අයවැයට පෙර සියලු පාර්ලිමේන්තු කමිටු පත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

106

අයවැයට පෙර මෙතෙක් පත්කර නොමැති සියලුම පාර්ලිමේන්තු කමිටු පත්කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට ඊයේ (02 දා) උපදෙස් දී ඇත.

ඒ අනුව මෙතෙක් පත්කර නොමැති සියලුම කමිටු කඩිනමින් පිහිටුවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊයේ (02 දා) සිට ම අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා ද හැකි ඉක්මනින් පිහිටුවන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු පත්කර ඇතත් මෙතෙක් පත්කර නැත්තේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 ය. ඒ කමිටු සඳහා මන්ත්‍රී නාමලේඛන ඉදිරිපත් කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතත් මෙතෙක් නාම යෝජනා කිසිවෙක් ඉදිරිපත් කර නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යාංශීය උපදේශක කාරක සභා 29ක් ඉකුත් සතියේ පත්කර අවසන් කළ බව ද එම ආරංචි මාර්ග පැවසීය. මේ අතර පාර්ලිමේන්තුවේ තවත් මුදල් කමිටු 03 ක් අලුතින් පිහිටුවීමට තීරණය කර ඇත. එම කමිටු පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment