දෙලොවම ගොඩදමන යහපත් ඇසුර

431

පුද්ගලයාගේ දෙලොව දිවිමගට ඇසුර හෙවත් ආශ්‍රය බෙහෙවින් වැදගත්ය. යහපත් සත්පුරුෂ ඇසුර මගින් සිදුවන්නේ පුද්ගලයාගේ දියුණුවයි. අයහපත් හෙවත් පාපමිත්‍ර ඇසුර තුළින් පුද්ගලයාගේ පිරිහීම හා විනාශය ඒකාන්ත වශයෙන්ම සිදුවෙයි. මේ බව බුදුසමය තුළින් බොහෝ නිදර්ශන උපයෝගී කොටගෙන කරුණු පෙන්වා දෙන අතර කල්‍යාණ මිත්‍ර ඇසුර දොලොව දිවිමග ආලෝකය උදා කරන බව දක්වා ඇත්තේ ඒ නිසාවෙනි. බෙහෙවින් පරිහානියට පත්වී ඇති නූතන සමාජයට අවශ්‍ය කරනුයේ සත්පුරුෂ ආශ්‍රයයි. අසත්පුරුෂ ඇසුර තුළින් සිදුවන විනාශය සුළුපටු නොවන්නකි. මේ නිසා අප ඇසුරට ගත යුත්තේ කෙබඳු අයෙක් ද? යන්න අප විසින්ම තීරණය කිරීම බුද්ධිගෝචර ක්‍රියාවක් වනු ඇත.

මිනිසා හා සමාජය යන්න විමසා බැලීමේ දී එහි දියුණුව හා විනාශය රැඳී පවතින්නේ යහපත් මෙන්ම අයහපත් බව පදනම් කොටගෙනය. එහිදී පුද්ගලයාට විවිධාකාර මිනිසුන් මුණගැසෙන අතර ඔවුන් අතුරින් ජීවිතයට තෝරා ගත යුත්තේ කෙබඳු අයෙක් ද? යන්න අප විසින්ම තීරණය කළ යුත්තකි. විශේෂයෙන්ම නූතන සමාජය දෙස බැලීමේදී පාපමිත්‍ර සේවනය හෙවත් අයහපත් ඇසුර නිසා සිදුවී ඇති සමාජ පරිහානිය සුළුපටු නොවන්නකි. ඕනෑම අයහපත් අයෙක් යහපත් මගට යොමු කර ගැනීමට මෙකී පාප මිත්‍ර සේවනය බෙහවින් හේතුසම්පන්න වනු ඇත. යහපත් මග පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයන් හෙවත් සත්පුරෂයන් සමාජයට සීමාවීම නිසා මුළුමහත් සමාජයම බොහේසෙයින් පරිහානියට පත්වී තිබීම අතිශයින් කනගාටුවට තුඩුදෙන්නකි. යහපත අයහපත නොහඳුනන බොහෝ පිරිසක් තමාට යහපත ගෙනදෙන්නේ සත්පුරුෂයන් යැයි ඇසුරට ගනු ලබන්නේ අධම පාපතරයන්ය. සැබෑ සත්පුරුෂයා ඈත්කොට ආත්මාර්ථකාමීන් තම ඇසුරට ගැනීම තුළ සිදුවන විනාශය, සමාජය තුළින්ම මනාව දැකගැනීමට හැකිය. මෙය ගිහි පැවිදි යන දෙපක්ෂයටම උරුමවූවක් වන අතර අවසානයෙහි වැරදුන පසුව එය වැටහීමෙන් ඵලක් නොවනු ඇත.

න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණෝ
භජේථ පුරිසුත්තමේ”

මෙම ගාථා පාඨයෙන් අප තිලෝගුරු බුදුරදුන් පෙන්වා දෙනු ලබන්නේ අධම පාපමිත්‍ර සේවනයෙන් තොර සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් තම ඇසුරට ගැනීම දෙලොව යහපත නිරතරුවම උදා කරන බවයි. එවැනි උත්තම කල්‍යාණ මිතුරන් අනෙකා අයහපත් මගට යන විට කෙසේ හෝ වළකා ගැනීමට උත්සාහ ගන්නා අතර, එසේ නොහැකි නම් අවවාදයෙන් හෝ දඬුවමින් හෝ නිසි මග පෙන්වන බව ධර්මයෙහි දැක්වේ.

‘නීධීනං ව පවත්තාරං – යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදිං මේධාවී- තාදිසං පණ්ඩිතං භජේ
කාදිසං භජමානස්ස – සෙය්‍යො හෝති න පාපියො”

යනුවෙන් පණ්ඩිතයා වරද පෙන්වාදීම නිධානයක් පෙන්වාදීමක් ලෙස ඉහත ගාථාවෙන් බුදුන් වහන්සේ දක්වා ඇත. මේ නිසා නූතන සමාජය සෑම අංශයක් තුළින්ම අන්ත පරිහානියට පත්වී ඇති කාල සමයක පුද්ගලයා තවදුරටත් ඇසුරු කරනු ලබන්නේ ද මිත්‍ර ප්‍රතිරූපකයන්ය. සැබෑ අවංක සත්පුරුෂයන් ඉවත දමා පාපයට මග සලසා දෙන අසත්පුරුෂ ඇසුර සමාජ පරිහානියට බොහෝසෙයින් හේතු සම්පන්න වී තිබීම කනගාටුවට කරුණකි.

විශේෂයෙන් මෙලොව දවිමගට හේතුවන කරුණු ලෙස බුදුරදුන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ‘කල්‍යාණ මිත්තතා’ යනුවෙන් දක්වා තිබීම තුළින් ද පැහැදිලි වන්නේ පුද්ගල ඇසුර සමාජ ප්‍රගමනයට ඉතා හේතුවන බවයි. ධන පරිහානිය පිළිබඳ කරුණු දැක්වීමේදී ද බුදු හිමියන් පාප මිත්‍ර ඇසුර විනාශය සඳහාම මගපාදන්නක් ලෙස උගන්වා ඇත. මෙකී කොටස් දෙක පිළිබඳ අවබෝධ කර නොගත් බෙහෝදෙනාට සිදුවන්නේ නිසි ඇසුරක් නොමැතිව පරිහානියට පත්වීමටයි. ගිහි පැවිදි දෙපක්ෂයටම මෙකී කරුණු අතිශයින් වැදගත් වන අතර ඇතමෙක් සත්පුරුෂයා, කල්‍යාණ මිත්‍රයා යැයි සිතන්නේ තම වාසියට වැඩ කරන ආත්මාර්ථකාමීන්ය. ඔවුන් තම වාසි ලබාගැනීමෙන් පසු සිදු කරනු ලබන්නේ විවිධ කරුණු මුල්කොටගෙන දොස් නැගීම හා අවලාද නැගීමයි.

සත්පුරුෂයා කිසිවිටෙකත් එවැනි ක්‍රියාවන් නොකරන අතර කෙසේ හෝ යහපත පෙන්වා දීමටම ක්‍රියා කරයි. මෙම අවබෝධය නොමැති කල සිදුවී ඇති සමාජ පරිහානිය සුළුපටු නොවන අතර, ඒ තුළ තවදුරටත් සිදුවන්නේ විනාශයම පමණි. බුදු දහම තරම් ඇසුර පිළිබඳ නිරවුල්ව උගන්වන වෙනත් දර්ශනයක් ලොව නොමැති හෙයින් විවිධ සූත්‍ර දේශනා තුළ විවිධ උපමා රූපක උපයෝගි කොටගෙන එය දක්වා තිබීම අගය කළ යුත්තකි. ඒ නිසාම බෞද්ධ අප පිංකමක් කොට අවසානයෙහි ප්‍රාර්ථනාවට නගන්නේ ද ඉමිනා පුඤ්ඤකම්මේන මාමෙ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබ්බාණ පත්තියා” යනුවෙන් නිවනට යනතුරු පාප මිත්‍ර ඇසුරින් තොර සත්පුරුෂ ඇසුරම ලැබේවා’යි යනුවෙනි.

දර්ශනපති – කනංකේ විජිත නන්ද හිමි
සංස්කරණය  – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment