ණය උගුලෙන් ගොඩවෙන්න ණය හිමියෝ සහන දෙයිද…?

403

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාව මේ මොහොතේ බැටකන අවස්ථාවක ඉන් ගොඩවීමට හැකි මාර්ගයක් ලෙසට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය මේ දිනවල බොහෝ දෙනාගේ අවධාරණයට ලක්ව ඇත. ශ්‍රී ලංකාව පළමු වරට විදේශ ණය පැහැර හැරීම සිදු කළේ පසුගිය වසරේ මැයි මාසයේදීය. චීනය, ජපානය සහ ඉන්දියාව මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන අතර චීනයේ එක්සිම් බැංකුව මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමිකරුවා වන චීනය ඩොලර් බිලියන 7.4ක ණයක් ලංකාවට ලබා දී තිබේ. ඉන් ඩොලර් බිලියන 4කට වඩා ප්‍රමාණයක ණය ලබා ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සිම් බැංකුව විසිනි. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවීය.

● ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම තීරණය

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළකර තිබුණි. දිගින් දිගටම ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත. ඉන් පැහැදිලි වන්නේ චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව යහපත් ප්‍රතිචාරයක් එන තුරු බලා සිටීම නිෂ්ඵල කාර්යයක් බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය ණය සහතිකය තවමත් ලබාදී නොමැති බවද එම අරමුදල උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකා බලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශ්ව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබාදී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

● චීන ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක්

චීනයේ අපනයන-ආනයන බැංකුව හෙවත් චීන එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබාදෙන බවට ලිපියකින් දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා බලධාරීන් පවසා සිටියේ චීනයේ එම ණය සම්බන්ධයෙන් සහන කාලය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් සපුරාලීමක් නොවන බවයි. එනම් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ හැකි ලිඛිත සහතිකයක් නොවන බව පැහැදිලිය.

කෙසේවෙතත්, චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක අනුගමනය නොකරන්නේ දැයි පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී විමසූ විට, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ චීනයේ මූල්‍ය ආයතන උපදේශන පවත්වමින් ශ්‍රී ලංකාවේ දුෂ්කරතා ලිහිල් කිරීමට කටයුතු කිරීමට සූදානම් බවයි. පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මාර්තු මාසය වන විට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවර වෙමින් පවතින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට දේශපාලන ස්ථාවරත්වයක් රටට අවශ්‍ය බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීම සිදු කළ අතර ඉන්පසුව සහන ණය පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් වූ පළමු රට බවට ඉන්දියාව පත් වෙයි. අර්බුදකාරී තත්ත්වයක පසුවන තම අසල්වැසි රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජනවාරි මස 23 දා නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවා ඇති බවට හින්දු පුවත්පත වාර්තා කරන ලදී. පසුගිය ජනවාරි මස 19 දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තම සහයෝගීතාවය පලකිරීම මෙම සංචාරයේ මූලිකම අරමුණ බව ජයශංකර් මහතා පවසා සිටියේය. අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තයේ මූලධර්මය මත පිහිටා ඉන්දියාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර වශයෙන් ඉන්දියාව පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ණය මූල්‍ය පහසුකම් සපයා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම් එයට ණය ලබා දී ඇති රාජ්‍යන් ඉතා කඩිනමින් සැපයීමට ක්‍රියා කළ යුතු බව ඉන්දියාවේ ස්ථාවරය බව ජයශංකර් මහතා පවසා සිටියේය. ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව දැනට කරගෙන යන සාකච්ඡාවලට අදාළව ජපානය සාමාජිකත්වය දරන පැරිස් සමාජය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර මේ වන විට පලකර ඇත. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති නිර්නායකයන් සහ ඉලක්ක අනුගමනය කිරීමට චීනය කැමැත්තක් නොදක්වන බව මේ වන විට මනාව හෙළිදරව් වී ඇත. 2022 ජූනි මස අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ වාණිජ ණය සඳහා ඩොලර් බිලියන 40 කට ආසන්න මුදලක් ණය වී ඇති අතර ඉන් ප්‍රධාන පාර්ශ්වකරුවකු වන්නේ චීනයයි.

● චීනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම්

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ චීනයේ හැසිරීම චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක දී ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන බවයි.

සැම්බියාව 2020 නොවැම්බරයේ ණය පැහැර හරින ලද අතර 2021 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු කරන ලදි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට අනුමැතිය ලබා දුන්නේ මෑතකදී සමස්ත ණය ප්‍රමාණයෙන් කොටසක් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟතාව පළකිරීමත් සමඟ ය. චීනය ඉතියෝපියාව සහ සැම්බියාව වෙත ණය ලබා දීමට සම්බන්ධ විය. එම රටවල් ද පසුගිය වසර දෙක තුළ ස්වෛරී ණය ගෙවීම පැහැර හරින ලදී.

ශ්‍රී ලංකාවේ මුළු ජාත්‍යන්තර ණයවලින් 10% ක් පමණ ලබා ගෙන ඇත්තෙ චීනය මගිනි. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් පමණ වේ. ජපානය ඩොලර් බිලියන 2.7 ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ක් ණය ලබා දී ඇත. ශ්‍රී ලංකා රජයේ වාර්තා අනුව ජූනි මස අවසානයේදී රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 46.6 ක් හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණයවලින් සියයට 10 ක් පමණ චීනයෙන් ලබා ගෙන ඇත. එය මුළු ණය ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිශතයක් ලෙසට පෙන්නුම් කළත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ අනුමැතිය තීරණාත්මක විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා චීනයේ යහපත් ප්‍රතිචාර නොලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම කල් යෑමට එක් හේතුවක් වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment