සංඝයා වහන්සේලා ධර්මය අනුව කටයුතු කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

140

පරාභව සූත්‍රයේ භික්‍ෂූන් ගැන සඳහන් නෑ

2023 අය වැය විවාදය

ලංකාව රැකුණොත් පමණයි ශාසනය රැකෙන්නේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කර ගත යුතුයි – සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ)
ආණ්ඩුවේ කතාව මඩ ගැහීම විතරයි ප්‍රශ්නවලට උත්තර නෑ – කාවින්ද ජයවර්ධන (සජබ)

පරාභව සූත්‍රයේ භික්‍ෂූන් වහන්සේලා ගැන කථා කර නැති බවත් අපේ සංඝයා වහන්සේලා ධර්මය අනුව කටයුතු නොකළොත් ප්‍රශ්න ඇති වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. කාරක සභා වාර්තා, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම අමාත්‍යංශ නිවේදන හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ එහි දෙපාර්තමේන්තුහි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්,

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා (ස.ජ.බ) –

මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය තමයි ඖෂධ හිඟය. අද අත්‍යවශ්‍ය ඖෂධ වලින් 636න් 135ක් නෑ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ වලින් 400න් 190න්ම නෑ. මේවන විට හෘද රෝගීන් වෙනුවෙන් ලබා දෙන හදිසි ඖෂධයක් වන ටීඑන්ටී කියන ඖෂධය නෑ. ඒ වගේම අයිවී සෙට් නෑ. නෝමල් සේලයින් තව තිබෙන්නේ මාසෙකට විතරයි. මේවා හරිනම් මාස තුනකටවත් සරිලන විදිහට තොග තිබෙන්න ඕනා. මේ ආර්ථික අර්බුදයම නොවෙයි ඖෂධ ගෙන්වීමේ ප්‍රමාදයයි හේතුව වෙලා තිබෙන්නේ. ඇති තරම් මුදල් තිබුනත් ඖෂධ ගෙන්වන්නේ නෑ. දැන් බලන්න කොරේ පිටට මරේ වගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිගය තිබෙනවා 24500ක්. මේ හිඟය පියවන්න අපට තව අවුරුදු පහ හයක්වත් යයි. මේ තත්ත්වය වැඩිදුරටත් බලපානවා. අවුරුදු 63 විශ්‍රාම සීමාව 60 දක්වා අඩු කිරීම නිසා. දැන් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යනවා. මේවාට පුරප්පාඩු පුරවන්න වෛද්‍යවරු නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා(ස.ජ.බ) –

ආණ්ඩුවේ අය කතාව පටන්ගන්නේම මඩ ගහලායි. ප්‍රශ්නවලට උත්තර නෑ. දැන් විගණන වාර්තාවක් ගැන කතා කළා ඒකේ දිනය කවදාද? මේ බොරුව නවත්වන්න. සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ පල්ලි ටික හැදුවා. ඒ වගේම පන්සල් හැදුවා. දහම් පාසල් හැදුවා. මුදල් දුන්නා. මේවාටත් චෝදනා කරන කුහක දේශපාලනඥයින් ගැන අපි කණගාටු වෙනවා. ඒත් අපි කියන්න ඕනා පුළුවන්නම් මැතිවරණයක් තියන්න.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා (ශ්‍රී.ල.පො.පෙ) –

ටෙන්ඩර් ක්‍රමය ලංකාවේ දූෂිතයි. මේ තුළ දූෂණය විශාල වශයෙන් සිදු වෙනවා.මේක වෙනස් කළ යුතුයි. අපි වංචාව දූෂණය ඉවත් කරලා මේ රට ගොඩ ගන්න කටයුතු කරමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

මා පළමුවෙන්ම ස්තුති වෙනවා විපක්ෂ නායකතුමා පරාභව සූත්‍රය ගැන මතක් කරලා දුන්නාට. ඒත් මම කියන්න ඕනේ පරාභව සූත්‍රයේ භික්ෂුන් වහන්සේලා

ගැන කතා කරලා නෑ. එහි තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්මය ගැනයි. විපක්ෂ නායකතුමා ධර්මයයි, සංඝරත්නයයි මිශ්‍ර කරලා තිබෙන්නේ. ඒක නොවෙයි එහි තිබෙන්නේ. අපි ජීවත් වෙන්න ඕනා ධර්මයෙන්. මම ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ. අපේ ශාසනයේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපි බලන්න ඕනේ ධර්මය අනුව ක්‍රියා කරන්න. අපේ සංඝයා ධර්මය අනුව කටයුතු නොකළොත් ප්‍රශ්න ඇති වෙනවා. අපි පළමු වතාවට කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත ගේනවා. ඇත්තටම යම්කිසි පාලනයක් තිබෙන්න ඕනා. මම දැක්කා විශ්වවිද්‍යාලයේ සිටින භික්ෂූන් වහන්නේ නමක් අපේ අස්ගිරි, මල්වතු හිමියන්ට බණිනවා. එහෙම කරන්නේ කොහොමද ඒ අය කව්ද? මේඅය භික්ෂූන්ද? වෛතුල්‍යවාදීන්ද? කියලා මට තේරෙන්නේ නෑ. සිවුර දැම්මා කියලා ඒකෙන් විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න. පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු වෙනවා. අපි ඇත්ත කතා කරමු. දැන් පැවිද්දන් විදිහට විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙනවා. ඒත් පිට වෙන්නේ ගිහියන් විදිහට. මේ ගැන තීරණයක් ගන්න ඕනා. පැවිද්දන් විදිහට ආවොත් ඒ විදිහටම යන්න. මේක මාරු කරන්න දෙන්න බෑ. ඇතුළු වන විදිහටම තමයි උපාධියත් දෙන්නේ. ඒ වැඩ කටයුත්ත ගිහින් කතා කර ගන්න ඕනා තමන්ගේ මහානායක ස්වාමීන් වහන්සේලා සමග. විශ්ව විද්‍යාලය ඇතුලේදීම ඒ ගැන කතිකාවත පටන්ගන්න ඕනා. ඒ වැඩ කටයුතු අපි කරමු. නැත්නම් මේ පවතින ක්‍රමවේදය ගියොත් මේ ශාසනය නැති වෙනවා. ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා ලංකාවේ ඉතිහාසය ගැන ආයතනයක් ඇති කරන්න. අපිට ඉතිහාසය අමතක වෙනවා. අපේ ඉතිහාසය දැන් අමතක වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉතිහාසය

ගැන ඇති කරන ආයතනය මගින් අපේ ඉතිහාසය ගැන දැනුම ඇති කරන්න, පර්යේෂණ ඇති කරන්න අවශ්‍යයි. අපි දන්න මහා වංශයට වඩා අද ඉතිහාසය වෙනස්. මහා වංශයේ තිබෙන්නේ සත්‍ය දින. ඒක වෙනස් කරන්න බෑ.ඒත් මහා වංශයේ තිබෙන්නේ එක් කණ්ඩායමකගේ අදහස්. තවත් අදහස් තිබෙනවා. අපි මේ ගැන බලලා ලංකාවේ ඉතිහාසය ගැන මේ ආයතනය ඇති කරලා ඒක ඉදිරියට ගෙනයන්න ක්‍රියා කරමු. ඒ වගේම මම සෞඛ්‍ය ඇමැතිතුමාට ප්‍රශංසා කරන්න කැමතියි. අපි මේ අයවැයේදී තීරණය කළා අපිට උවමනා වන වෛද්‍ය පීඨ තුනක් ඇති කරන්න. එකක් ඌව වෙල්ලස්ස, අනෙක කුරුණෑගල. අනෙක පොලොන්නරුවේ. ඒ වගේම වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධිය ලබා ගැනීම සඳහා කොළඹ එකක් තිබෙනවා. අපි තවත් තුනක් ගේනවා. මේක විශාල පිම්මක්. ඒ වගේම අපේ වෛද්‍ය පර්යේෂණායතනය අපි මීට වඩා දියුණු කරන්න ඕනා. මුදල් හොයාලා දෙන්නම් පිටරටින්. අපි වෛද්‍ය විද්‍යාවේ දියුණුවට අපේ උපකාරය දෙනවා. මගේ ප්‍රශ්නය තිබෙන්නේ අපි අද වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලක්ෂ 60ක් වියදම් කරනවා. ඒත් ඒ අය පිටරට යනවා. මේක විශාල ප්‍රශ්නයක්. අපි මේකට මොකක්ද කරන්නේ කියලා සාකච්චා කරමු.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

ජනාධිපතිතුමා බෞද්ධ කතිකාවත ගැන කතා කළා. ඒක යහපාලන ආණ්ඩුව කාලේ හදපු එකමද?

රනිල් වික්‍රමසිංහ මහතා –

නෑ ඒකට සංශෝධන කිහිපයක් එක් කරලා තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

බෞද්ධ කතාකාවතට සියම් නිකායේ විරෝධයක් තිබුණා.

රනිල් වික්‍රමසිංහ මහතා –

ඒ නිකායන් තුනට කතිකාවන් තුනක් තිබෙනවා.

(හේෂා විතානගේ මහතා මූලාසනයට පැමිණේ)

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක් අබේසිංහ (සජබ) –

රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 25 යි නිෂ්පාදනය කරන්නේ. ඉතිරිය ආනයනය කරනවා. බොහෝ ගබඩා කිරීම නිසිපරිදි වන්නේ නෑ. කොරිඩෝවලත් බෙහෙත් ගබඩා කරලා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිණී විජේරත්න (සජබ) – අවුරුදු 5 ට අඩු දරුවන්ව මන්දපෝෂණයෙන් බේරෙන්න හදලා තියෙන වැඩසටහන මොකද්ද? කිසිම සැලැස්මක් නෑ. ගර්භනී මවුවරුන් ළදරුවන් ඉන්න මව්වරුන් දැඩි ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ) – ලංකාව රැකුනොත් තමයි ශාසනය රැකෙන්නේ. රට

රැකීමට ඒකීයතාවය ආරක්‍ෂා කරගත යුතුයි. දැනටමත් උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ වෙමින් පවතිනවා. උතුරෙන් සිංහල ජනයා පලවා හැරියා. මේවා කරන අයත් සමග සංහිඳියාවක් තියා ගන්නෙ කොහොමද.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජාජබ) –

ගිය වසරට වඩා මේ වසර සෞඛ්‍යයට වැය කළ මුදල අඩුයි. ඒ කියන්නේ මේ වසරට වඩා ලබන වසර ජනතාවට ඉතා ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. සමහර රෝහල්වල ප්‍රධාන ඖෂධ නෑ. අක්‍ෂි කාච නැහැ. මේ නිසා ඇස් අන්ධ වෙලා. ඊසීජී පරීක්‍ෂණ පිටින්

ගන්න වෙලා. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුක්ඛිත තත්ත්වයට පත් කරලා. ආණ්ඩුව මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම මීට වඩා වැඩිපුර සිදු කළ යුතුයි.

පාර්ලිමේන්තුව අද 29දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment