අපි රාජ්‍ය පාලන ක්‍රමයේ සැබෑ පරිවර්තනයක් කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

74

විධිමත් සහ විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි බවත්, ඊට නායකත්වය දිය හැකි කණ්ඩායමක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රට මේ අගාධයෙන් ගොඩගත හැකි දැයි කවුරුන් හෝ අසන්නේ නම් ඊටත් නිශ්චිත පිළිතුර වන්නේ ‘ඔව් පුළුවන්’ යන්න බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ලක්ෂ 220 කගේ ඒකායන කැපවීමත් ඊට අවශ්‍ය බව පැවසීය.

ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ ‘THE BLUE PRINT’’ ආර්ථික සමුළුව ඊයේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ආර්ථික විශේෂඥයන් මෙන්ම ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්විය.

මෙහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම එළිදැක්වීමද සිදුවිය.

එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

“පාලකයන්ගේ අවධානය පමණක් නොව පුරවැසියන් ලක්ෂ 220ක් මේ කාරණාව අවබෝධ කර ගත යුතු යි. සත්‍ය වශයෙන්ම අපේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වුණොත් අපි විශ්වාස කරනවා සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න නිවැරැදි ආකාරයට විසඳන දිශානතියට යොමු වෙන එක සත්‍යයක් බවට පත් වෙනවා. එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා නිර්මාණය කළ යුතු නව ක්‍රමෝපායන්, නව යහපත් ආයතන පාරදෘෂ්‍යභාව ඔප්පු කරන ක්‍රියාදාමවලට අපි මුල්තැන ලබා දෙනවා.

ඒ වගේම යහපත් රාජ්‍ය පාලනයකට යොමු වෙනවා සේම මේ රටේ පිළිකාවක්ව පැවතෙන දුෂණය, වංචාව, හොරකම වැළැක්වීමේ දැවැන්ත ජාතික ව්‍යායාමයකට අපි රජයක් ලෙස යොමු වෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සිදුවන දූෂණ වංචා හොරකම් සම්පූර්ණයෙන්ම නැතිවූ ක්‍රමවේදයට යොමුවීමට. අලුත් නීති රීති අණපනත්, රාජ්‍ය පාලනයේ වෙනස්කම් ක්‍රියාත්මක කරන්න.

අපි අදහස් කරනවා අල්ලස දූෂණය වංචාව තුළින් රටට අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීම උදෙසා අලුත් අණ පනත්, ඒ වගේම කළමනාකරණ අධිකාරියක් ඇති කර අහිමි වූ සම්පත් රටට ලබා ගැනීමේ වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්න.

විශේෂයෙන්ම යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම තුළ මා විශ්වාස කරනවා මෙතෙක් ඉදිරිපත් වුණු ඒ සාධනීය ඒ වැදගත් ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණ ඒ දැක්ම අපිට වඩාත් හොඳින් ඵලදායී ආකාරයට රටේ ක්‍රියාත්මක කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙයි කියලා. ඒ නිසා අපි අනිත් අයට වඩා වෙනස්. ඒ නිසා අපි මෙය හුදෙක් දකින්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් ලෙස නොව රාජ්‍ය පාලන ක්‍රමයේ ව්‍යූහයේ ක්‍රමයේ පරිවර්තනාත්මක වෙනසක්.

ඒ වගේම මම කියන්න කැමතියි මේ බංකොලොත්භාවයෙන් රට ගොඩගන්න වැදගත් මොහොත කිසිම කෙනෙකුට අත්හදා බලන්න අවස්ථාවක් නොවේ. ඔබ අප සියලු දෙනාම දන්නවා 2019 අත්හදා බැලීමක් කළා. ඒ අත්හදා බැලීම තුළ අද අපේ රට ප්‍රජාතන්ත්‍ර ඉතිහාසයේ ප්‍රථම වතාව තුළ බංකොලොත් රටක් බවට පත්වෙලා.

දේශපාලන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශය සහමුළුන්ම ප්‍රතික්ෂෙප කරපු ධනවාදය තමයි රටක සම්පත් නිර්මාණය කිරීමට හොඳම ක්‍රමවේදයයැ සම්පූර්ණයෙන් ඉවත දැමූ හැම දේම සිදුවිය යුත්තේ සංවෘත ආර්ථිකයක් තුළ ආඥාදායක රාජ්‍යත්වයට මුල්තැන දුන් වැඩ පිළිවෙළක් තුළ සිටි අයට රටේ ලක්ෂ 220කගේ ජන ජීවිත එක්ක අත්හදා බැලීමට සෙල්ලම් කිරීමට අවස්ථාවක් නොවේ.

මේ වැඩපිළිවෙළ තුළ සුහුරු රටක් බිහි කරනවා. එය පෙර පාසලේ සිට ආරම්භ විය යුතු යි. ඒ සුහුරු රට තුළ සුහුරු පුරවැසියා නිර්මාණය කළ යුතු යි. ඒ සඳහා රටේ අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් සිදුවිය යුතු යි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුවේදය, ගණිතය, කළමනාකරණය, වෛද්‍ය, පාරිසරික විද්‍යාවට මුල්තැන දුන් වෙනසක් ඇති කළ යුතු යි. විෂය නිර්දේශවල ඒ වෙනස සිදු විය යුතු යි.

ජයග්‍රාහී පුද්ගලයා ඔක්කොම පොදිය පිටින් ලබා ගන්නා වැඩපිළිවෙළක අපි නැහැ. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා සුබසාධන රාජ්‍ය පිළිබඳ. ධනවාදී එංගලන්තයට පුළුවන් නම් නිදහස් අධ්‍යපනයක් සෞඛ්‍යයක් ක්‍රියාත්මක කළ හැකි නම් පුංචි අපේ රටටත් හැකි විය යුතු යි. එය නිවැරදි විය යුතුයි. පුදුම විදිහේ විප්ලවීය වෙනසක් ලොව තුළ ඇතිවන විට රටක් ලෙස අපි එකම මඩ වගුරක එබිලා එකම තැන පල් වෙවී ඉන්නවා. මේක වෙනස් විය යුතු යි.

ඒ වගේම මම විශ්වාස කරනවා මේ ආර්ථික කවුන්සිලය සමග බද්ධව කටයුතු කරන අපිට තිබෙනවා විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්ය, කථිකාචාර්යවරුන් 1100කට වැඩි ප්‍රමාණයක බුද්ධි මණ්ඩපයක්. ඔවුන්ගේ දායකත්වයත් අපිට ලැබෙනවා. ඒ වගේම ජාතික වෘත්තීයවේදීන්ගේ සභාවෙත් දහසකට වැඩි වෘත්තීයවේදීන් ප්‍රමාණයක් අපේ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති නිර්මාණය කරමින් රජය ආව දවසක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉන්නවා.

advertistmentadvertistment
advertistmentadvertistment