ද්වාරකාට පණපොවා දෙමළ දරුවන්ට සයිනයිඩ් කැවීම

567

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණියගේ කටහඬට සමාන කටහඬක් යොදාගනිමින් අවි ආයුධ අතට ගන්නා ලෙස දෙමළ ජනතාවට බල කරන වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීම ඇතුළුව නීති විරෝධී ලෙස උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ ආරක්ෂක අංශ වෙතින් මේ ප්‍රතිඥාව ලබා දී තිබිණි.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන මතක සටහන් ඇසුරෙන් සකස්කරන ලද “එනතු මක්කලින් විදුතලයික්කාග” (‘මගේ ජනතාවගේ විමුක්තිය සඳහා) නම් ග්‍රන්ථය එළිදැක්වීම පසුගිය 12 වැනිදා ලන්ඩන් නුවරදී සිදුවිය. මෙම අවස්ථාවට ලන්ඩනයේ විවිධ දෙමළ සංවිධාන වල නියෝජිතයන්, මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම ඩයස්පෝරාවේ සාමාජිකයන් ද සහභාගිව සිටියහ. මේ සියල්ල සිදු කෙරෙන්නේ අද දිනට නියමිත මහවිරු සමරුව වෙනුවෙනි. මියගිය ප්‍රභාකරන් යළි උත්ථානය කිරීමට කොටි හිතවාදීන් නොකරන දෙයක් නම් නැත. එම නිසාම අද දිනයේ ලන්ඩනයේ මෙන්ම ග්ලාස්ගොව් නගරයේදී කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරුණු ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකාගේ ප්‍රකාශ නිකුත් කිරීමට නියමිතය. මෙය සිදුකරන්නේ කෙළින්ම ඩයස්ෆොරාවේ ආර්ථික වාසිය වෙනුවෙනි. හිට්ලර්ගේ මරණය සේම ප්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක් කොටි හිතවාදීන් සිටින නමුත් ඒ අය දැන් ඉතාම අල්පය. මීට සතියකට පමණ පෙර විදෙස් බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුණේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් වීඩියෝ පටයක් නොවැම්බර් 27 වැනිදා ලොව පුරා ප්‍රචාරය කිරීමට සූදානම් වන බවයි. දැන් කොටි සංවිධානය නැවත කරළියට එන්නේ කෘත්‍රිම බුද්ධියේ පිහිටෙනි. වෙඩිතියන්නට වන්නේද පරිගණක ක්‍රීඩාවක ආකාරයෙනි. කවරක් නමුත් මේ පිළිබදව අපේ බුද්ධි අංශ වඩා හොඳ අවධානයෙන් සිටීම වැදගත්ය.

1989 නොවැම්බර් 27, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සිය වාර්ෂික “මාවීරර් නාල්” හෙවත් මහා විරු දිනය ප්‍රථම වරට සැමරූ දිනයයි. හමුදාව හා සටන්කර මරණය වැළඳගත් පළමු එල්ටීටීඊ සාමාජිකයා වූයේ කම්බර්මලෙයි ගම්මානයේ උපන් සත්‍යනාදන් ය. සත්‍යනාදන් හෙවත් ශංකර් හෙවත් සුරේෂ් මිය ගියේ 1982 නොවැම්බර් 27 වැනිදාය. මුහුදු කොටි නායක තිල්ලඅම්බලම් සිවනේසන් හෙවත් සූසෙයි විවාහ වී සිටියේ ශංකර්ගේ සහෝදරිය සමඟය.

ප්‍රථම මහා විරු දිනය කිහිපදෙනෙකුට පමණක් සීමා වූ අතර එහි විශේෂත්වය වූයේ ප්‍රභාකරන් විසින් සිය විශ්වාසවන්ත අනුගාමිකයන් වෙත අතිශය සංවේදී දේශනයක් පැවැත්වීමයි. “ප්‍රභාකරන් කවදා හෝ දෙමළ ඊළාම් අරමුණ පාවා දුන්නොත් ඔබ සියලු දෙනාම මා මරා දැමිය යුතුයි” යනුවෙන් පැවසුවේ මෙම රැස්වීමේදීය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් එක කාලයක දෙමළ ඊළමට සහාය දුන්නා. නමුත් පසුව එය පාවා දුන්නා. ඒකයි අපි එයාව මැරුවේ. හෙට ප්‍රභාකරන් දෙමළ ඊළාම් ප්‍රශ්නය පාවා දුන්නොත් ඔයාලා හැමෝම මාව මරන්න ඕනේ. දෙමළ ඊළම පාවා දෙන කවුරුන් හෝ මරා දැමිය යුතුයි” කොටි නායකයා එදා පවසා තිබිණි. නමුත් ප්‍රහාකරන්ගේ මියගියේ සයිනයිඩ් කා නොවේ. ඔහුගේ බෙල්ලේ සයිනයිඩ් කරලක්ද නොවීය. ඔහුගේ බෙල්ලේ 001 දරන අංක තහඩුවක් තිබිණි. සොල්දාදුවෝ ඔහුගේ මළ සිරුර අසලින් පොලිතීන් කවරයක් සොයා ගත්හ. එහි ගෑස් මුහුණු ආවරණයක්, දියවැඩියා ඖෂධ, වෙළුම් පටි, ඉන්සියුලීන්, අත් විලංගුවක්, ටී56 රයිෆල් දෙකක්, ග්ලූකෝස්, තුවාල සඳහා ආලේප කරන ක්‍රීම් තිබූ අතර ඉතාම අපූරු කාරණය වූයේ සිංගප්පූරුවේ නිෂ්පාදිත මොයිස්චරයිසින් සුවඳ විලවුන් සහ විටමින් ඊ ක්‍රීම් අඩංගු වීමයි.

ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ තම්බි (මල්ලි) යන සුරතල් නමිනි. ළමාවියේ ප්‍රභාකරන්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු ක්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවධියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපොල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය. කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැගිටින ලෙස විනාශයට පත්විය. ඇත්තෙන්ම දැන් ප්‍රභාකරන් මියගොස් වසර 14 ඉක්මගොස් තිබේ. වර්තමානයේ සිංහලයින්ට විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ලංකාවේ ත්‍රස්ත යුද්දයක් පැවති බව හෝ වගේ වගක් නැත. අතීතය අමතක කිරීම අනාගතය අනාරක්ෂිත කරවීමට හේතුවක්ම වන්නේය. අරගල සමයේ අපට මේ බව හොඳින් අවබෝධ විය.

ප්‍රභාකරන් අවසන්වරට මහවිරු දේශනය පැවැත්වූවේ මීට අවුරුදු 15කට පෙරය. මේ දේශනය හරහා ත්‍රස්තවාදී නායකයා කියන්නේ කුමක්දැයි යන්න පිළිබඳව ලක්වැසියන් පමණක් නොව ලෝකයේම මාධ්‍ය උනන්දුවක් දැක්වීය. මුලතිව් කැලයේ සැඟවී සිටින ත්‍රස්ත නායකයා කොළඹ ආණ්ඩුවට මෙන්ම හමුදාවටත් සිංහල ජනයාටත් අනතුරු අඟවන්නේ මේ ප්‍රකාශය හරහාය. 2008 නොවැම්බර් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මහවිරු ප්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප්‍රකාශයෙන් දින 140 කට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රාහී විලාසයෙන් කිළිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. එවිට ප්‍රභාකරන් පුදුමාතලන්වල සැ`ඟවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මීට වසර 14කට පෙර අප්‍රේල් මාසයේ දෙවැනි සතියේදීය. පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත්‍රස්ත යුද්ධය වසර 33ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාත්මකම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහනයෙන් 48%ක් වැනි ප්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම තම අනුගාමිකයින්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය.

පසුගිය පෙබරවාරි මාසයේදී තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන නායකයකු වන නෙඩුමාරන් කොටි නායක ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ සහ දියණිය සුවෙන් සිටින බවත්, ඔවුන් නිසි වේලාවට ලෝකයා හමුවේ පෙනී සිටිනු ඇති බවත් සඳහන් කර තිබිණි. එහිදී ඔහු මෙසේ සඳහන් කර තිබිණි. “දෙමළ ජාතියේ නායක ප්‍රභාකරන් සම්බන්ධයෙන් එක් නිවේදනයක් කිවියර කාසි ආනන්දන් සහ විවිධ නායකයන් ඉදිරියේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම සතුටට පත් වෙමි ජාත්‍යන්තරයේ හැසිරීමත්, ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරුන් පාලනයෙන් පලවා හැරීමට තරම් ප්‍රබලව සිංහල ජනයාගේ විරෝධය මතු වී තිබීමත් ප්‍රභාකරන් නැවත ලෝකය හමුවේ පෙනී සිටීමට සුදුසු කාලය නිර්මාණය කර ඇත.” කාලයෙන් කාලයට විවිධ කොටි නාටක පැමිණේ. නෙඩුමාරන් ද රඟ දැක්වූයේ එවැනි නාටකයකි. ඒ සඳහා ඔහුට තුටු පඬුරු ලැබේ. අද ලන්ඩනයේ සිදු කරන්නේද එවැනි නාටකයක් බව පැහැදිලිය.

මේ අතර උතුරු නැඟෙනහිර පළාත්වල අනීතිකව පැවැත්වීමට නියමිත මහවිරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය නීතිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා පසුගිය සිකුරාදා අභියානාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබිණි. කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණියගේ කටහඬට සමාන කටහඬක් යොදාගනිමින් අවි ආයුධ අතට ගන්නා ලෙස දෙමළ ජනතාවට බල කරන වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීම ඇතුළුව නීති විරෝධී ලෙස උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ ආරක්ෂක අංශ වෙතින් මේ ප්‍රතිඥාව ලබා දී තිබිණි. විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන ආනන්ද ජයමාන්න මහතා විසින් මේ පෙත්සම ගොනු කර තිබුණු අතර, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ, පොලිස්පති, ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි. සැබවින්ම මහවිරු සැමරුම් හරහා සිදුවන්නේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් පමණි. ප්‍රභාකරන් මියගොස් ඇති නිසා උතුරු නැගනහිර ජනතාව සතුටින් ජීවත් වේ. පිපිරෙන බෝම්බ නැත. මියයන හෝ තුවාල ලබන තරුණයන් හෝ දරුවන් නැත. දෙමළ දරුවනට සිනාසෙමින් පාසල් යෑමට හැකිය. මීට වසර 15-20කට පෙර නම් පාසලට යන දරුවා පැහැරගෙන ගොස් බෙල්ලේ සයිනයිඩ් කරල් එල්ලා අතට තුවක්කු දුන් බව මෙනෙහි කරන්නේ කිදෙනෙක්ද? ද්වාරකාට පණ ගන්වා කියන්නට යන්නේ දෙමළ දරුවන්ට යළි සයිනයිඩ් කැවීම ගැනද? මේවා වහා නතර කළ යුතුය.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment