කසළ රාජ්‍යය

613

සිරිපා සමය ඇරඹී තුන් මාසයක් ගතවූ තැන සමනළ කඳු තරණ භූමිය දෙපස එකතුවී තිබෙන නොදිරන කසළ ප්‍රමාණය ටොන් 8 ක් බව දැනගන්නට තිබේ. සිරිපා සමය අවසන් වෙද්දී මේ ප්‍රමාණය අඩුම ගණනේ ටොන් 20 ක් හෙවත් කිලෝ 20000 ක් නොහොත් රාත්තල් 40000 ඉක්මනවා ඇත. රටේ මෙපමණ ප්‍රශ්න තිබියදී සමනළ කන්ද දෙපස තිබෙන කසළ ගැන කතා කරන්නට අප කල්පනා කළේ මන්දැයි පාඨකයා සිතනු ඇති. මේ රටේ තිබෙන ප්‍රමුඛ ප්‍රශ්නය කුමක්ද ? ජීවන වියදම වැඩි වීමද? රෝහල්වල බෙහෙත් හිඟයක් තිබීමද? ලයිට් බිල ඉහළ නැගීමද? පුද්ගල බදු ඉහළ නැංවීමද? නැත. මේ රටේ දැනට තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්නය වන්නේ පළාත් පාලන ඡන්දය කල් යෑමය. ඡන්දය තිබ්බොත් බඩට කෑම නොවැටේ. හැබැයි ප්‍රජතන්ත්‍රවාදය ආරක්ෂා වේ. ඡන්දය නොතිබ්බත්, ප්‍රජාතන්ත්‍රවාදයට අමුතු හෙනයක් ගහන්නේ නැත. මෙයට හේතුව පළාත් පාලන ඡන්දයකින් ආණ්ඩු බලය වෙනස් කිරීමට බැරි වීමය. හැබැයි පළාත් පාලන ඡන්දයට රුපියල් බිලියන 10 ක් වැයවන අතර එම වැය කිරීමෙන් ආර්ථිකයට සිදුවන හානිය වඩාත් දරුණුය.

මේ ප්‍රශ්න කොපමණ සාකච්ඡා කළත් වැඩක් නැත. ජ.වි.පෙ. ඡන්දයම ඉල්ලා සිටී. සමගි ජනබලවේගයද යම් ප්‍රමාණයකට ඡන්දය ඉල්ලා සිටී. ඒත් සාමාන්‍ය ජනතාව පළාත් පාලන ඡන්දය කෙරෙහි දක්වන්නේ උකටලී ප්‍රතිපත්තියකි. එනිසා නෝනාවරුනි මහත්වරුනි, ඡන්ද ප්‍රශ්න ගැන කතා කිරීමට වඩා ලංකාවේ කසළ ප්‍රශ්නය ගැන කතා කිරීම වඩා උචිතය. ශ්‍රී පාදස්ථානය බලා යන සමනොළ කඳු මග දෙපස වැඩි වශයෙන්ම ඇත්තේ ප්ලාස්ටික් කසළය. එනම් වතුර බෝතල් ය; පොලිතීන් ආහාර දවටනය; බියර් කෑන් ය. මේ ජාති තුනෙන් පළවෙනි දෙක කිසිසේත්ම දිරන්නේ නැත. බියර් කෑන් හෝ අරක්කු බෝතල් ගෙනයෑම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. එසේම අපහාසයකි. දළදා මාලිගාවට අපහාස කළ සේපාල් අමරසිංහ රිමාන්ඩ් කළා නම් ශ්‍රී පාදස්ථානයට යන පාර දිගේ බියර් සහ අරක්කු බිබී යන උන් රිමාන්ඩ් කළ යුතුමය.

ශ්‍රී ලංකාවේ දෛනික කසළ නිෂ්පාදනය ටොන් 7000 කි. මෙයින් 66% ක්ම ඉවතලන ආහාර වලින් සමන්විතය. එනම් ශ්‍රී ලංකාවේ දෛනික කසළ වලින් ටොන් 3963 ක්ම ආහාර ය. ආහාර ටොන් එකකින් සාමාන්‍යයෙන් මිනිසුන් 3500 ට කෑම වේල බැගින් ලබා දිය හැකිය. එසේනම් ආහාර නම් ආහාර ටොන් 3963 න් කී දෙනකුගේ කුසවල් පිරවිය හැකිද යන ප්‍රශ්නය අපි ඔබ වෙත යොමු කරමු. ශ්‍රී ලංකාව දිනකට කසළ ටොන් 7000 ක් මුදාහරින්නේ නම් එහි මාසික අගය ටොන් දෙලක්ෂ දහදහස ඉක්මවයි. ඒ කසළ තුළ තිබෙන ආහාර සංයුතිය ටොන් එක්ලක්ෂ විසිදහස ඉක්මවයි. මේ රටේ දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙති. මෑතකාලීනව කරන ලද සමීක්ෂණ ගණනාවකින් පෙනී ගියේ මේ රටේ දරුවන් සෑහෙන ප්‍රමාණයක් උදේ ආහාර වේල හෝ දිවා ආහාර වේල යන දෙකෙන් එකක් නොගන්න බවය. එසේම එක වේලක් කා ජීවත්වන ජනතාවක් මේ රටේ සිටින බව දේශපාලනඥයෝ කියති. මාසයකට ආහාර ටොන් එක්ලක්ෂ විසි දහසක් අපතේ යන රටක එවැන්නක් සිදුවීමට බැරිය. එහෙත් ඇත්තටම එවැන්නක් සිදුවී තිබේ. එසේ නම් අප තේරුම්ගත යුත්තේ ආහාර කළමනාකරණය සම්බන්ධයෙන් බලවත් දෝෂයක් මේ රටේ තිබෙන බවය. පහළ මධ්‍යම පන්තියේ ගෘහණියගේ සිට ධනපති පන්තියේ නෝනා හාමු දක්වා සියලුම අය එයට වගකිව යුතුය. දිරායන කසළ හෙවත් පිසූ ආහාර කොටස් සහ ඉවතලන අමු එළවළු කොටස්වලින් බයෝ ගෑස් සහ කාබනික පොහොර නිපදවීමට පුළුවන. එහෙත් මේ රටේ ජීවත්වන සාම්ප්‍රදායික මව්වරු ස්වකීය ගෙවත්ත තුළ කොම්පෝස්ට් පොහොර නිපදවන කසළ බඳුනක් හෝ බයෝ ගෑස් නිපදවන ටැංකියක් තබා ගැනීමට අකැමැත්තාහ. බයෝ ගෑස් වලින් ආහාර පිසීමට පුළුවන.

ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ විශාල ප්‍රමාණයක සිමෙන්තියෙන් සාදන ලද බයෝ ගෑස් ගබඩා තිබේ. මේවාට දමන දිරායන කසළ වලින් බයෝ ගෑස් නිපදවා ආහාර පිසීමට යොදාගත හැකි අතර ඉතිරිවන කාබනික පොහොර මගින් ගෙවතු වගාව සිදුකළ හැකිය. ශ්‍රී ලංකාව යනු වෙනස් කිරීමට ඉතාම අපහසු චින්තනයක් ඇති රටකි. ඉවතලන ආහාරමය කසළ වලින් කසිප්පු පෙරීමට හැකි නම් ඒවා එකතු කිරීමට සියලුම දෙනා කැමති වනු ඇත. එමගින් ගෑස් හැදිය හැකි නම් ඒ අදහස පැත්තකට දමා පෝලිමේ සිට හෝ ගෑස් ටැංකියක් ගෙන එය ඔළුව උඩ තබාගෙන ගෙදර ගෙන ඒමට ජනයා කැමැත්තාහ. මෙයට අවුරුදු පනහකට පමණ පෙර ශ්‍රී ලංකාව යනු අපිරිසිදු රටකි. සොටු සහ නාවර පෙරාගත් දරුවන් හෙලුවැල්ලෙන් දුවන, drainage line සහිත වැසිකිළි වෙනුවට වළ කක්කුස්සි හෝ බාල්දි කක්කුස්සි පාවිච්චි කරන ජනතාවක් එකල සිටියහ. මේ නිසා ඉතා පහසුවෙන් ලෙඩ බෝ වුණේය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී ශ්‍රී ලංකාව පුරාම කොළරාව පැතිරිණ. මැලේරියාව යනු එදිනෙදා ජීවිතය හා සම්බන්ධ නිත්‍ය රෝගයක්ව තිබිණ. එහෙත් අද වනවිට ඒ අපිරිසිදු රාජ්‍යය පිරිසිදු රාජ්‍යයක් බවට පත්ව තිබේ. එසේම එය කසළ රාජ්‍යයක් බවටත් පත්ව තිබේ. රට කොතරම් පිරිසිදු වුවද මිනිසුන්ගේ සිතුම් පැතුම් පිරිසිදු නැත. ඒ නිසා මේ රට තවදුරටත් කසළ රාජ්‍යයක් ලෙසම පවතිනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment