ජාතික සුපර්ලීග් අවසන් පූර්ව වටයේ පිතිකරුවෝ පෙරමුණට පැමිණෙති

170

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ඊයේ (23 වැනිදා ) ආරම්භ වූ ගාල්ල සහ කොළඹ කණ්ඩායම අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 356ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිති හරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා ශතකයක් ලබාගත් අතර අංක 4 පිතිකරු පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 95 ක් ලබා සිටී. නායක සංගීත් කුරේ සමග ඉනිම ඇරඹූ සොහාන් ද ලිවේරා දිනයේ අවසන් පිතිකරු ලෙස දැවී යන විට පන්දු 203 කදී ලකුණු 133ක් ලබා සිටියේය.

සොහාන් ද ලිවේරා ගේ එම ඉනිම සඳහා හතරේ පහර 12 ක් අන්තර්ගත වූ අතර සචිත්‍ර පෙරේරාගේ පන්දුවකට ලහිරු උදාර අතට උඩ පන්දුවක් දී ඔහු දැවී

ගියේය. නොදැවී ක්‍රීඩා කරන පසිඳු සූරිය සූරියබණ්ඩාර අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටින දුනිත් වෙල්ලාලගේ සමග ලකුණු 67 ක සම්බන්ධතාවක් පවත්වා ගෙන තිබේ.

පසිඳු තම ඉනිම සඳහා හතරේ පහර නමයක් අන්තර්ගත කර තිබෙන අතර ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 49 කට දැවී ගියේය.

සංගීත් කුරේ ලකුණු 27 කට දැවී ගිය අතර එම කඩුල්ල ලසිත් ඇඹුල්දෙනිය සිය පන්දු වාර 30 තුළ දවා ගත් එකම කඩුල්ල වූ අතර සචිත්‍ර පෙරේරා සහ අම්ශි ද සිල්වාද එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පවන්ගෙන් ශතකයක්

දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ඊයේ ආරම්භ වූ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට අංක 03 පිතිකරු පවන් රත්නායක ඊයේ (23 වැනිදා ) සමත් වූයේය.

පවන් ගේ ඉනිමෙන් ශක්තිමත් වූ දඹුල්ල කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණ 289 ක් ලබා සිටියේය.

පන්දු 148ක් තුළ 79.05ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ දියත් වුණු පවන්ගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු අභිෂේක් ලියනආරච්චි සහ ගයාන් මනීශාන් අතර ගොඩනැගුණු ලකුණු 60 සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු පිටියට පැමිණි පවන් එශාන් මාලිංගගේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය.

ආරම්භක පිතිකරු ගයාන් මනීෂාන් ලකුණු 51ක් ලබාගත් අතර සනෝජ් දර්ශික දිනයේ අවසන් පිතිකරුවා ලෙස අර්ධ ශතකයට ලකුණු 03ක් මෙපිටින් සිටියදී දැවී ගියේය.

ශශික දුල්ෂාන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය අතර දිනයේ සාර්ථකම පන්දු යවන්නා වූ ශශික කඩුලු තුනක් දවා ගත්තේය.

අශාන් ප්‍රියන්ජන් දිනය නිමා වන විට නොදැවී ලකුණු 30 ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටින අතර නායක මිනෝද් භානුක එක ලකුණකට දැවී ගිය අතර අභිශේක් ලියනආරච්චි රැස් කළ ලකුණු සංඛ්‍යාව 37කි.

advertistmentadvertistment
advertistmentadvertistment