මෛත්‍රී ඩලස් විමල් යාපා හෙළිකොප්ටරයට නගිද්දී අලි පොහොට්ටු අර්බුදයක්…

616

තවත් අසීරු සතියක් ගෙවී ගියේය. රජය රාජ්‍ය ආදායම වැඩි කරගන්නට දන්නා හා නොදන්නා සෑම උපක්‍රමයක් ම අනුගමනය කරමින් සිටිති. ඒ අතර මේ රටේ බහුතර සාමාන්‍ය ජනතාව සිටියේ යාන්තමින් ජීවත් වන්නට උපක්‍රම සොයමිනි.

රටට කොතරම් අසීරු වුවත් මේ දිනවල දේශපාලන කරලියේ වැඩිපුරම කතාබහ වන මාතෘකාව ඒ කිසිවක් නොවේ. මාතෘකාව පුංචි ඡන්දයයි.

නියමිත දින වකවානුවලට අනුව පුංචි ඡන්දය පවත්වන්න යැයි රජයට බලපෑම් කරමින් පහුගිය දිනවල දිගින් දිගටම පූර්ව ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි විපක්ෂයේ පක්ෂ දෙකක් පුංචි ඡන්දය පැවැත්වීම ගැන සමාජයේ වැඩිපුර කතාබහ කරමින් සිටියහ. ඒ සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගයයි. ඒ දෙගොල්ලොම ඒ ගැන කොතෙක් වැඩිපුර කතා කළද යත් අද වන විට ඒ දෙගොල්ලන්ද වේදිකාවේ දේශපාලනිකව බැණ අඬගසා ගන්නා තත්ත්වයට දේශපාලන කරලිය උණුසුම් වී තිබිණි.

● පුංචි ඡන්දය ගැන ආණ්ඩුව අර්බුදයක..

පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ තරම් උණුසුමක් සමාජයේ තිබුණත් ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයෝ මේ ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. පොහොට්ටුවේ කණ්ඩායම මුල පටන්ම පුංචි ඡන්දයක් සඳහා සූදානම් වෙමින් සංවිධාන කටයුතු මෙහෙය වන්නට පටන් ගත්තත් ඔවුන් සමග සන්ධානගත වී ඡන්දය ඉල්ලන්නට සූදානමින් සිටිනවා යැයි කියන ජාතික පක්ෂය පැත්තෙන් ඒ සඳහා කිසිදු සූදානමක් නොවීය. කොටින්ම කිව්වොත් එජාප නායකයා වන රනිල් වික්‍රමසිංහ ඒ ගැන කතා කරන්නටවත් වැඩි උනන්දුවක් දැක්වූයේ නැත… මැතිවරණය ගැන විමසන අයට ඔහු දුන් පොදු උත්තරයක් තිබිණි.

“ඔය ගැන මගෙන් අහන්න එපා. මම මේ රටේ ජනාධිපති. මම දැන් මැතිරණවලින් අයින් වෙලා ඉන්නේ. මැතිවරණ ගැන කතා කරනවාට වඩා මට ඊට එහා ගිය කාරණාවක් තියෙනවා කතා කරන්න. මේ රටේ ආර්ථිකය බොහෝම අමාරුවෙන් ඉස්සරහට යන්නේ. රටේ ජනතාව දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බව දැන දැන එතනින් ගොඩ එන්න පිළියම් හොයන්නේ නැතුව ඡන්ද ගැන කතා කරන්නේ කොහොමද. මේ තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් හොයා ගත්තෙ නැත්තං අපි ඔක්කොටම රටක් හැටියට ගිලෙන්නයි වෙන්නෙ…”

සඳුදා දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද මේ ප්‍රශ්නය ගැන කතා කළ ඇමැතිවරුන් විවිධ ප්‍රශ්න මතු කර සිටියහ…

“අපි ඕනම වෙලාවක මැතිවරණයකට මුහුණ දෙන්න ලෑස්තියි. මැතිවරණවලට බය නෑ. ඒ වුණ0ාට මේ මැතිවරණ කොමිෂන් එක වැඩ කරන විදිහ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට වැඩ කළොත් රටට මේ කොමිෂන් එක ගැන බලාපොරොත්තු නැති වෙයි.”

ප්‍රසන්න එසේ කියද්දී මනූෂ නානායක්කාර තවත් චෝදනාවක් එක් කළේය.

“මැතිවරණවලට අදාළ පූර්ව කටයුතු කිසි දෙයක් කොමිසම තවම කරල නැහැ. මේ තියෙන ප්‍රශ්න ගැන නීතිපති උපදෙස් ගන්න කිව්වට එහෙම ගිහිල්ලත් නෑ…”

“නෑ නෑ…

මම හම්බවෙලා අහද්දි මට එයාල කිව්වනේ නීතිපති උපදෙස් ගන්න යනවා කියලා.

“අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඡන්දයක් නෙමෙයි ඕන. මිනිස්සුන්ට ඕන මේ ආර්ථික පීඩනයෙන් මිදිලා නිදහසේ ජීවත් වෙන්න. එයාලා ඡන්ද ඉල්ලන්නෙ නෑ.. ඡන්දයක් ඕන වෙලා තියෙන්නෙ සමහර දේශපාලන පක්ෂවලට. උඩිං ඡන්දෙ ඉල්ලුවා ට යටින් ලොකු බයක් තියනවා.” බන්දුල කිව්වේ ය.

මැතිවරණ කොමිසම මූලික නිල රාජකාරි නොකරන පසුබිමක තේරීම් භාර නිලධාරීන් පක්ෂවල ඇප මුදල් භාර ගැනීම නීති විරෝධී බව පිරිසක් කියන්නට විය.

“එහෙම නම් ඇප මුදල් භාර ගැනීම නතර කරන්න කියලා තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දෙන්න.. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියන්න…”

එදා ඒ සාකච්ඡාව එලෙස අවසන් විය. අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇප මුදල් භාර නොගැනීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණත් ඒ වන විට මැතිවරණ කොමිසම නීතිපතිවරයාගේ උපදෙස් රැගෙන අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර තිබීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අදාළ ලිපිය නැවත කැඳවා තිබිණි.

● ආණ්ඩුවට විපක්ෂයට විකල්ප හෙළිකොප්ටරය…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් පදවිය තිලංග සුමතිපාල භාරගත් දා පටන් ඔහු සිය සහෝදර දේශපාලනඥයන්ට අභියෝගයක් කළේය…

“මම කොහොමහරි එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ රටේ ප්‍රබලම දේශපාලන සන්ධානයක් බවට පත් කරලා කරළියට ගෙනවා.”

ඔහු එදා පටන්ම ඒ සඳහා වෙහෙස මහන්සි වූයේය. මේ රටේ ආණ්ඩු සෑදිය හැකි ලොකුම බලවේගය හා ශක්තිමත්ම පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය යැයි ඔහු පෙන්වාදුන්නේ කරුණු කාරණා කිහිපයක් මුල් කරගෙන ය.

“බුලත් කොළය කියන්නේ මේ රටේ වාසනාවන්තම ඡන්ද ලකුණ. ඒ ලකුණෙන් මේ සන්ධානයෙන් 2004 ඉඳලා අපි මේ රටට ජනාධිපතිවරු දෙන්නෙක් බිහි කරලා තියෙනවා. මහමැතිවරණ තුනක් දිනලා තියෙනවා. පළාත් සභා විස්සක් පිහිටුවලා තියෙනවා. මන්ත්‍රීවරු 1070 ක් බිහි කරලා තියෙනවා. එහෙම ලකුණ තියෙන එහෙම පක්ෂයක ඉඳගෙන තමයි අපි අද එක් එක්කෙනා පස්සෙන් යන්නේ. ඒ ක්‍රමයෙන් බැහැර වෙලා අපි දැන් නැවත සන්ධානය ගොඩනඟලා විපක්ෂයේත් ආණ්ඩුවේත් ඉන්න හොඳ මිනිස්සු එක වහළක් යටට ගේන්න මෙහෙයුම පටන් ගන්න ඕන…”

තිලංග එසේ කියද්දී මෛත්‍රී ඔහුගෙන් එක ප්‍රශ්නයක් ඇසුවේය… කතාවට කියන්න පුළුවන්. ඕක කරලා පෙන්නන්න පුළුවන්ද…?”

“හොඳයි එහෙනම් අපි කරලම පෙන්නමු… නේ…”

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමගම සාකච්ඡා කරන්නට වූහ. මුලින්ම විමල්ලා සමග කතා කරන්නට පටන් ගත්හ. දෙවනුව ඩලස්ලාගේ එකමුතුව සමග කතා කළහ. සමසමාජ කොමිනිස්ට් ආදී පැරණි වමේ පක්ෂ සමග කතා කළහ. ආණ්ඩුවෙන් හුදෙකලා වී සිටින අනුර යාපාලා වැනි අනෙකුත් මන්ත්‍රීවරු සමඟ ද කතාබහ කළහ. ඉදිරියේදී තිබෙන මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමේ ඉලක්කය පෙරටු කරගෙන පැවැති මේ සාකච්ඡාවන් වට ගණනාවක් තිස්සේ දිගින් දිගටම ඉදිරියට ඇදී ගියේය.

මේ සාකච්ඡාවන්හි අවසන් ප්‍රතිඵලය වූයේ “නිදහස් ජනතා සන්ධානය” නමින් පසුගිය එකොළොස් වැනිදා කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අලුත් සංධානයක් සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් ගිවිසුම්ගත වීමයි.

“එතකොට කවුද මේකේ නායකයා. මොකක්ද මූලික වෙන දේශපාලන පක්ෂය…” පාර්ශ්ව කීපයකින්ම ප්‍රශ්නයක් ඇතිවිය.

“අපිට නායකයෙක් ඕන නෑ… වැඩකටයුතු සංවිධානය කරන්න ලේකම්වරයෙක් හිටියොත් ඇති. අපි හොඳට කල්පනා කරල හැමෝමත් එක්ක කටයුතු කරන්න පුළුවන් ලේකම්වරයකු යොදා ගමු…”

ඒ අනුව නායකත්වයට නොව, මේ නව සන්ධානයේ ලේකම්වරයා වීමට යම් සීතල යුද්ධයක් ඇතිවිය. එක එක්කෙනාගේ නම් එක එක්කෙනා රහසේ ප්‍රසිද්ධ කරන්නට වූහ. ඒ අතර සාකච්ඡාව අතරතුර විමල් සෘජුවම කීවේ මේ පාර්ශ්ව හැමෝමත් එක්ක සුහදව
ගනුදෙනු කළ හැකි තිලංග සුමතිපාල දිගටම එම තනතුරේ රැඳී සිටීම නව සන්ධානයේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වනු ඇති බවයි.

ඒ අනුව එදා ගිවිසුම්ගත වූ පක්ෂ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, අනුර යාපාලගේ ජනජය පෙරමුණ ආදී කණ්ඩායම් ගණනාවක් එක්ව සිටියහ. පක්ෂ හා සංවිධාන හැටියට ගතහොත් ජාතික නිදහස් පෙරමුණ, කොමිනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, හෙළ උරුමය, විජය ධරණී සභාව, යුතුකම සංවිධානය ආදී කණ්ඩායම් 30 කට අධිකය. සියලු කණ්ඩායම් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිහකට අධික ය. හිටිහැටියේ වැඩි සද්ද බද්දයක් නැතුව මෙවන් ජාතික සංවිධාන රාශියක් එකට එකතු වී අලුතින් සන්ධානයක් පිහිටුවා ගැනීම පිළිබඳ දේශපාලන කරළියේ පැතිරයෑම බොහෝ දේශපාලනඥයෝ යම් තැති ගැන්මකට ලක් කළ කාරණාවක් විය.

උත්සවයෙන් අනතුරුව කෙරුණු සුහද කතාබහේදී වැඩි දෙනෙක් මේ සන්ධානයේ නිමැවුම්කරුවා ලෙස ස්තුතිය කළේ තිලංග සුමතිපාලට ය…

ලේසි නෑ නේද වැඩේ….

“ඔව් ඉතින් කවුරුත් දන්නවනේ… කෙරුවෙත් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්… ඉස්සරහටත් එහෙමම තමයි.

ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන කතා කළේ නිදහස් සතුටිනි… පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ගියපු අයව අපි එළවලා දැම්මා. සන්ධානයේ මහ ලේකම් කමට මම තිලංගව පත් කරනකොට සමහර අය නඩු දැම්මා. අපි බය වුණේ නෑ. අපි අත ඇරියේ නෑ. මේ වැඩේ දිගටම කරගෙන ගියා. අන්තිමට විපක්ෂයේ ඉන්න අයගේ ඇඟේ පතේ කුණු ගා ගත්තේ නැති දක්ෂයෝ ටික ටික එක තැනකට ගේන්න අපට පුළුවන් වුණා. “මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මෛත්‍රී ඒ කතාව කීවේ ප්‍රශ්න රාශියකට උත්තරයක් ලෙසය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග විපක්ෂයේ ඩලස්ලා විමල්ලා වාසුලා උදයලා එකට එකතු වීම ගැන මේ සිදුවීමෙන් පසුව සුබවාදී ආකල්ප සමාජය පුරා පැතිර යන්නට විය.

විපක්ෂයේ ප්‍රධාන දහරාවන් මේ ආකාරයට එක්වී ඉදිරි ඡන්ද ඉලක්ක කරගෙන සන්ධානගත වෙද්දී එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සම්බන්ධතාව ටිකෙන් ටික ඈත් වන ලකුණු පෙන්නුම් කළ අවස්ථා කීපයක් අපට දැකගත හැකි විය.

● තනියම ඉල්ලන්න පොහොට්ටුව ලෑස්තිලු…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ සැලසුම් සකස් කළේ ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණයකට මුහුණදීම සඳහාය. ඒ වනවිටත් ඉදිරි මැතිවරණ එකට එකතු වී ඉල්ලන්නට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර නිහඬ එකඟතාවක් තිබුණු බව රහසක් නොවේ.

එහෙත් පසුගිය දිනවල දෙපාර්ශ්වයෙන්ම මේ සඳහා අලුත් අදහස් පැන නඟින්නට විය…

“අපි ගම්වලට ගිහිල්ලා මිනිස්සුත් එක්ක වැඩකරලා ඡන්ද හොයාගෙන මැතිවරණ කරන්නේ කාවවත් දිනවන්න නෙවෙයි. පෙහොට්ටුව තනියෙන් ඉල්ලන්න ඕන. සන්ධාන ගහලා ඉල්ලුවා කියලා අපිට කිසිම වාසියක් නෑ.

ගම්වල මිනිස්සු රනිල් එක්ක නෑ. ඉන්නේ සජිත් එක්ක.”

පොහොට්ටුව පැත්තෙන් ඔය තර්කය ගමෙන් වතු වුණා සේම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ද ඒ තර්කයම මතු වන්නට විය.

“අපි අලියා ලකුණෙන් තනියෙන් ඉල්ලුවොත් තමයි අපට ඡන්ද හම්බවෙන්නේ. අපේ මිනිස්සු පොහොට්ටුවට දෙන්නෙ නෑ…”

දෙපැත්තෙන්ම ඔය තර්කය මතු වන අතර තුර රනිල් ඒ කිසිවකට උත්තර දෙන්නට නොගොස් නිහඬව සිටියේය. එහෙත් ඒ සම්බන්ධයෙන් වජිර අබේවර්ධන අවස්ථා ගණනාවක දීම අදහස් පළ කරන අයුරු අපට දැකගත හැකි විය.

පසුගිය සතියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සමාජ සත්කාරක පදනමක් විසින් පැවැත්වූ උත්සවයකට සහභාගි වූ වජිර එහිදී අපූරු කතාවක් කීවේ මෛත්‍රීපාල සිරිසේන ද ආරාධිතයකු ලෙස සභාවේ රැඳී ඉන්න අතරතුරදීය.

“අපේ ජනාධිපතිතුමා ඉතාමත්ම තීරණාත්මක මොහොතක රට භාර ගන්න විට ජනතාවට වුවමනා වෙලා තිබුණේ එක බලාපොරොත්තුවයි. මේ කඩා වැටුණු ආර්ථිකය ඉක්මනින් වෙනස් කරලා ජනතාව පෝලින්වලින් මුදවාගෙන ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරන්න. එතුමා එක කළා. ඊළඟට වැටී තිබූ රට හා ආර්ථිකය ගොඩනඟන්න. දැන් ඒ අභියෝගයට එතුමා මුහුණ දීලා ඉන්න වෙලාවක මැතිවරණයක් පවත්වන්න කියලා සමහරු කෑ ගහන්න පටන් අරන්. ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති මොහොතක මැතිවරණයක් පැවැත්වීම තුළින් වෙන්නේ රට නැවත කඩාවැටිලා ජනතාව අසරණ වෙන එක. මේ රටට ආදරය කරන අය ඉන්නවනම් කරන්න ඕන ජනාධිපතිතුමා කරගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන එක නෙවෙයි. එතුමන්ට ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න උදව් කරන එක.” වජිර එසේ කියමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල දෙස බැලුවත් ඔහු නිහඬව සිටියා මිස ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට උත්සාහ කළේ නැත.

● තනි සටනකට ගම්පහ සූදානමින්…

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය කරන්නට පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් ක්‍රියා කළේ ය. පළාත් පාලන මැතිවරණය එකට ඉල්ලන්නට ඉහළ සාකච්ඡා ගියත් මෙබඳු සිදුවීම්වලින් පැහැදිළි වූයේ දෙපිරිස අතර අභ්‍යන්තරයේ තිබෙන ගැටලුව බව බොහෝ දෙනකුට රහසක් නොවීය.

ඇමැති ප්‍රසන්න මේ පිළිබඳ හොඳ අවධානයක සිටියේය.

දෙසතියකට ආසන්න කාලයක් ඉන්දියාවේ සංචාරයක නිරතවූ ඇමැති ප්‍රසන්න රණතුංග මෙරටට පැමිණියේ පසුගිය ඉරිදා උදෑසනය.

8 වැනි ඉරිදා ලංකාවට පැමිණි වහාම ඇමැති ප්‍රසන්න කෙලින්ම ආවේ උඩුගම්පළ කාර්යාලයටය. ඇමැතිවරයා කාර්යාලයට එනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ප්‍රධානීන්, මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ද එතැනට පැමිණ සිටියහ.

“ඡන්දෙදී මොකද කරන්නේ. අපි කතාකරන්න ඕන දේවල් මෙතනම කතා කරගම්මු. මම බැසිල් ඇමැතිතුමා හම්බවෙන්න යනවා. ඊට කලින් මෙතන තීරණය දැනගන්න ඕන”

ඇමැතිවරයා කෙලින්ම පැවසීය.

“අපි පොහොට්ටුවෙන්ම ඉල්ලමු” බොහෝ දෙනකු කී අතර තවත් කිහිප දෙනකු කීවේ දිස්ත්‍රික්කයේ කිහිප තැනකට ස්වාධීනව තරග කළ යුතු බවය.

“මොන දේ වුණත් අපිට දේශපාලනය කරන්න පක්ෂයක් තියෙනවා. හුඟ දෙනෙක්ට ඕන වුණේ අපේ පක්ෂය ඉස්සරහට එන එක වළක්වන්නයි. අරගලකාරයන්ට ඕන වුණෙත් ඒකමයි.”

ඇමැති ප්‍රසන්න දීර්ඝ කතාවකට සූදානම් වෙමින් කීය.

“සාමාන්‍ය මිනිස්සු අරගලය පටන්ගත්තේ ඒ අයට ඇත්තටම තිබුණු පීඩාව නිසයි. ඒත් කුමන්ත්‍රණකරුවෝ ඒක මගදී හයිජැක් කළා. දැන් මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නේ අරගලය නිසයි.”

“ඒක ඇත්ත සර්… සාමකාමීව විසඳගන්න තිබුණු සමහර ප්‍රශ්න අරගලය නිසා දිග්ගැස්සුණා”

පළාත් පාලන ප්‍රධානියකු කීය.

“මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ වෙන වාසියක් ගන්නයි. රටේ ආර්ථිකය යන්තන් ඔළුව උස්සගෙන එනවා. ආර්ථිකය ශක්තිමත් වුණොත් වෙන්නෙ මොකද්ද කියල විරුද්ධ පක්ෂය දන්නවා. විරුද්ධවාදීන් හිතන්නෙ මේ වෙලාවේ ඡන්දයකට යන එක අපිට අමරුයි කියල. හැබැයි මේ ඡන්දෙන් පැරදුණත් ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ. බොරදියේ මාළු බාන්න හදන කුමන්ත්‍රණකාරයන්ගේ උත්සාහය අපි කොහොම හරි පරද්දන්න ඕන.” ඇමැති ප්‍රසන්න දැඩිව පැවසීය.

එහිදී අදහස් දැක්වූ පළාත් පාලන ප්‍රධානීන් හා බොහෝ දෙනකු සඳහන් කළේ මේ මොහොතේ පොහොට්ටුව අත්හැරිය නොහැකි බවයි.

● අනුරාධපුර ඔයාමඩුවේ බෙහෙත් හදන ගමක්…

එකොළොස් වන බදාදා රාත්‍රියේ තවත් සුවිශේෂී දෙයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේ සිදුවෙමින් තිබිණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහි ප්‍රධාන ආරාධිතයා විය. ලංකාවේ සියලුම ප්‍රසිද්ධ ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ඖෂධ නිෂ්පාදකයන් මෙම දොස්තර ජයන්ත බලවර්ධන ප්‍රමුඛ ඉහළම පෙළේ වෛද්‍යවරුන් ද මීට සහභාගි වී සිටියහ. සැබැවින්ම එතන සිද්ධ වූයේ දැනට පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග විසිදෙකක් ලංකාවේ නිෂ්පාදනය කිරීමට අදාළ ආරම්භක නිල උත්සවයයි. ඖෂධ පමණක් නොව සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය සිරින්ජර් උපකරණ, කැතීටර්, සේලයින් බට පද්ධති ආදී නිෂ්පාදන රැසක්ද ලංකාවේ නිපදවන්නට මේ අනුව ඉදිරියේදී ඉඩකඩ සැලසේ.

ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නන්ගේ සංසදය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව ඖෂධ නිෂ්පාදනය සඳහා සුවසිරිපුර නමින් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් බිහි කිරීම මෙහි ප්‍රධානම ඉලක්කය විය.

සාකච්ඡාවෙහි නිල කටයුතු අවසන් කළ අමාත්‍යවරයා කෙළින්ම පැමිණියේ ලංකාවේ ප්‍රධානතම මාධ්‍ය ආයතන වල ක්‍රියාකාරීන් රැසක් සිටින මේසයකටය. ඔහු පැමිණ මඳ වේලාවක් මාධ්‍යවේදීන් සමග සුවදුක් කතා කරමින් සිට ආපසු යන්නට ගියේය. එහෙත් මේ විෂය ගැන දන්නා වඩාත්ම වැදගත් පුද්ගලයා එතන සිටියේය. ඒ වෛද්‍ය ප්‍රියා දිසානායකයි. එදින බිහිවූ හෙලිකොප්ටර් සන්ධානය ආදී දේශපාලන කතා ගැන නොයෙකුත් රස කතා හුවමාරු වන අතරවාරයේ ප්‍රියාගේ අලුත් වැඩේ ගැන කතා කරන්නට ද අවස්ථාවක් උදා විය.

“ඇත්තම කියනවා නම් මේක ආණ්ඩුවයි මේ රටේ ඖෂධ නිෂ්පාදකයෝ යි එකතුවෙලා කරන ලොකු ආයෝජනයක්. ඖෂධ හා උපකරණ වර්ග විසි දෙකක් මේ සුව සිරිපුර ආයෝජන ප්‍රවර්ධන කලාපය නිපදවනවා. අපි අද ඖෂධ 12ක් ගැන යෝජනා භාරදුන්නා ඇමතිතුමාට.

සාමාන්‍යයෙන් අපේ රට අවුරුද්දකට පිටරටින් ඖෂධ ගේන්න ඩොලර් මිලියන 700 ක් වියදම් කරනවා. අපි මෙතන නිපදවන ඖෂධ හා උපකරණ සීයට සීයක්ම ගේන්නේ පිටරටින්. අපිට පුළුවන් මෙතන නිෂ්පාදන ආරම්භ කළාට පස්සේ මුලින්ම ඩොලර් මිලියන 300 ක් විතර රටට ඉතුරු කරලා දෙන්න. නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න විතරක් 20% විතර යනවා.

මුලදී ලංකාවට අවශ්‍ය ඖෂධ මේ අයුරින් හදලා අපේ අවශ්‍යතාව සපුරා ගත්තට පස්සේ අපට පුළුවන් අවුරුදු හතරක් පහක් ගියාට පස්සේ පිට රටවල්වලටත් ඖෂධ අපනයනය කරලා ඩොලර් බිලියන එකක විතර ලාභයක් ලබන්න…”

දොස්තර ප්‍රියා ඒ විදියට ඔවුන්ගේ ව්‍යාපෘතිය ගැන පැහැදිලි කරන අතරතුර ද බොහෝ දේශපාලන කතා-බස් පැතිර ගියේ දේශපාලනයට සම්බන්ධ මාධ්‍යවේදීන් කීපදෙනෙක් ම එතන සිටි නිසාය…

“කොහොමහරි හෙලිකොප්ටරය නිසා එක දෙයක් වුණා… අපි බයේ හිටියේ සජිත් එක්ක කරට අතදාන් ගිහින් ඩලසුත් සන්ධාන ගතවෙලා විනාශ වෙයි කියලා. කොහොමහරි ඒක වැළකුණා. දැන් ඔන්න ආයෙත් අපටත් එයාලට ඡන්දයක් දෙන්න අවස්ථාව ලැබුණා”

ඒක නම් ලොකු දෙයක් තමයි කියමින් මාධ්‍යවේදීන් සිනහ වෙන්නට පටන් ගත්හ.

● කෝච්චියෙන් බසයෙන් යාපනය ගිය ඇමති..

අපේ රටේ දේශපාලනඥයෝ බස්වල කෝච්චිවල ගමන් යෑම එතරම් අරුමයක් නම් නොවේ. අතීතයේ එවන් දේ සිදු වුණත් මේ කාලයේ සිදු වන්නේ කලාතුරකිනි.

පසුගිය සතියේ එවන් එක් සිද්ධියක් වාර්තා වූයේ යොවුන් කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ආරම්භ කළ පළාත් ප්‍රවර්ධන වැඩසටහනක් නිසාය.

පසුගිය එකොළොස් වැනිදා කොළඹ සිට කුරුණෑගලට කෝච්චියෙන් ගිය අමාත්‍ය රොෂාන් ප්‍රමුඛ නිලධාරීන් වයඹ පළාත් යෞවන කටයුතු හා ක්‍රීඩා විෂයට අදාළ ප්‍රවර්ධන වැඩ කටයුතු ආරම්භ කළහ.

ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ සියලු පළාත් නිලධාරීන් ද දිසාපතිවරුද ප්‍රාදේශීය ලේකම්වරුද පොලිසිය ප්‍රමුඛ විෂයභාර නිලධාරීන් ද මේ සඳහා පැමිණ සිටියහ.

අමාත්‍යවරයා මෙහිදී කතාබස් කළේ යෞවන කටයුතු හා ක්‍රීඩා විෂයට අදාළව ඉදිරි වසරේ ක්‍රියාකාරකම් සම්බන්ධව ය. වයඹ පළාත් ශ්‍රවණාගාරයේ ලිච්ඡවී ශාලාවේ පැවති මෙම උත්සවයෙන් අනතුරුව එම සාකච්ඡාවේ උතුරු වැඩසටහන සඳහා යාපනය බලා පිටත්ව යා යුතු විය.

එම ගමන සඳහා දුම්රිය යොදා ගන්නට නොහැකි වූයේ මේ දින වල උතුරු දුම්රිය මාර්ගයේ ගමන් බිමන් නවතා කරනු ලබන සංවර්ධන කටයුතු රැසක් නිසා ය. එහෙත් ඒ සඳහා සුවපහසු බස් රථයක් ලබා ගන්නට අපහසු නොවීය.

ඒ අනුව ඇමැති ප්‍රමුඛ විස්සක් පමණ වූ නිලධාරීන් සියලු දෙනා යාපනේ ගියේ බස් රියෙනි.

උතුරු සාකච්ඡාව හා වැඩමුළු ද ඉතා සාර්ථක විය. තරුණයන් රැකියා අවස්ථා සඳහා ජපන් රටට යැවීම වැනි විෂයයන් පිළිබඳ සාකච්ඡාවට ලොකු උනන්දුවක් තිබිණි. අමාත්‍යවරයා ඒ පිළිබඳ ඇත්ත තත්ත්වය හෙළිදරව් කළේය.

ලක්ෂ තුනක් රැකියා සඳහා අවශ්‍යතාව තිබුණත් මේ වන විටත් රජය සපුරාලීමට සමත් ව සිටියේ රැකියා අවස්ථා අටසිය විස්සක් පමණක් බව ඇමැති කීවේය. විභාග කටයුතු හා ක්‍රමවේද තව තවත් ලිහිල් කර එම රැකියා අවස්ථා වඩවඩාත් ලබා දෙන්නැයි කියා තමන් පුද්ගලිකවම මැදිහත් වී තානාපති කාර්යාල හරහා දැනටමත් ජපන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් මෙවන් කටයුතු මේ ආකාරයේ වියදම් අඩුකම අඩු ක්‍රමවේද මගින් ගමට ගෙන යෑම ප්‍රශංසා කළ යුතු කාරණාවක් විය.

මේ අයුරින් තවත් උණුසුම් දේශපාලන සතියක් අවසන් විය. දේශපාලන කරලියේ උණුසුම තිබුණේ ළඟ ළඟ එන පුංචි ඡන්දය ගැන තිබෙන සංවාදය මතු වුවත් පුංචි ඡන්දය පැවැත්වෙන බවට නම් කිසිදු සහතිකයක් නොවීය.

පුංචි ඡන්දය සඳහා දැනටමත් ජයග්‍රාහී පාර්ශ්ව දෙකක් සිටීති. ඒ දෙගොල්ලෝම දැන් මහජන මතය තමන්ට බව විශ්වාස කරමින් වේදිකාවේ අවි අමෝරා ගෙන කෑ මොර දෙති. විපක්ෂයේ සිටින තවත් ප්‍රබල කණ්ඩායම් කීපයක් දැන් එක්සේසත් වී අවසන්ය. එය මේ රටේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක වැඩ කොටසක් ඉටුකරනු නොඅනුමානය.

ඒ අතර ආණ්ඩුවේ පාර්ශ්ව දෙක එකට ගමනක් යන්නට මුලදී සූදානම්ව සිටියහ. දැන් දෙගොල්ලොම වෙන් වෙන්ව ගමන් කරන්නට සූදානමක් ඇති බව දෙපැත්තෙන්ම පැහැදිලිය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment