රටවල් 110ක නැවතත් කොරෝනා පැතිරීම වැඩිවෙලා

168

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ලොව පුරා රටවල් 110ක නැවත කොරෝනා වසංගතය පැතිරීම වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ.

පෙරේදා (29දා ) දිනයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම තත්ත්වය මත එම සංවිධානයට අයත් කලාප 06න 03කින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 20කින් හා කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 3කින් දැනටමත් වැඩි වී ඇති බවයි.

කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් ලොව පුරා රටවල පවතින ආකල්පයන් හේතුවෙන් කොරෝනා වසංගතයේ ස්වභාවය වෙනස් වෙමින් පැවතියද එහි නිමාවක් මෙතෙක් දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අඩනම් ගෙබ්‍රේයේසුස් පවසයි. දැනටමත් කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වාර්තා කිරීම හා ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණ සිදු කිරීම් අඩු වෙමින් පැවතීම නිසා ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ හා ඉදිරියේදී බිහි විය හැකි නව කොරෝනා ප්‍රභේදයන්ගේ පැතිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අසීරු වී ඇතැයි වෛද්‍ය ගෙබ්‍රේයේසුස් සඳහන් කර තිබේ. මේ වන විට ලොව පුරා රටවලට කොරෝනා එන්නත් බිලියන 12කට අධික සංඛ්‍යාවක් බෙදා හැර ඇති නමුදු සිය ජනගහණයෙන් සියයට 70ක් එන්නත් කර ඇත්තේ රටවල් 58ක් පමණක් බවද හෙතෙම අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගී වෙමින් අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා දැනට පැතිර යන මන්කිපොක්ස් රෝගය රටවල් 50කට අධික සංඛ්‍යාවකින් හඳුනාගෙන ඇති අතර එය තවදුරටත් පැතිර යනු ඇති බව පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment