තැපැල් ඡන්දයේ මුද්‍රණ වැඩ 75% ක් අවසන්

130

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද කටයුතුවලට අදාළව සිදුකරන මුද්‍රණ කටයුතුවලින් සියයට හැත්තෑපහක් පමණ වැඩ අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණ සේවකයන්ගේ සංගමයේ ලේකම් අසංක සඳරුවන් මහතා පැවසීය.

මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් මුද්‍රණාලයේ වෘත්තීය සමිති සහ මුද්‍රණාලයාධිපතිවරිය සමග ඊයේ (15 දා) සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී ඇය මුද්‍රණ කටයුතු සිදු නොකරන බවට ප්‍රකාශ කර නැති බව පැවසූ බවත් ඔහු කීය.

කෙසේ වෙතත් මුද්‍රණාලයාධිපතිනිය විසින් මුදල් ලබාදෙන තෙක් මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බවට මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇති බවත්, එසේ ලිපියක් යැව්වේ කුමන පදනමකින් ද යන්න ඇයගෙන් විමසීමක් කළ බවත් සඳරුවන් මහතා කීය.

එහිදී ද ඇය කියා සිටියේ රාජ්‍ය ආයතන සඳහා මුදල් ලැබෙන තෙක් ණයට වැඩ නොකරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත්, එම චක්‍රලේඛයට අනුව මුදල් ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බවත් යැයි ඒ මහතා කීය. එහිදී වෘත්තීය සමිති විසින් එම චක්‍රලේඛය මැතිවරණයට අදාළ නොවන බව ඇයට පෙන්වා දුන් බව ද සඳරුවන් මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment