාසයේ කළු දිනයක්. ඒ වගේම ජනමත විචාරණය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කළු දිනයක්. ජනාධිපතිවරණය කළු දිනයක්. හැබැයි ඒ සෑම දිනයකම මොකක් හෝ ඡන්දයක් තිබ්බා. අද ඡන්දයක් නොතියාම ඡන්ද කල්දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඉන්නවා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අය, සුරක්ෂිත, සාමකාමී අනාගතයක් අපේක්ෂා කරන අය, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අවම හෝ විශ්වාසයක් ඇති අය රනිල් වික්‍රමසිංහගේ මේ කුරිරු වුවමනාව පරාජයට පත්කිරීම සඳහා බලමුළු ගැන්විය යුතුයි.

පාර්ලිමේන්තුවේ වංචනික හා අපරාධකරුවන් රැලක් ඉන්නවා. ඒ දූෂිතයන්ට විරුද්ධව ජනතාව නැගිට්ටා. ඔවුන්ව පළවා හැරියා. ඒක ලංකා ඉතිහාසයේ ඉතා ශ්‍රේෂ්ඨතම නැගිටීමක්. ජනතාවට අපරාධ කරපු, ජනතාවගේ ධනය හොරකම් කරපු, ජනතාව ගැන සැලකිල්ලට නොගෙන ජනතාව විනාශ කරන තීන්දු තීරණ ගත්ත අය රටේ ජනතාව එකතු වෙලා පළවා හැරියා.

ජනතාවගෙන් නැගෙමින් තිබුණු කෝපයට, විරෝධයට ආරක්ෂකයා හැටියට ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තා. රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ආරක්ෂකයා නොවෙයි. රනිල් වික්‍රමසිංහ, මහින්දගේ, ගෝඨාභයගේ, බැසිල්ගේ ආරක්ෂකයා. රනිල් වික්‍රමසිංහ, ජනතාවගේ දුක, වේදනාව ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූ නායකයෙක් නොවෙයි. ජනතාව ගෝඨාභය පළවා හැරියා. රනිල් වික්‍රමසිංහව පුටුවේ වාඩිකර ගත්තා. ගෝඨාභය, රට රටවල ගිහින් ආපහු ආවා. කොළඹින්

ගෙයක් දුන්නා. වාහන ආණ්ඩුවෙන්, ආරක්ෂාව, ලයිට් බිල, වතුර බිල ආණ්ඩුවෙන්, රනිල් වික්‍රමසිංහ ගෝඨාභයගේ ආරක්ෂකයා. ජනතාව ආරක්ෂා කරන්න ආ කෙනෙක් නොවෙයි. දැන් ජනතාවගේ ජන මතයට බයයි.

ඉතිහාසයේ මැතිවරණ කොමිසම මැතිවරණ දිනය ප්‍රකාශ කළාම සැකයක් තිබුණේ නැහැ. දැන් ඡන්දෙ තියයිද නැද්ද කියා දෙගිඩියාවෙන් ඉන්නවා. මේ මාර්තු මාසෙ 09 වැනිදා කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවෙන විශේෂිතම හැරවුම් දිනය. අපි ජනතාව අමතලා තියෙනවා, ඒත් මේ තරම් ජනතාවගේ කැමැත්තක්, ආශ්වාදයක්, නැගිටීමක්, අපේක්ෂාවක් අපි දැක්කේ නැහැ. මේ ජනතාව කියන්නේ මොකක්ද?. පැරණි දේශපාලනයෙන්, වංචනිකයන්, දූෂිතයන් කළ පාලනයෙන්, මිදෙන්න තිබෙන සූදානම. සියලු සමීක්ෂණ වාර්තාවල තිබෙන්නේ මාලිමාව උඩින්.

ඊයේ ජනාධිපති මුද්‍රණාලාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නැවැත්වුවා. භාණ්ඩාගාරයේ ලේකම්, සිරිවර්ධන කැඳෙව්වා. සල්ලි දෙන්න එපා කීවා. මේ වේදිකාවේ සිට මුද්‍රණාලාධිපතිනියට, භාණ්ඩාගාරයේ ලේකම්ට අපි කියන්නේ තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව හිතාමතා ඡන්දෙ වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු තුනක් හිරේ. කවුරු මේ නඩු ඇහුවේ නැතත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ නඩු අහනවා. මේ අය කළ යුත්තේ ජනාධිපතිගේ කාර්යයන් නොවෙයි; ජනතාවගේ වගකීම්. මුද්‍රණාලයාධිපතිනියට, මහ බැංකුවේ ලේකම්ට පඩි ගෙවන්නේ, ගෙවල් දෙන්නේ මහජන මුදලින්. එහෙනම් මහජනයාගේ කාර්යයන් කරන්න ඕනෑ. සල්ලි නෑ. තියෙන සල්ලිවලින් ප්‍රමුඛතාවයට මුල් තැන දෙන්න ඕනෑ. ප්‍රමුඛතාවයක් තමයි පඩි ගෙවන එක, ඡන්දෙ තියෙන එක. මහජනයාගේ ජනමතය කියන්නේ ප්‍රමුඛතාවයක්. භාණ්ඩාගාරය හැමදාම හිස්. ඒක යන්නෙ බැංකු අයිරාවෙන්. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැතිව බැංකුව වියදම් කර තිබෙනවා. භාණ්ඩාගාරයේ ලේකම් ප්‍රමුඛතාවයට මුල් තැන දී කටයුතු නොකරන්නේ නම්, ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙක් බවට පත්කරන බව සහතික කරනවා. මහජන මතය සමග සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නැහැ. ව්‍යවස්ථානුකූල ලෙස, නීතිමය ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගන්නාවූ ක්‍රියාමාර්ග සියල්ලම පරාජය කරන්න ගතහැකි සෑම පියවරක්ම අපි ගන්න බවට සහතික වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment