අලුත් අවුරුද්දෙන් පසුව ජනපති සියලු අමාත්‍යාංශ ලොක්කන් කැඳවයි

207

නුවරඑළියට සරසවියක්
නානුඔයට ආර්ථික මධ්‍යස්ථානයක්
ජනපති නුවරඑළිය හදන හැටි කියයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අධිකාරිවල හා කොමිෂන් සභාවල සභාපතිවරුන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

2023 ඉලක්ක සහගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම එහි අරමුණ බව ජනාධිපතිවරයා නුවරඑළියේදී පෙරේදා (11 දා) පැවසීය.

නානුඔය දුම්රියපළ නවීකරණය කර ඒ සමීපයේ උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කීවේය.

යෝජිත ආර්ථික මධ්‍යස්ථානය මගින් එළවළු ඇසුරුම් කර සුරක්‍ෂිතව කොළඹට ප්‍රවාහනය කිරීමට ද හැකියාව ලැබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යෑම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලීන ගැටලුවක් වන අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙස උපදෙස් දුන්නේය.

නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැඟිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරීම් සිදුකිරීමේ අවශ්‍යතාව පැහැදලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැඟිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බවත්, එය නිව්යෝර්ක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙස පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතු බවත් පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු අවසන් වීමත් සමඟ නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ පහසුකම් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් පරිසර හිතකාමී සැලසුම් සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා පෙළගැසිය යුතු බව ද සඳහන් කළේය.

තිරසාර සහ සෞම්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කය පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම යටතේ නගරයේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු සහ උප නගරයක් ලෙස නානුඔය නගරය සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වන සංරක්‍ෂණ කලාප එලෙසින්ම ආරක්‍ෂාකර ගනිමින් හරිත නගරයක් ලෙස නුවරඑළිය සංවර්ධනයට සැලසුම් කර තිබෙන අතර නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් අනු නගර 05 ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සහ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් රාමායන මධ්‍යස්ථානයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

නානුඔය දුම්රියපළ නවීකරණය කර ඒ සමීපයේ උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර එමගින් එළවළු ඇසුරුම් කර සුරක්‍ෂිතව කොළඹට ප්‍රවාහනය කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

තුරඟ තරග පිටිය සහ වැව සංවර්ධනය, වැව අසල රථගාල් පහසුකම් වැඩිදියුණු කිරීම, නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවා ඔවුන්ගේ ජීවිත නගාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, වී. එස්. රාධක්‍රිෂ්ණන්, එම්. රමේෂ්වරන් යන මහත්වරුද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment