වී කිලෝවේ සහතික මිල වැඩිකරන්නැයි පොලොන්නරුවේ උද්ඝෝෂණ

74

වී කිලෝවේ රජයේ සහතික මිල වැඩිකර දෙන ලෙස ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීහු ඊයේ (07) පොලොන්නරුව නගරයේ දී උද්ඝෝෂණයක නිරත වූහ.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල මහා වාරිමාර්ග ව්‍යාපාරයන්ට සහ මහවැලි බී,ජී,සහ සී කලාපවලට අයත් ගොවි නායකයන් සහ ගොවි ජනතාව මෙයට එක්ව සිටි අතර පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය මෙම විරෝධතාව සංවිධානයකර තිබුණි.

දැනට රුපියල් 100ක්ව පවතින වී කිලෝවේ රජයේ සහතික මිල රුපියල් 140ක් දක්වා වැඩිකර එම මිල ගැසට් කරන ලෙස රජයට බලකරන බව උද්ඝෝණයට එක්ව සිටි ගොවි ජනතාව එහි දී කියා සිටියහ.

එසේ කිරීමට රජය අපොහොසත් වන්නේනම් වී කිලෝවේ නිෂ්පාදන වියදම අඩුකරගැනීම සඳහා සියයට පනහක පොහොර සහනාධාරයක් සහ සියයට පනහක ඉන්ධන සහනාධාරයක් ලබාදියයුතු බව ද කීහ.

පොලොන්නරුව රෝහල හන්දියේ සිට කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ පොලොන්නරුව නගරයේ ඔර්ලෝසු කනුව දක්වා පැමිණ විරෝධතාව දැක්වීමෙන් පසුව විසිර ගියහ.

ඉන්පසුව ඔවුහු සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් රජයට භාරදීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා අතට පත්කරන බව දැනුම්දුන්හ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment