රුධිරයේ ග්ලූකෝස් පාලනයට ආහාර ගතයුතු අයුරු

4694

දියවැඩියාව රෝගයේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගැනීම සඳහා අප දිනපතා ගනු ලබන ආහාර පාන පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය. එහිදී දිනපතා අප ගනු ලබන ආහාර පාන වල ඇති සාර්ව පෝෂක (Macronutrද්‍යents) පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

එම සාර්ව පෝෂක අතර ප්‍රධානතම පෝෂණ සංඝටක වනුයේ පිෂ්ඨය, මේදය සහ ප්‍රේටීනය. මෙම ප්‍රධාන පෝෂණ සංඝටක අපට දිනපතා අත්‍යවශය. එනිසා අප මෙම පෝෂණ සංඝටක සහිත ආහාර විවිධ වර්ග වලින් නොයෙකුත් ප්‍රමාණයන්ගෙන් දිනපතා ප්‍රධාන ආහාර වේල්තුන සඳහා යොදා ගනු ලබයි. දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් මෙම ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැන දැනුවත්වී තිබීම වැදගත්ය.

● පිෂ්ඨය

පිෂ්ඨය හෙවත් කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේදී ශරීරයට කෙළින්ම ලැබෙන්නේ ග්ලූකෝස් ලෙසය. සරලම කාබෝහයිඩ්‍රේට් ආහාර වනුයේ සීනිය. එය කෙළින්ම ශරීරයට ග්ලූකෝස් ලෙස ජීර්ණය වේ. ඊට අමතරව සංකීර්ණ පිෂ්ඨ වර්ග ඇත. එනම් තන්තු සමග මිශ්‍රව පවතින පිෂ්ඨ වර්ගය. මෙම පිෂ්ඨ වර්ග කෙළින්ම ග්ලූකෝස් ලෙස ශරීරයට ජීර්ණය වන්නේ නැත.

සංකීර්ණ පිෂ්ඨය සහිත ආහාර වර්ග ලෙස නාඩු සහල්, තම්බපු සහල්, බාස්මතී සහල්, ආටා පිටි, කුරක්කන් ආදිය හැඳින්විය හැකිය.

මෙවැනි ආහාර ගත් විගස රුධිරයේ සීනි මට්ටම වැඩිවන්නේ නැත. එබැවින් මෙවැනි ආහාර භාවිතයට වැඩි අවධානයක් යොමුකළ යුතුය.

එසේම මෙවැනි ආහාර සමග කොළ පැහැති ආහාර වර්ග, මස්, මාළු, බිත්තර ආදිය ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරට එක්වන පිෂ්ඨ ප්‍රමාණය අවම කරගත හැකිය.

සංකීර්ණ පිෂ්ඨය සහිත ආහාර වර්ග ගැනීමේදී ද නිසි ප්‍රමාණයකට ගත යුතුයි. බොහෝ දෙනා මෙවැනි ආහාර මගින් සිරුරට එක්වන පිෂ්ඨය ප්‍රමාණය අවම යැයි සිතමින් එවැනි ආහාර වැඩිපුර ගනු ලබයි. එය හොඳ නැත.

ශරීරය අධික ලෙස වෙහෙස කරවන්නේ නැති පුද්ගලයන් බත් ආහාරයට ගන්නා විට තේ කෝප්පයක ප්‍රමාණයෙන් එකක් හෝ එකහමාරක් පමණ ගත යුතුය. ඉඳිආප්ප ආදියද පහක් පමණ ප්‍රමාණයක් ගත යුතුය.

කුරක්කන් පිට්ටු වල ඇති කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩිය. එනිසා ආහාර වේලකට අඟල් තුනහමාරක පමණ පිට්ටු කෑල්ලක් ගතයුතුය. ආප්ප ආහාරයට ගන්නා විට බිත්තර ආප්පයක් සහ සාමාන්‍ය ආප්ප දෙකක් පමණ ප්‍රමාණවත්ය. තෝසේද දෙකක් පමණ ගත හැකිය.

එසේම මෙවැනි ආහාර වර්ග ගන්නා විට ඊට පරිප්පු, සීනි සම්බෝල, කෙසෙල්, පැණි ආදිය එක් කරගැනීම වෙනුවට මාළු, මස් වැනි ප්‍රෝටීන සහිත ආහාරයක් සමග ගැනීම කළ යුතුය.

● ප්‍රෝටීන

දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රෝටීන සහිත ආහාර වැඩිපුර ගත යුතුය. එමගින් මස් පිඬු වර්ධනය වැඩිවේ. ග්ලූකෝස් පාලනය සඳහා මස් පිඬු හොඳින් වර්ධනය වී තිබිය යුතුය. එබැවින් මාළු වර්ග, බිත්තර ආදිය ආහාරයට ගතයුතුය. එහිදී දිනකට එක් බිත්තරයක් ආහාරයට ගත හැකිය. මාළු සහ කුකුල් මස් හි ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළය.

● මේදය

මේදය ආහාරයට ගැනීමේදී අධික ලෙස ගතහොත් සිරුර මහත් වේ. එය සිරුරේ ග්ලූකෝස් පාලනයට ප්‍රතිරෝධයක් දක්වයි. එනිසා මේදය භාවිතය පාලනය කළ යුතුය. චීස්, බටර් ආදිය වැඩිපුර ආහාරයට නොගත යුතුය. පොල්තෙල්, ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල් ආදිය මධ්‍යස්ථව ආහාරයට එක්කරගත යුතුය.

● ශුද්‍ර පෝෂක

ප්‍රධාන පෝෂක වර්ග වලට අමතරව යකඩ, කැල්සියම්, විටමින් ආදී සිරුරට අවම වශයෙන් අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය ද නිසිලෙස සිරුරට ලැබීම ග්ලූකෝස් පාලනය සඳහා වැදගත්ය. විශේෂයෙන්ම විටමින් වර්ග මගින් සිරුරේ අත්‍යවශ්‍ය හෝමෝන වර්ධනය සිදුකරයි. එබැවින් විටමින් ඊ, ඩී, සී ආදිය වැඩිපුර ඇති ආහාර වර්ග ගත යුතුය. කොළ පැහැති ආහාර, දෙහි වර්ග, නෙල්ලි, ඇබරැල්ලා වැනි පළතුරු වර්ග වැඩිපුර ආහාරයට ගත හැකිය. කහ පැහැති සහ පැණි රස පළතුරු වල සීනි බහුලය. එවැනි පළතුරු වර්ග ගන්නා විට පිෂ්ඨය සහිත ආහාර අඩුවෙන් ගතයුතුය.

කිරි වර්ග පානය කරන විට සීනි රහිතව පානය කළ යුතුය.

නිතරම සමබල ආහාර වේලක් ගැනීමට යොමු වීමෙන් රුධිරයට එක්වන සීනි ප්‍රමාණය පාලනය කරගත හැකිය.

රුධිරයේ ග්ලූකෝස් පාලනයට ආහාර ගතයුතු අයුරු

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය විද්‍යාජෝති
ප්‍රසාද් කටුලන්ද
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment