දසලක්‍ෂයක් දඩ ගෙවමුද නැතිනම් වෙනත් විදියක් බලමුද?

605

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මෙසේ කියයි; ලංකාවේ ළමා අපහරණ සිදුකිරීම් දිගින් දිගටම වැඩිවන බව පෙනේ. 2020 පළමු වන දවස් 60 තුළ ළමා අපහරණ පිළිබඳ පැමිණිලි 2 500ක් ජාතික ළමාරක්‍ෂණ අධිකාරියට ලැබිණ. ඒ අවුරුද්දේ ජූලි මාසය වනවිට මේ පැමිණිලි ගණන 5242 දක්වා ඉහළ ගොස් තිබිණ. ළමා රක්‍ෂණ අධිකාරියේ 1929 දරන හදිසි ඇමතුම් දුරකථනයට දිනකට ළමා අපහරණ පැමිණිලි 40ක් පමණ ලැබේ. වසර 2017 වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ දහ අවුරුද්දක් තිස්සේ ගොඩගැසී තිබූ ළමා අපහරණ සිදුවීම් සංඛ්‍යාව 17,000 කි. 2018 වන විට මේ ප්‍රමාණය 20,000ක් විය. ළමාරක්‍ෂණ අධිකාරිය විසින් කරන ලද සමීක්‍ෂණයකට අනුව මේ රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80%ක් පමණ ජීවිතයේ එක අවස්ථාවකදී හෝ අපහරණයට පත්වී ඇත. මේ අපහරණවලින් වැඩිහරියක් පැමිණිලි නොවීම යට යයි.

ඉහත සඳහන් ඡේදය පවුල් සංවිධාන සංගමයේ වෙබ් අඩවියේ පළමු පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි. අප මේ පළකරන්නේ පසුගියදා කළුතර මහාධිකරණ විනිසුරු තුමන් විසින් දෙන ලද Land Mark නඩු තීන්දුවක් නිසාය. එම තීන්දුවට අනුව බාලවයස්කාර දරුවකු කෲරත්වයට ලක්කළ දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිවරයකු වූ සරෝජනී නිර්මලා කොතලාවල නමැති කාන්තාවට රුපියල් දස ලක්‍ෂයක වන්දියක් ද, රුපියල් 1500ක රජයේ ගාස්තුවක්ද අධිකරණය මගින් නියම කරන ලදී. ඇය විසින් මේ දරුවා කෲරත්වයට පත් කරන්නේ 2013 ජුනි 26 වැනිදාය. දොඩන්ගොඩ පොලිසිය මගින් එම වසරේදී පොසොන් උත්සවය නිමිත්තෙන් පහන් කූඩු තරගයක් පවත්වන ලදී. අපහරණය වූ සිසුවා බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවක් මෙම තරගයට ඉදිරිපත් කළේය. එයට පළමුවන තෑග්ග ලැබිණි. සිසුවාට මුදල් චෙක්පතක් සහ සහතිකයක් පිරිනමන ලදී. පහන් කූඩුව විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් බව කියූ විදුහල්පතිනිය සිසුවා සතුව තිබූ තෑගි එම ස්ථානයේදීම ලබාගෙන ඇත. ඉන්පසු සිසුවාට ප්‍රසිද්ධියේ පහර දී තිබේ. විදුහල්පති තුමිය විසින් කරන ලද කෲර ක්‍රියාව දඩයකට අමතරව සිර දඬුවමකට ද නිමිත්ත වන නමුත් ඉදිරියේදී මෙවැනි වැරැදි සිදු නොකරන පොරොන්දුව මත ඇයට දඩ පමණක් නියම කරන බව විනිසුරුතුමා සඳහන් කර තිබේ. ඉහත සඳහන් සිද්ධිය දෙසැම්බර් 15 වැනිදා දිනපතා ‘දිවයිනේ’ සවිස්තරව පළවී ඇත. එසේම මෙම සිදුවීම ගැන අප ලියන්නේ සරෝජනී නිර්මලා කොතලාවල නම් කාන්තාවට මඩ ගැසීම පිණිස නොව මේ රටේ ළමයින් පාසල් තුළදී අපහරණය වන ආකාරය පිළිබඳ අදහසක් ලබාදීම පිණිසය.

කෙවිටිවලින් තලා දරුවන් සුමගකට ගත හැකි බවක් නවීන ලෝකය පිළිගන්නේ නැත. ශාරීරික හිංසනය යනු ශිෂ්ටාචාරය නොදියුණුව පැවති කාලයේදී ගන්නා ලද නීච ක්‍රියාමාර්ගයකි. ලංකාවේ ගුරුවරු ළමුන්ට පහර දෙනුයේ පිටිසරබද පළාත්වල ඇතැම් කාලකණ්ණි හරක් හිමියන් හරකුන්ට පහර දෙන ආකාරයෙනි. ඇතැම් ගුරුවරු අඩි රූල්වලින්, කොසු මිටිවලින්, පුටු කුකුල්වලින් සහ ලී කැබලිවලින් ළමයින්ට පහර දෙති. පාසල තුළ සිදුවූ අපහරණ හේතුවෙන් ළමුන් සියදිවි නසාගත් අවස්ථා ද තිබේ. ළමයා සමග ගනුදෙනු කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බව අප පිළිගනිමු. ළමෝ කියන දේ නාහති. පංතිය තුළ ඝෝෂා කරති, මේසවල චිත්‍ර අඳිති, පාසලේ දේපළවලට හානි කරති. ඒ මොක කළත් ළමයින්ට පහර දීම හෝ වෙනත් ශාරීරික හිංසනයන් කිරීම සුදුසු බව වර්තමාන ලෝකය පිළිගන්නේ නැත. මේ රටේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී ආණ්ඩුව පැවති කාලයේදී ළමයින්ට ශාරීරික දඬුවම් කළ නීත්‍යනුකුල ආකාරයක් ගැන අප අසා ඇත්තෙමු. ලංකාවේ ක්‍රියාත්මක වූ එම ක්‍රමයට අනුව ගැහැනු ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණවිය නොහැක. වේවැලකින් පහරදිය හැක්කේ පිරිමි ළමයින්ට පමණි. ආණ්ඩුවේ නියමයට අනුව එම වේවැල අඟල්
භාගයකට අඩු ඝනකමකින් යුක්ත විය යුතු අතර අඩි තුනකට වඩා දිගු නොවිය යුතුය. ළමයකුට දිය හැක්කේ වේවැල් පහරවල් තුනක උපරිමයක් හෝ ඊට අඩු ගණනකි. දඬුවම් කිරීම ප්‍රසිද්ධියේ කළ නොහැක. දඬුවම් කිරීමට බලය ඇත්තේ විදුහල්පතිට හෝ පුහුණු ගුරුවරයකුට හෝ පාසලේ විනය පාලකයාට පමණි. වේවැල් පහර දිය හැක්කේ ළමයාගේ තට්ටම්වලට පමණි. ශරීරයේ අන් කිසිදු තැනකට පහරදීම තහනම්ය. පහරදීමේදී වේවැල අංශක අනූවකට වඩා උඩට සෙවිය නොහැක. පහර දීමෙන් පසු ඒ පිළිබඳ ලොග් සටහනක් යෙදිය යුතු අතර කවර පාසල් ශිෂ්‍යයකුට කවර වරදක් සඳහා කවර ගුරුවරයකු ලවා කවර දිනයක, කවර වේලාවක වේවැල් පහර දුන්නේ ද යන්න එම ලොග් සටහනෙහි අන්තර්ගත විය යුතුය. ඉන් පසු එය පිටපත් කර අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. එය අතින් පිටපත් කරන්නේ එකල ෆොටෝ කොපි නැති බැවිනි.

මේ රටේ පාසල්වල සිටින කුළුහරක් වැනි මැරෑටි කොල්ලන් වේවැල් පහර තුනකින් ආන්බාන් කළ හැකි ද යන ප්‍රශ්නය ගුරුවරුන් සහ වැඩිහිටියන් අපෙන් විමසනවා ඇත. දරුවන් ආන්බාන් කිරීම සඳහා ශාරීරික හිංසන නොවන ක්‍රමවේදයක් ගුරුවරුන් සහ වැඩිහිටියන් විසින් සකස් කර ගත යුතුය. අප ළමයකුට පහර දෙද්දී පෙරළා අපට පහර නොදෙන්නේ පහරදීමට තරම් ඒ ළමයාට ශක්තියක් නැති බැවිනි. අප දරුවකුට පහර දෙකක් දුන්විට ඒකා නැඟී සිට අපේ බෙල්ල ගැලවී යන ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නේ නම් අප ඊට ඇති බිය නිසා කිසි කලෙකත් දරුවන්ට පහර දෙන්නේ නැත. ලෝකය ශිෂ්ටාචාරය දිගේ බොහෝ දුරක් පැමිණ ඇත. දරුවන් ශික්‍ෂණය කිරීම සඳහා ම්ලේච්ඡ නොවන ක්‍රමවේද අනුගමනය කිරීම වැඩිහිටියන්ගේ වගකීම වේ. නැතිනම් කිසියම් කේස් එකක් පත්තු වූ විට විදුහල්පතිනියට වුණාක් මෙන් දසලක්‍ෂයේ වන්දි ගෙවීමට වැඩිහිටියන්ට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment