ජේ.ආර්.ගේ ධර්මිෂ්ඨ සමාජය මෙන්ම රනිල්ගේ සමජීවී කතාව දේශපාලන ගුණ්ඩුවක් ද?

263

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2024 අය – වැය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ආරම්භ වී තිබෙන පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද රටේ ආර්ථික පරිහානිය සම්බන්ධ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම නිසැකයෙන් ම ඓතිහාසික සිදුවීමකි. ඒ වූ කලී, වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය, හිටපු මුදල් ඇමැතිවරුන් වූ මහින්ද හා බැසිල් මෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ප්‍රමුඛ මූල්‍ය මණ්ඩලය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවටත්, රටේ ආර්ථික පරිහානියට වගකිව යුතු බවටත් තීන්දු කිරීමය. රටේ පාලන භාරකාරත්වය දරමින් සිටි දේශපාලන නායකයන් මෙන්ම රජයේ උසස් නිලතල හොබවන අය ද ජනතාවට වගකිව යුතු බව මෙම ඓතිහාසික තීන්දුවෙන් තහවුරු වී තිබේ. ඇත්ත වශයෙන්ම පැණසර නොවන පාලකයන්ට වුවමනා උපදෙස් දීමත්, නිසි මඟ පෙන්වාදීමත් ප්‍රබුද්ධ නිලධාරීන්ගේ වගකීමකි. එහෙත් මෙරටේ ස්ථාපිතව තිබෙන්නේ එහෙයියන්ගේ පාලනයකි. බොහෝ විට නිවැරදි උපදෙස් පිළිගැනීමට තරම් නිහතමානී නොවන පාලකයෝ ද සිටිති. තමන්ට වන අලාභය, අයස නිසාම සත්‍යය දැක දැකත් කරබාගෙන සිටින නිවට රාජ්‍ය සේවයක් මෙරටේ තිබෙන බව ද අපි දනිමු.

කුමක් වුවත් රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම තවදුරටත් පැහැරහැරීමට මෙම විශිෂ්ට නඩු තීන්දුව නිසා රාජපක්‍ෂවරුන්ට නොහැකි වන්නා සේ ම අනාගතයේදීත් පාලකයන්ට හිතුමතයට තීන්දු තීරණ ගත නොහැකි බව ද මේ අනුව තහවුරු වී තිබේ. රාජ්‍යත්වයට පත්වන කිසිවෙකුට තම වගකීම් අත්හළ නොහැකි බව බෞද්ධ සූත්‍රවල ද දක්වා තිබෙ. චක්කවත්ති සූත්‍රයට අනුව අත්තනෝමතික පාලනයක් ගෙන ගිය පාලකයකුට ද රටේ ආර්ථිකය විනාශ වීම නිසා වැරදිකරුවකු වීමට සිදුව තිබේ. ස්වමතය අනුව පාලනය ගෙන යෑම නිසා රටේ අර්බුද උත්සන්න වීම ගැන ඒ පාලකයා වරදකරුවකු වූ බව ද එහි සඳහන් වේ. දේශපාලනය හා සදාචාරය අතර තිබෙන සබඳතාව කෙබඳු දැයි තහවුරු කෙරෙන සූත්‍ර කීපයක් ම බුදුන්වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත. ඒවා අතර අග්ගක්‍ඳ්ක්‍ඳ, චක්කවත්තී හා කූටදන්ත වැනි සූත්‍ර වඩාත් ප්‍රකටය. අංගුත්තර නිකායේ දුක නිපාතයෙහි අවධාරණය කර තිබෙන්නේ ද ලෝකයාගේ හිතසුව පිණිස පහළ වන්නේ බුදුවරයකු හා චක්‍රවර්ති රජකු පමණක් බව ය.

රාජාණ්ඩු යුගයේ සිට නූතන ප්‍රජාතන්ත්‍රවාදය තෙක් පැමිණි සමාජ – ආර්ථික දේශපාලනය අද පත්ව තිබෙන ස්වරූපය සම්බන්ධයෙන් ද විවිධ විමර්ශන හා විවේචන ද තිබේ. මතුපිටින් ප්‍රකාශ කෙරෙන මානව ධර්ම, සමාජ වටිනාකම් මෙන්ම නිදහස කෙතරම් අර්ථවත් කිරීමට අද ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන්ට හැකි වී තිබේද?. මානව ශිෂ්ටාචාරයේ දිගු ගමන තුළ මානව වර්ගයා විසින්ම අත්පත් කර ගන්නා ලද බොහෝ ජයග්‍රහණ පවා මනුෂ්‍යත්වයේ අභිවර්ධනයට කෙතෙක් ඉවහල් වී තිබේද යන්නත් ප්‍රශ්නයකි. බුදුන්වහන්සේ වදාළේත් රජු ධාර්මික පුද්ගලයකු විය යුතු බවය. සියලු වැසියන්ගේ ආහාර සුරක්‍ෂිතභාවය, ජීවිත ආරක්‍ෂාව, සක්විති පාලනයේත් ධාර්මික රාජ්‍ය පාලනයේත් ලක්‍ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී තිබෙන්නේත් ඒ පදනම මත ය. ධර්මිෂ්ඨ සමාජය නමැති සංකල්පය ඔහුගේ දේශපාලනයේ තේමාව බවට පත්කර ගත්තේ ද එදා එ.ජා.ප. නායක ජේ. ආර්. ජයවර්ධන විසිනි. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේ තේමාව ලෙස ඉදිරිපත් කළේ ධර්මිෂ්ඨ සමාජයක් යන්නයි. එදා තිබුණු දූෂිත දේශපාලනය හා ජනතාව මුහුණ දුන් ආර්ථික පීඩනය ඉඳුරා දත් ජයවර්ධනට 5/6ක ජනවරමක් ලබා ගැනීමට ද ධර්මිෂ්ඨ පාලනය හා ඒ සමඟ බැඳුණු ධාන්‍ය රාත්තල් අට (මෙය ඇට අට ලෙස වේදිකාවල හැඳින්විණි) යෝජනාව ද ඉවහල් විය.

ජේ.ආර්.ගේ ධර්මිෂ්ඨ සමාජය මෙන්ම රනිල්ගේ සමජීවී කතාව දේශපාලන ගුණ්ඩුවක් ද?

ජයවර්ධනගේ සෙවණ යට දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ ද විවිධ අවස්ථාවලදී බුදුදහම, බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්ම උපුටා දැක්වීමට පුරුදුව සිටියි. මෙවර මුදල් ඇමැතිවරයා ලෙස ඔහු විසින් ඉදිරිපත් කරන ලද 2024 අය – වැය යෝජනාවල ප්‍රමුඛ සංකල්පයක් වූයේ ද බුදුන් වදාළ සමජීවකතා යන්නය. බෞද්ධ ආර්ථික දර්ශනය සිහිපත් කරමින් එහි එන සරල සැහැල්ලු ජීවන චර්යාව පුද්ගල සතුටට හේතු වන බව ද ජනාධිපති රනිල් අවධානය කළේය. අය – වැය සමබරව පවත්වා වැය අවම කර ගැනීමට ගිහියන් විසින් කළ යුතු කාර්ය බුදුන්වහන්සේ ඉතා නිවැරදිව පෙන්වා වදාළහ. පසුකාලීනව සමාජ ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රවල පුරෝගාමී සංකල්ප ඉදිරිපත් කළ ඇඩම් ස්මිත්ට හෝ කාල්මාක්ස්ට වඩා සුවිශිෂ්ට හා ගාම්භීර සිද්ධාන්ත රැසක් බුදුන්වහන්සේ ඉදිරිපත් කළ අයුරු විස්මය දනවයි. බුදුන්වහන්සේ සමාජ දුක, මානසික හෝ දෛවයෙන් ලැබෙන්නක් ලෙස නොපිළිගත්හ. සංසාරය හා නිවනට අමතරව බාහිර ලෝකයක පුද්ගලයාට ජීවත්වීමට සිදුව තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. අනාථ නාත, අසරණ සරණ, ජීවන චර්යාව පාලකයාගේ පරමාදර්ශය විය යුතු බව ද බුදුහු වදාළහ. බුදුදහම තුළ සමාජවාදය යන පදය නොවූවත් සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වයට ගෞරව කිරීම මෙන්ම උපත අනුව එහි අගය මිනිය නොහැකි බව ද තහවුරු කර ඇත. ජගත් මානව සමාජවල නිරන්තර බුහුමනට පාත්‍ර වන්නා වූ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ ද වහල් සමාජය පිළිගත්තෝ වෙති. එහෙත් බුදුහු සමාජය තුළ සියලු කුලවාද ධනවාද බැහැර කළහ. ධනය සමසේ බෙදි නොයෑම දරිද්‍රතාව සමාජ විපතට පමණක් නොව ගැටුම්වලට ද යොමුවීමට ප්‍රධාන හේතුව බව උන්වහන්සේගේ සුත්‍ර ගණනාවකම පෙන්වා දී තිබෙන්නෙකි. එහෙත් බෞද්ධ දර්ශනයේ සාරය කුළුගැන්වෙන දුක පිළිබඳ විග්‍රහයන් මත පදනම්ව බුදු සමය සමාජ – ආර්ථික දේශපාලනය නොතකා ක්‍රියාකර ඇතැයි සමහරු මුළා වී සිටිති. තෘෂ්ණාව අත්හැර සංසාරය කෙටිකර ගැනීමට විනා සමාජයෙන් ඈත් වී දැහැන් වැඩීමට හෝ අබිනික්මන් කළ යුතු යැයි හෝ බුදුහු කොතැනක හෝ දක්වා නැත. අනිත්‍ය ධර්මය පිළිබඳ දාර්ශනික විග්‍රහයන් වෙනම දැක්වෙන බුදුසමයේ ගිහි කාමභෝගී ජීවන රටාවේ සංකීර්ණ බව නිවැරදිව පෙන්වා දී ඇත. භෞතික හා අධ්‍යාත්මික වශයෙන් බෙදුණු මානව සංවර්ධනය වෙනුවට මේ දෙකම එක්වූ, මනාව සුසංයෝග වූ දියුණුව බුදු සමය පිළිගෙන ඇත.

මෙසේ බුදු සමයෙහි දැක්වෙන ආර්ථික හා දේශපාලන විග්‍රහයන් රැසක්ම නූතන ආර්ථික හා සමාජ විද්‍යා ක්‍ෂේත්‍රවල ද අවධානයට ලක්ව තිබේ. දිළිඳු බව හා පීඩාවට පත් පුද්ගල සමාජය උසස් කිරීමේ ඵලදායී මාර්ගය මාක්ස්වාදයම නොවන බව දැන් සංවාදයට ලක්වී සෑහෙන කලක් ද ගත වී තිබේ.

ජනාධිපති රනිල්ගේ අය – වැය 2024 ඉදිරිපත් වූයේ ද මෙම බෞද්ධ සංකල්ප හා සිද්ධාන්ත හුවා දක්වමින් ය. බෞද්ධ ආර්ථික දර්ශනයට පිටුපෑම නිසා මෙරටේ ආර්ථිකය කඩා වැටුණු බව ජනාධිපතිවරයා සෘජුවම පවසයි. පරිභෝජනය හා ආයෝජනය සඳහා වූ උපදෙස් බුදුන්වහන්සේ විවිධ සූත්‍රවල පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ ඉණ සූත්‍රය ණය බරෙහි විපාක පෙන්වා දී තිබෙන බව ද ජනාධිපතිවරයා සිහිපත් කර ඇත. නිසැකයෙන් ම වත්මන් භෞතික වටිනාකම් අගයන සමාජය බිහිවීමත් එහි ගමන් මඟත් බුදුහු පෙන්වා දුන්හ. කුමක් වුවත් ජනාධිපති රනිල්ගේ ඒ අනාවරණයත් අප තුළ කුතුහලය ද දනවන්නකි. සිය දේශපාලන සැඳෑ සමය ඔහුට අතිශය හා අර්ථාන්විත වටිනාකම් සමුදායක් මතක් කර දී තිබේ. ව්‍යාජ – සාටෝප ජීවන රටාවන් ඔස්සේ මිරිඟුව ලුහුබැඳ ගිය සමාජයක ඛේදවාචකය ඔහු තුළ කම්පනයක් ඇති කළ බව ද පෙනී යයි. එහෙත් එය හුදු ප්‍රකාශනවලට පමණක් සීමා වූවක් ද? දේශපාලන නායකයන්ගේ නාස්තිකාර පාලනයේ විපාක අද රටම විඳවන විපතක් වී තිබෙන බව ඔහුගෙන් ප්‍රකාශ වී තිබේ.

ජනාධිපති අවධාරණය කරන්නේ පීලි පැන තිබුණු ආර්ථිකය යළි නිසි පරිදි පීලි මත තැබූ පමණින් ම ගිලන් වූ ආර්ථිකය සුවපත් නොවන බවය. ඔහු තිරසරව පවසන්නේ සමජීවකතා සංකල්පයෙන් පිට පැනීම නොකළ යුතු බවය. සුරංගනා කතා හෝ සිහින මාලිගා මැවීමෙන් රටක් ඉදිරියට නොයන බව ජනාධිපති රනිල් අද පිළිගෙන තිබේ. ගෝඨාභයට එරෙහිව නැගුණු විරෝධතා අරගල යටපත් කිරීමට හැකි වුවත් එය තාවකාලික බව ඔහුට දැනෙනු ඇත. කුමක් වුවත් ධනවාදී පාරිභෝගික සමාජය අසාර්ථක බවත්, අලුත් ගමනක් සඳහා අදාළ වන්නා වූ දැක්මක් හා වටිනාකම් පද්ධතියක් තිබෙන බව ඔහු වටහා ගෙන තිබේ නම් එය ඉතා යුක්ති සහගත මෙන්ම සාධාරණ වෙනසකි. ඇත්තටම පැරණි ගතානුගතික ප්‍රභූ දේශපාලනය අද මියැදෙමින් තිබේ. රාජපක්‍ෂ කඳවුර ද යළි දෙදරා යමින් තිබේ.

මේ දේශපාලන පරාභවය අතැඹුලක් සේ දන්නා ජනාධිපති රනිල්ට තවදුරටත් ඒ ගර්හිත මාර්ගය තෝරාගත නොහැකි බව ඔහු වටහා ගෙන තිබේ නම් එය පැසසිය යුත්තකි. 1977 සිට මේ දේශපාලන සමාජ ආර්ථික කුණුපය මෙන්ම එයින් නැගුණු දුර්ගන්ධය ද ඔහු ඉවසා සිටියේය. 77න් පසු බිහි වූ පරම්පරාව ජයවර්ධනගේ විවෘත ආර්ථික කබායෙන් එළියට ආවෝ වෙති. ඒ සමගම 56 දරුවන් අද වියපත්ව මේ දේශපාලන ක්‍රියාන්විතයන් සසඳන බව ද රහසක් නොවේ. කුමක් වුවත් 56 විවෘත වූ ජාතික සංස්කෘතික දොරටුව වැසීමේ වරදට එජාපය මෙන්ම ශ්‍රීලනිපය ද වගකිව යුතුය. එයින් කැඩී ගිය පොදුජන පෙරමුණේ හෙට දවස කුමක් විය හැකි දැයි දැන්ම කිව නොහැක. එය හෙටට භාර වූවකි.

ඇත්ත වශයෙන් ම මෙරටේ දේශපාලන ඉතිහාසය තුළ උද්ගතව වූ තරුණ කැරලි, ජනතා නැගිටීම් සියල්ලට අමතරව සිදු වූ ප්‍රබල දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ප්‍රතිචාර ලෙස 1956 මෙන්ම 1977 ද වෙන වෙනම විමසා බලන විට අපට හැඟෙන්නේ අපේ නායකයන්ට සාධනීය දේශපාලන දැක්මක් නොවූ බව ය. 56 සමාජ දේශපාලන වෙනස අද විවිධ අයුරින් අර්ථකථනය කළත් ඒ තුළින් උද්දීපනය වූ සමාජ දේශපාලන ආර්ථිකය ඉදිරියට නොයෑම අවාසනාවකි. 1977 එයට විකල්පයක් වනු ඇතැයි ද සමහරු කල්පනා කළහ. එහෙත් එයින් සිදු වූ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික විනාශය අද කූටප්‍රාප්ත වී තිබේ. ජනාධිපති රනිල්ගේ ආවර්ජන, අර්ථ දැක්වීම් තුළ යළි බෞද්ධ ආර්ථිකයේ ගාම්භීරත්වය වර්ණනා කළත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඔහු යෝජනා කර නැත. පොහොට්ටුවේ නාමල් මන්ත්‍රීවරයා පවසා තිබුණේ ජනාධිපති රනිල් මෙවර ඉදිරිපත් කර තිබෙන්නේත් පසුගිය අය – වැය යෝජනා බව ය. එහෙත් ජනාධිපති රනිල් පැවසුවේ සුරංගනා කතාවලින් රට ඉදිරියට නොයන බවත්, මැතිවරණ ජයග්‍රහණයකට වඩා රටට ලැබෙන ජයග්‍රහණ වටිනා බවත් ය. ජනාධිපති රනිල් තවම කර නැත්තේ මහින්ද ජනාධිපතිව සිටියදී පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට යැයි හැඟම්බරව පවසා පොළව සිප ගැනීම පමණක් විය යුතුය. එහෙත් මේ රට අපායක් කළ දූෂණ, වංචා, හොරකම්, අල්ලස්, කොමිස් ආදී සකලවිධ දුෂ්ට ක්‍රියාකාරකම් වැළැක්වීමට ඔහු කැප වී සිටින බවක් ද නොපෙනේ. ජයවර්ධන පාලන යුගයේ ප්‍රබල ඇමැතිධුර හෙබවූ ඔහු සිව්වරක්ම මේ රටේ අගමැති ධුරය ද හෙබවූවෙකි. අද ඔහු කටේ දිවේ නොගැවී පවසන ආර්ථික අපාය, අනාගතය සොරකම් කිරීම, මරණාසන්න ලෙඩෙක් බඳු ‘රටක්’ ආදී අලංකාරවලින් කෙරෙන අනාවරණයන් සියල්ලටම පිටතින් සිටින දේශපාලනඥයකු නොවන ඔහු ද ඒවාට පංගුකාරයකු බව ද අපට හැඟේ.

ජනාධිපතිවරයාගේ මෙම අය – වැය හෙට දවසට වඩා හෙට දවසේදී පැවැත්විය හැකි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කරගත් එකක් බව ද මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විවේචන විමර්ශනවලදී ඇසෙයි. මෙහිදී ජනතාවට සහන සලසා දී නැතත් ග්‍රාමීය හා වෙනත් ජනකොටස් ආමන්ත්‍රණ කළ බව ද පෙනී යයි. ඔහු හුණුවටයේ කතාව මතක් කරමින් “ගොවි දන මනා වූ ලැබිය යුතු සේම ගම්බිම්” යන අවධාරණය ද කර ඇත. ඉඩම් අයිතිය ගොවි ජනයාට ලබාදීම අගනා යෝජනාවකි. එසේම අඩු ආදායම්ලාභී නිවාසවල පූර්ණ අයිතිය ද ඒ පවුල්වලට දීමට ඔහු සැරසෙයි. මේවා කළ යුතු දේවල් ය. එහෙත් දේශපාලන රැවටිලි ලෙස, ඡන්ද පොරොන්දු ලෙස මෙබඳු දේවල් කොපමණ නම් අසා තිබේද? එසේම අද වනවිටත් සිදුවන ඉඩම් කොල්ලය, වන සංහාරය ආදී වසල ක්‍රියාකාරකම් පසුපස දේශපාලනඥයා සිටින බවත් අප පෙන්වා දිය යුතුය. එසේම ඉඩම් කොමිසමේ සේවකයන්ට රු.1000 බැගින් ඉඩම් පර්චසයක් ලබදීමේ පුවතක් ගැන ද මේ සතියේ පුවතක් පළ වී තිබුණි. එය විගණන වාර්තාවක දැක්වූ දූෂිත ක්‍රියාවකි. මෙබඳු ඉඩම් ගනුදෙනු කොපමණ සිදුවී ඇද්ද? නාගරික සංවර්ධන අධිකාරිවල හා ඉඩම් කොමිසම් සභාවල ක්‍රියාකාරකම් අතිශය දූෂිත බවට චෝදනා තිබේ.

ජනාධිපති රනිල්ගේ අය- වැයෙන් ඔහු සමාජගත කිරීමට වෑයම් කරන සමජීවිකතා සංකල්පය සාධනීය සමාජ ආර්ථික හෝ දේශපාලන ක්‍රියාවලියකට ඉවහල් වේ දැයි සැකයකි. විශේෂයෙන් මේ අය – වැය සම්බන්ධ විවේචනවල හරය වන්නේ ලබන වසරේ පුද්ගල ජීවිත මත පැටවෙන පීඩනය වැඩි වන බව ය. වැට් බදු හා අලුතින් ඉන්ධන, විදුලිය, ගෑස් මෙන්ම වෙනත් භාණ්ඩවල මිල ගණන් ඉහළයෑමක් සිදු වුවහොත් ලක්‍ෂ 220ක් වූ ජනතාවගේ ඉරණම කුමක් ද? රජයේ සේවකයන්ට වැඩිකළ මුදල අනෙක් අතින් උදුරාගන්නේ නම් ඔවුන්ට ද ඒ ආර්ථික සහනය නොලැබී යනු ඇත. කොහොමටත් ඒවා ලබන වසරේ එනම් 2024 දී වරින්වර පඩිපතට එකතු වන ආකාරයක් ද පෙනේ. එහි තේරුම 2024 පැවැත්වෙන මැතිවරණ දෙස බලාගෙන ඒවා සැලසුම් කළ බවද? රටේ ධනය සොරකම් කිරීම හා අනාගතය සොරකම් කිරීම අපරාධ ලෙස පිළිගන්නා ජනතාව දැඬුවම් දීමටම එයට වගකිව යුතු අය තෝරාගන්නා බව ද නිසැකය. රටේ අනාගතය වෙනුවෙන් පටු අරමුණු සහිත දේශපාලනය බැහැර කිරීමට ද ජනාධිපති රනිල්ම යෝජනා කර ඇත. එනිසා ජනතාව තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම අවශ්‍ය සියලු දෙනාටම පිළිතුරු දෙන බව නම් නිසැකවම සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment