සාගරයක් මැද ගහපු කුඩු ගේම තංගල්ලෙන් නිමා වූ හැටි.. මාස 06ක් මුහුද මැද බෝට්ටුවක් තුල කල් ගෙවයි

279

* ගිනි අවි 20ක් කුඩු කිලෝ 395ක් මෙරටට ගෙනෙයි
  
දකුණු ලක දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි චමිත් ලක්මාල් හෙවත් ‘‘පපී’’ ප‍්‍රදේශයේ කා අතරත් ප‍්‍රකටව සිටියේ දිය,ගොඩ දෙකෙහිම සමත් වැඩ කාරයෙක් ලෙසය. දියට බැස මුහුදේ පිහිනීමට ඔහු උපන් හපන්කම් දක්වන්නෙක්ය. සමාජය හමුවේ මහා පරිමාන ධීවර ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටින ‘‘පපී’’ එකවරම සති මාස ගණන් අතුරුදන් වන අතර එම කාල සීමාවන්හි ඔහු ජීවත් වන්නේ ඈත දියඹ ධීවර කටයුතුවල නිරත බහුදින ට්‍රෝලර් යාත‍්‍රාවකය. තවමත් 26 හැවිරිදි පිපී පිහිනීම සහ ධීවර කටයුතු ආදියට මෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් වැඩකරුවෙක්ය.
 
 සංවිධානාත්මදක අපරාධ කල්ලි නායකයෙකු වන මිදිගම නඳුන් චින්තක හෙවත් ‘හරක්කටා’ නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙකු වන පපී මුහුදු මාර්ගයෙන් මෙරට කුඩු ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අව්‍යවශ්‍යව සිටි පුද්ගලයෙක්ය. වරක් මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 395ක් මෙරට රැගෙන ඒම ඔහුට විරුද්ධ ඇති එක් චෝදනාවක්ය. කුඩු ප‍්‍රවාහනයෙන් නතර නොවන ඔහු තවත් වරක් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ස්වයංක‍්‍රීය ගිනි අවි 20 ක් ගෙන්වා ඇත. ඊට අමතරව මෙරටට හෙරොයින් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධව ඔහුට විරුද්ධව තවත් චෝදනා කීපයක් ඇත. ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ සිට පසුගිය වසර කීපය තුළ මොහු විසින් මෙරටට ප‍්‍රවාහනය කර ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් දහසකට අධිකය. කලක පටන් සිදු කරන මෙම හෙරොයින් හා අවි ආයුධ ජාවාරම හේතුවෙන් චමිත්් ලක්මාල් හෙවත් ‘‘පපී’’ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සැලසුම් සකස් කරන්නේ කලක පටන්ය.
 
 තමන්ව කුමන මොහොතක හෝ නීතියේ රැහැනට කොටුවන බව පිපී ද දැන සිටි කරුණක්ය. මාළුවෙකු දැලට හසුවන්නේ යම් සේද තමන්ටද එම ඉරණම අත්වන බව කුඩු ප‍්‍රවාහනයට අමතරව ධීවර කර්මාන්තයේද නිරත ඔහුට නිතර නිතර සිහිපත් වූ කාරණයක්ය. එබැවින් මහ මුහුදත් ගොඩබිමත් එකසේ හුරු චමිත් ලක්මාල් හෙවත් ‘‘පපී’’ වසරින් වැඩි කාලයක් මහ මුහුදේ ජීවත් වූ පුද්ගලයෙක්ය. නීතියෙන් බේරීම පිණිස මහ මුහුද තෝරා ගන්නා පපී වසර කීපයක් තිස්සේ බහුදින යාත‍්‍රාවෙන් යාත‍්‍රාවට මාරු වෙමින් ගත කරන යාත‍්‍රා ජීවිතය අතරතුර ද තම ජාවාරම ජයට සිදු කරගෙන යන බව ඔහු සහ ඔහුගේ සහායකයන් හැරුණු කොට මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද හොඳින් දැන සිටි කරුණක්ය. එපමණක් නොව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් දැන සිටි තවත් කරුණක් බවට පත්ව ඇත්තේ මෙම ජාවාරම්කරු දක්‍ෂ ස්කයිෆර්කරුවකු බවත් ඔහුගේ මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමේදී ඔහු බහු දින ට්‍රෝලර් යාත‍්‍රා ධාවකයෙකු ලෙස කටයුතු කර ඇති බවත්ය.
 
 පපී සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම පිණිස දීර්ඝ කාලීන සැලසුමක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සඳහා රාජ්‍ය බුද්ධි අංශය, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහාය ලබා ගෙන ඇත. ඒ අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආවේක්ෂණ රාජකාරීවල නිරත වෙමින් පැති කීපයක් ඔස්සේ සිදු කළ නිරීක්‍ෂණ හරහා වැදගත් බුද්ධි තොරතුරු රැසක් ආනාවරණයකර ගන්නා අතර මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය දිනක ලද වැදගත් බුද්ධි තොරතුරකට අනුවය.
 
 එම බුද්ධිතොරතුරු හරහා අනාවරණය වී ඇත්තේ කලක් තිස්සේ බහුදින ධීවර යාත‍්‍රා තමන්ගේ නිවහන බවට පත්කර ගනිමින් නීතියට කට්ටි පනින ලද මෙම ජාවාරම්කරු ගොඩබිමට පැමිණෙමින් සිටින බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට සුදුසුම අවස්ථාව එය බවත්ය. එහිදී බුද්ධි අංශ විසින් වැඩිදුරටත් හෙළි කරගත් තොරතුරුවලට අනුව මෙම ජාවාරම්කරු ධීවර බෝට්ටුවක් ආධාරයෙන් ගොඩබිම දෙසට සංචාරයකොට සැතපුම් කීපයක් එපිට මුහුදේ සිට පිහිනා ගොඩබිම දෙසට ගමන් කරන බවය.
 
 ගොඩබිමට ළඟා වීම පිණිස පපී විසින් එම උපක‍්‍රමය භාවිත කර ඇත්තේ නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකායෙන් බේරීම පිණිස ය. කුමන උපක‍්‍රම භාවිත කරමින් මෙරට ළඟාවූවද රට තුළ ඔහුට මහ දිනක් නිදැල්ලේ සැරි සැරීමට අවස්ථාව උදාවන්නේ නැත.
 
 විමර්ශන නිලධාරීන් විසින් දින කීපයක් තිස්සේ සිදු කළ ආවේක්‍ෂණ රාජකාරී ආදියේ ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් 14 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් ‘‘පපී’’ අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල ප‍්‍රදේශයේදී සිදු කළ මෙම වැටලීම හේතුවෙන් අත්අඩංගුවට පත් පපී හරහා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ඉදිරියේදී හෙළිදරව් වීමට නියමිතය. පොලිසිය විසින් මේ වනවිට හෙළිකරගත් තොරතුරුවලට අනුව මෙම ජාවාරම්කරු අත්අඩංගුවට පත් වීමට පෙර ගැඹුරු මුහුදේ ධීවර බෝට්ටුවක මාස 06ක පමණ කාලයක් ජීවත් වී ඇත.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර සිටිනේ අදාළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම සම්බන්ධව මේ වනවිට සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවත් ඉදිරියේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

– රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment