මහ බැංකුවේ උස්සපු වැටුප් මැතිසබේ අවුලුවයි

327

ඝෝෂා මැද ජනපතිත් ඉදිරියේ අගමැති පිළිතුරු දෙයි
පහළම සේවකයාගේ වැටුප රු. 188,824ට නැගලා
හර්ෂගේ කමිටුව ගැන සෑහීමකට පත් වෙනවා නම් මෙතන නටන්න එපා
ජනාධිපති

රටේම විරෝධයට ලක්වී ඇති මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම අනුව එහි පහළම සේවකයකු වන කාර්ය සහායක පන්තියේ 01 සේවකයකුගේ මූලික වැටුප 30,235 සිට රුපියල් එක්ලක්ෂ අසූ අටදහස් අටසිය විසිහතයි ශත තිස්තුන දක්වා සියයට 29.53කින් (දළ වැටුප) වැඩිවී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) සඳහන් කළේය.

අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම යටතේ විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට සවිස්තර පිළිතුරු සපයමින් අගමැති මේ බව කී අතර මෙම පඩි වැඩිකරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පක්ෂ විපක්ෂ අතර දැඩි උණුසුම් වාද – විවාදයක් ඇති විය. මෙම විවාදයට එම අවස්ථාවේ සභාවේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදහස් පළ කළේය.

එම වැඩිකර ගැනීම් අනුව මහ බැංකු කාර්ය සහායක පන්තිය 02 සේවකයකුගේ මූලික වැටුප රුපියල් 40,800 සිට දෙලක්ෂ තුන්දහසක් හත්සිය දක්වා සියයට 32.38කින් වැඩි වී ඇත. කාර්ය සහායක පන්තිය 03 සේවකයකුගේ වැටුප රුපියල් 49,495 සිට දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැට තුන දක්වා සියයට 35.92කින් වැඩි වී ඇත.

කළමනාකාර සහායක පන්තිය 01 සේවකයකුගේ වැටුප 57,035 සිට රුපියල් දෙලක්ෂ හතළිස් එක් දහස් හයසිය විසිතුන දක්වා සියයට 38.9කින් වැඩිකර ගෙන තිබේ. එම පන්තියේ 02 සේවකයකුගේ වැටුප 66,535 සිට දෙලක්ෂ හැටදෙදහස් නවසිය අනූදෙක දක්වා සියයට 41.62කින් වැඩිකර ගෙන ඇත. එම පන්තිය 03 සේවක වැටුප රුපියල් 82,040ක්වූ පෙර වැටුප දෙලක්ෂ අනූඅට දහස් තුන්සිය පනස් නවය දක්වා සියයට 45.64කින් වැඩිකර ගෙන තිබේ. එම පන්තිය 04 සේවක වැටුප රුපියල් 101,280 සිට තුන් ලක්ෂ හතළිස් හත්දහස් අටසිය විස්ස දක්වා සියයට 49.78 කින්ද එම පන්තිය 05 සේවක වැටුප 129,155 සිට හාරලක්ෂ විසි එක්දහස් එකසිය අසූ හතර දක්වා සියයට 54.39කින් වැඩිකර ගෙන ඇත.

ඊට අමතරව මාණ්ඩලික පන්තිය 01 වැටුප 169,515 සිට පන් ලක්ෂ විසිහය දහස් හයසිය හතළිස් අට දක්වා සියයට 58.83කින් වැඩි කරගෙන ඇත. එම පන්තිය 02 වැටුප 204,155 සිට හය ලක්ෂ දහනව දහස් හත්සිය හැටඅට දක්වා සියයට 62.24 කින්ද එම පන්තිය 03 (1) වැටුප 256,935 සිට හත්ලක්ෂ හැටපන්දහස් තුන දක්වා සියයට 66.72 දක්වා වැඩිකර ගෙන ඇත. එම පන්තිය 03(2) 302,510 සිට අට ලක්ෂ අනූතුන් දහස් හත්සිය පහ දක්වා සියයට 70.16 වැඩිකර ගෙන ඇත.

මාණ්ඩලික පන්තිය 04 රුපියල් 358,150 සිට දසලක්ෂ හතළිස් නව දහස් හාරසිය තිහ දක්වා සියයට 73.11ක් දක්වා වැඩිකර ගෙන තිබේ. මාණ්ඩලික පන්තිය විශේෂ ශ්‍රේණිය (සහකාර අධිපති) රුපියල් 434,075 සිට දොළොස් ලක්ෂ හැටහත්දහස් එකසිය හැත්තෑව දක්වා සියයට 76.79ක් දක්වාද මාණ්ඩලික පන්තිය (නියෝජ්‍ය අධිපති) රුපියල් 584,775 සිට රුපියල් දාහත් ලක්ෂ විසි අට දහස් හාරසිය දහනවය දක්වා සියයට 76.97ක් දක්වා වැඩිකර ගෙන ඇත.

2024 වසරට අදාළව සාමුහික ගිවිසුම යටතේ මෙම වැඩි කිරීම් වසර 03කට පසුව සිදුකර ඇති අතර 2022 වසරේ සිට අත්විඳීමට සිදුවූ මූල්‍යමය අපහසුතාවය මත ශ්‍රී ලංකා මහ බැංකුවට ඉටුකළ යුතු කාර්ය ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ද අගමැති එහිදී කීය. ඒ අනුව මනා පුහුණුවක් සහිත සේවකයින් සේවාවේ තවදුරටත් රඳවා ගැනීමේ අරමුණෙන් මහ බැංකුව මෙම වැටුප් වැඩිකර ගැනීම සිදුකර ඇති බවද සඳහන් කළේය.

මහ බැංකු සේවකයන්ට වෙනත් රැකියාවන්හි හෝ ව්‍යාපාර කටයුතුවල යෙදීම තහනම් වන අතර ළබැඳියාවන්ගේ ගැටුම් වැළැක්වීම සඳහා වෙනත් මූල්‍ය ආයතනවල ආයෝජනය කිරීම ද තහනම් බවද අගමැති කීය.

මෙහිදී මතුවූ සංවාදය මෙසේය

එස්. එම්. මරික්කාර් මහතා – මේ වැඩිකිරීම හරියට රාජපක්ෂලා යුද්ධෙ දිනලා රට හූරන් කෑවා වගේ වැඩක්. 2018-20 කාලේ සියයට 18කින් වැඩි කරලා තිබෙනවා. දැන් මේ වැඩි කිරීම සියයට 70කින් කරගෙන. පේ ටැක්ස් එකත් අල්ලගෙනම තමයි මේ වැඩිකර ගැනීම කර තිබෙන්නේ.

ජනාධිපති – ඊයේ මහ බැංතු නිලධාරීන් මුදල් කොමිටියේ හර්ෂලාව මුණ ගැහුණා. ඒ ගැන හර්ෂ වාර්තාවක් අපිට දෙනවාද?

හර්ෂ ද සිල්වා මහතා – ඔව් වාර්තාවක් දෙනවා.

ජනාධිපති- මෙතුමාගේ කමිටුව කරපු දේ ගැන සෑහීමකට පත් වෙනවා නම් ආයෙත් නටන්න වැඩක් නෑනේ මෙතනදී. ඒ වාර්තාව දැම්මහම කතා කරන්න පුළුවන්නේ.

නාලක ගොඩහේවා මහතා – කැබිනට් මණ්ඩලයට මහ බැංකුව ගෙන්නලා ජනාධිපතිතුමා හොඳටම දෙහි කැපුවා කියලා ආරංචියි. එය ඇත්තද දන්නේ නෑ. ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ අයව ප්‍රශ්න කළා. මේ වැඩි කිරීමට මුළු පාර්ලිමේන්තුවත් විරුද්ධයි. මේ අයට දීලා තිබෙන ස්වාධීනත්වය ගැන නැවත සලකා යම් යම් සංශෝධන ගේන්න ඕනා කියලා පිළිගන්නවාද?

ජනාධිපති – මේ ස්වාධීනත්වය දීලා තිබෙන්නේ එතනට විතරක් නොවෙයි. කොටස් වෙළෙඳපොළටත් දීලා තිබෙනවා. ඔබතුමා දන්නවානේ කොටස් වෙළෙඳපොළේ මිනිස්සු කොහොමද හම්බ කළේ කියලා.

වීරසුමන වීරසිංහ මහතා – ඊයේ මේ අය පාර්ලිමේන්තුවට ආවාට කිසිම තීන්දුවක් ගත්තේ නෑ. මේ සාමුහික ගිවිසුම මත තමයි ඒ අය පඩි වැඩිකර ගෙන තිබෙන්නේ. තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදාගෙන තිබෙනවා. මේකට මහ බැංකුවේ මුදල් මණ්ඩලය වගකියන්න ඕනා. ඒ මුදල් මණ්ඩලය පත් කළ ජනාධිපතිත් මේකට වගකියන්න ඕනා.

අගමැති – අපේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීතුමා, මට පුදුමයි ලංකාවේ වැඩකරන ජනතාවගේ සාමූහික ගිවිසුම් ගැන අවලංගු කිරීමක් හෝ වලංගුභාවයක් නැතිකිරීම ගැන කටයුතු කිරීම ගැන. එහෙම කතා කරන්න එපා. මේ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන රටක්. සාමූහික ගිවිසුම් කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ එස්. ඒ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් කම්කරු ව්‍යාපාරයේ සාමූහික ගිවිසුම අත්සන් කළේ. උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. අපි තියන ගැටලුවක් සාකච්ඡා කරලා විසඳගමු.

හර්ෂ ද සිල්වා මහතා- මේ අයට ස්වාධීනත්වය දීලා තිබෙන්නේ ඒ අයට ඕනෑ විදිහට භාවිතා කරන්න නොවෙයි. අපි ඊයේ කිව්වා මේ අයිතිය තිබුණත් ඒ අයට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද කියලා. මම කිව්වා ඊයේ පඩි වැඩිකර ගැනීම ප්‍රමාණය වැරදියි, මේ ගැන නැවත සලකා බලන්න කියලා.

වීරසුමන වීරසිංහ මහතා- මම කිව්වේ මෙතන සාමූහික ගිවිසුම නීත්‍යනුකූල නෑ කියලයි.

චාමර සම්පත් මහතා- මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වානේ. ඒ නිසා ඒකට ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න. මේ පඩි වැඩි කිරීමට ආණ්ඩුව සම්බන්ධත් නෑ. විපක්ෂය සම්බන්ධත් නෑ. ඒ අයමයි පඩි වැඩිකර ගත්තේ. එහෙනම් ඇයි අපි දෙපැත්ත තලා ගන්නේ.

දයාසිරි ජයසේකර මහතා- මුදල් අමාත්‍යංශයේ ලේකම් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා කිසිම රාජ්‍ය ආයතනයක පඩි වැඩි කරන්න එපා කියලා. එහෙනම් කොහොමද මෙහෙම පඩි වැඩි කර ගත්තේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මහ බැංකුවේ පඩි වැඩිකර ගැනීමට තිබුණු වගන්තිය පසුව ඉල්ලා අස්කර ගත්තා.

ජනාධිපති- මහ බැංකුවට ඒ බලතල නෑ කියලා කියනවා නම් සජබයට පුළුවන් අධිකරණයට යන්න.

නිමල් ලන්සා මහතා- මුදල් කම්ටුවේ සභාපති මේ ගැන වාර්තාවක් දුන්න නම් මේ ප්‍රශ්නය ඉවරයිනේ.

හර්ෂ ද සිල්වා මහතා- මහ බැංකුවට පුළුවන් සල්ලි අච්චු ගහන්න. එහෙම සල්ලි අච්චු ගහලා තමන්ගේ පඩි වැඩිකර ගන්නවා නම් ඒක ප්‍රශ්නයක්. මහ බැංකුවේ ලාභය තමන්ට ඕනා විදිහට වියදම් කරන්නත් බෑ.

ජනාධිපති- මම මේ සභාපතිට කිව්වා වාර්තාවක් දෙන්න කියලා. ඒ අනුව වැඩ කටයුතු කරමු. දැන් මට පේන්නේ අද මහ බැංකු අධිපතිව නොවෙයි, හර්ෂ ද සිල්වාගේ කකුලෙන් අදින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.

ගෙවිඳු කුමාරතුංග මහතා – අපි කියන්නේ මේ පනත වෙනස් කිරීමක් කරන්න කියලා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මම අහන්නේ මේ පඩි වැඩි කර ගැනීම වෙනස් කරනවාද නැද්ද කියලා අහන්නේ?

ෂෙහාන් සේමසිංහ මහතා- එදා විපක්ෂය මහ බැංකුවේ මේ පඩි වැඩිකර ගැනීම ගැන වෘත්තීය සමිතිවලට සහාය දැක්වූවා. දැන් අද වෙනත් දෙයක් කියන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment