ඉන්දියානු සාගර වට අද්දර කලාපීය සමුළුව 11 දා ලංකාවේදී පැවැත්වෙනවා

82

එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර

ඉන්දියානු සාගර වටඅද්දර කලාපීය සමුළුව ලබන 11 වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත යැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (09 දා) පැවසීය.

ඊළඟ වසර දෙක තුළ එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (09 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. මේ සඳහා කලාපයේ විදේශ අමාත්‍යවරුන් සියලුදෙනාම සහභාගිවීමට නියමිත බව ද ඒ මහතා කීය.

ඒ වගේම ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් ඔවුන් පැවැත්වීමට නියමිත බවත්, මේ වෙනකොට මැලේසියාවේ විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් ඔහු කීය. ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, බංගලාදේශය, ඕමානය, සිංගප්පූරුව, ජපානය ආදී රටවල් ඒ සඳහා සහභාගිවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

ඔක්තෝබර් 15 සහ 16 චීනයේ සංචාරයක නිරතවීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් ඒ මහතා කීය.

රටේ මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයාගේ කාර්යයක් නොවන බවත් එය මැතිවරණ කොමිසම විසින් නියමිත කාලයට සිදුකරනු ඇති බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment