මෛත්‍රීගේ යෝජනාවට රනිල් එකඟ වෙයි: දිස්ත්‍රික් සංවර්ධන සභා යළි පිහිටුවනවා

215

දිස්ත්‍රික් සංවර්ධන සභා නැවත පිහිටුවීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) සඳහන් කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම සභා නැවත පිහිටුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වන අතරතුර නැගී සිටි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඊට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ‘බොහොම ස්තූතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සම්පූර්ණ සහයෝගය දෙනවා’ යැයි කියා සිටියේය.

දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීමෙන් පළාත් සභාවලටත් වඩා පහළට බලය බෙදීමට හැකි වන අතර වැඩිපුර මුදල් නාස්තිය, වාහන භාවිතය අඩුවීම මෙන්ම අමතර සම්පත් වැය නොවන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

දිස්ත්‍රික් සභා පිහිටුවා අවශ්‍ය ව්‍යවස්ථාපිත බලය ලබාදී එම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන්, නිලධාරීන් එක්කොට එම සභාව පිහිටු වුවහොත් දේශපාලනික අර්බුද ද විසඳාගත හැකි වන බවත් එම පළාත්වල පන්සල්, කෝවිල් සහ පල්ලිවල ඇති ප්‍රශ්න විසඳා ගත හැකි බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment