හිටපු ජනපති මෛත්‍රී කාලයේ අලි ඇතුන් සිවුදෙනකු ලබාදීම ගැන විමර්ශන කරනවා

261

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව නීති විරෝධි අන්දමින් අලි ඇතුන් සිවුදෙනකු ලබාදීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. සී. වික්‍රමසිංහ මහතා ඊයේ (15 දා) කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට වාර්තා කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත අතිරේක ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කළ කිංස්ලි ප්‍රනාන්දු මහතා විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට 2015 වසරේදී සිදු කර ඇති ලිඛිත නියෝගයක් අනුව එකී අලි ඇතුන් 4 දෙනා ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. මහින්ද ගලප්පත්ති නමැති අයකුට අලි ඇතුන් තුන්දෙනකු ද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට එක් අලියකු ද මුදාහැර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු හා හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු

පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණයට පෙන්වා දුන්නේය.

එම අලි ඇතුන් සිවුදෙනා එලෙස මුදාහල අලි ඇතුන් ද යන බව සනාථ කර ගැනීම සඳහා සිදුකරන විමර්ශනවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ අතර, විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසට ද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment