ගල්අඟුරු නොලැබුණොත් ලබන වසරේ රටම අඳුරේ

220

නොරොච්චෝල ලක්විජය බලාගාර කළමනාකරු

අවශ්‍යතාව අනුව ගල්අඟුරු සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා ඇති බව නොරොච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර නාලක විජේකෝන් මහතා පවසයි.

“මෙරට ප්‍රධාන විදුලි ධාරිතාව රැගෙන යන ප්‍රධාන

බලාගාරය නොරොච්චෝල ලක්විජය බලාගාරයයි. ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන් සියයට 40 කට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙනවා.

වාර්ෂිකව මෙම බලාගාරයෙන් ගිගාවොට් 5400ක් විදුලි අවශ්‍යතාව සපුරා දෙනවා. එසේ විශාල ධාරිතාවක් ලබාදීමට ගල්අඟුරු ටොන් මිලියන දෙකක් පමණ අවශ්‍යයි. ගිගාවොට් පැය 5400 ක විදුලිය නිපදවන්න ගල්අඟුරු නැව් 38 ක් වාර්ෂිකව අවශ්‍යයි. එම නැව් ප්‍රමාණයෙන් අඩක් මේ වන විට පැමිණීම අනිවාර්යයි. එයට හේතුව වාරකන් කාලයට පෙර ගල්අඟුරු නැව් 38ක ගල්අඟුරු තොග නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය භූමියට ළඟා වී ගොඩබෑම අවසන් කළ යුතුයි. වාරකන් කාලය නැවත පටන් ගන්නේ 2023 අප්‍රේල් මාසයේ. ඒ වන විට සියලු ගල්අඟුරු ගොඩබා අවසන් විය යුතුයි. එසේ වන්න නම් මේ වන විට අඩුම තරමින් එයින් අඩක් බලාගාර භූමියට ගොඩබෑම සිදුවිය යුතුයි. නමුත් මේ වන විට අපිට ලැබී ඇත්තේ ගල් අඟුරු නැව් හතරක් පමණයි. තව එක නැවක් පැමිණෙනවා. එය තාමත් ළඟා වී නැහැ. මේ තත්ත්වය අනුව ලබන වසරේ ලක්විජය බලාගාරය නිපදවන සමස්ත විදුලි ධාරිතාවම නිපදවීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. මොකද ඉතිරි ගල්අඟුරු නැව් ප්‍රමාණය පැමිණියත් අපිට තිබෙන පහසුකම් අනුව ඉතිරි නැව් 34 ක ගල්අඟුරු ගොඩබෑමට හැකියාවක් නැහැ.

අපිට තිබෙන පහසුකම් අනුව මසකට ගල්අඟුරු නැව් හයක් පමණ තමා ගොඩබෑමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා ලබන වසරේ අපේ බලාගාරයෙන් ගිගාවෝට් 5400 ලබා දීමේ හැකියාව අහිමි වෙනවා. මේ නිසා 2023 වසරේ රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවීමේ බරපතළ අවදානමක් මේ වන විට නිර්මාණය වෙලා” යැයි නාලක විජේකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අමරනන්ද විජේසේකර -මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment